දිනෙන් දින වර්ධනය වෙමින් පවතින ජාතික ආරක්ෂාවේ බිඳවැටීම පිළිබඳව විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, විපක්ෂයේ පක්ෂ නායකයින් හා මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද (2025.05.20) පෙරවරුවේ පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි.Sri Lanka Latest News
මෙම අවස්ථාවට ගයන්ත කරුණාතිලක, සිවඥානම් ශ්‍රීධරන්, රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, රවී කරුණානායක, ජීවන් තොණ්ඩමන්, කේ. කාදර් මස්තාන්, දිලිත් ජයවීර, දයාසිරි ජයසේකර, ජේ.සී. අලවතුවල, ආචාර්ය එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා, වෛද්‍ය පී.සත්‍යලිංගම්, නිසාම් කාරියප්පර් යන ගරු මන්ත්‍රීවරුන් එක්වූහ.
මෙම වාතාවරණය තුළ රටේ ජන ජීවිතයට බලපෑමක් ඇති වී ඇති අතර, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මහජන සේවාව නිදහසේ ඉටු කිරීමට නොහැකි තත්ත්වයක් ද උද්ගත වී ඇති බව පක්ෂ නායකයින් පෙන්වා දුනි.
ඒ පිළිබඳව නැවත වතාවක් ගරු කථානායකතුමාගේ අවධානය යොමු කරනු පිණිස පෙරවරුවේ ගරු කථානායකතුමා හමුවීමට විපක්ෂයේ පක්ෂ නායකයින් තීරණය කරන ලදි. එම අවස්ථාවේදී විපක්ෂයේ ගරු මන්ත්‍රීවරුන්ගේ කාර්යභාරය පාර්ලිමේන්තුව තුලදී මෙන්ම පිටත දී නිදහසේ සහ ස්වාධීනව ඉටු කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීමේ වගකීම සහ වගවීම ගරු කථානායකතුමා සතු වන බව අවධාරණය කිරීමට කටයුතු කළ යුතු යැයි මන්ත්‍රීවරුන් පෙන්වාදුනි.
මතුව ඇති තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කිරීමට පොලිස්පතිතුමා සහ ප්‍රභූ ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂවරයා වහාම පාර්ලිමේන්තුවට කැඳවන ලෙස ද කථානායකවරයාගෙන් ඉල්ලා සිටිය යුතු යැයි පක්ෂ නායකයින් තීරණය කරන ලදි. ඒ අනුව කථානායක හමුවූ පක්ෂ නායකයින් එකී තීරණ හා යෝජනා පිළිබඳව කථානායකවරයා දැනුවත් කරන ලදි.




















Saru FM Media