“අම්මේ කෝ මගේ කොන්ඩ පටිය”
“ඕක මගේ මේස් එක”
“කොන්ඩෙ පීරන්නකො අම්මේ”
“අනේ මට කවලා ඉන්න අම්මේ”
“වෑන් එක ඇවිත් අම්මේ අපි යනවෝ…” දියණියන් දෙදෙනාම එක විට පවසා ගේට්ටුවේන නොපෙනී ගියාය.
නිමල්කා සාලයේ පිටුව මතට බර විය. හිත පුරාම මහා බරකින් පිරී මහා හිස්බවක් ඇගේ සිතට දැනේනට විය. නිමල්කාගේ සැමියා එතෙර රැකියාවක නියුතුය. අවුරුදු දහසයක හා දහතුනක දියණියන් දෙදෙනෙකුගේම කටයුතු නිමල්කා අතින් සිදු විය. ඔවුන්ගේ තනි නොතනියට සිටියේ සැමියාගේ මවය.
“මොකද දුව කල්පනාව අසනීපයක්වත්ද?”
“නැහැ අම්මා අසනීපයක් නැහැ”
“එහෙනම් කල්පනාව හිතේ අසනීපයක් වගේ”
“හ්ම්…” නිමල්කා දිගු සුසුමක් හෙලා ලය සැහැල්ලු කරගන්නට උත්සහා කලාය.
“ඔය ළමයි කියන දේවල් වලට හිතරිද්ද ගන්න එපා දුව. දැන් හැදෙන ළමයි කිසි කමකට නැහැ. ”
“ඒත් අපි ඔය වයසට ඔය විදිහට හැදුනේ නැහැනෙ අම්මා ”
නිමල්කා පැවසුවේ දෙනෙතේ පිරි කඳුළු සඟවමින්ය. පෙර දිනයේ සිදුවීම් පෙල ඇයගේ මතකයට ගලා ආවේ නිරායාසයෙන්ය. එදින පොහොය දිනයක් වූ නිසාවෙන් ඇය නිවසේ වැඩ කටයුතු හනිකට අහවර කල නිමල්කා ඇගේ නැගණිය බලන්නට යන්නට සූදානම් වූයේ ඇය අසනීපෙන් සිටි නිසාවෙන්ය. අසිතගේ මවද සිල් ගැනීමට ගිය නිසා තනියට දියණියන් දෙදෙනාත් සමගම යන්නට ඇය සිතා උන්නාය. නින්දේ හුන් දියණියන් දෙදෙනා අවදි කල ඇය පුංචි බලන්නට යන්නට සූදානම් වන්නට කීවාය.
“අනේ අම්මා මට නම් බැහැ ”
“ඔන්න මටත් බැහැ”
“අනේ මට තනියම යන්න බැහැ දරුවනේ අනික ඔයාලව තනියම දාලා යන්නත් බැහැනේ.”
“අනේ අම්මා අපි දෙන්නම ඉන්නවනේ අපට තනියක් නැහැ අම්මා යන්න”
අවසානයේ නිමල්කා තනිවම නැගණිය බලන්නට ගියාය. නැගණියගේ සුව දුක් බලා නිවසට අවශ්‍ය කලමනාත් ගෙන නිවසට එනවිට අඳුර වැටී තිබුණි. අසිතගේ මවද සිල් පවාරණය කොට නිවස පැමිණ සිටියාය.
“මහන්සියි අම්මා, දෝණි වතුර එකක් ගේන්නකො ”
“මං වැඩක් අයියෝ”
“චූටී දුව ඔයා එහෙනම් ගේන්නකෝ”
“අනේ…”
“ඇයි වතුර එකක්වත් ගෙනත් දෙන්න බැරිද දරුවනේ තමන්ගේ අම්මට.”
අසිතගේ මව පවසනු නිමල්කාට ඇසුනි. අවසන නැන්දනිය ඇයට වතුර වීදුරුවක් ගෙන ආවාය. කාමරයට පිවිසි නිමල්කා කේන්තියෙන් කෑ ගසන්නට විය.දියණියන් නිදාගත් ඇඳ ඇතිලි තවමත් එකලාසයක් කර නැත. කාමරය පුරාම රෙදිත් පොතුත් අපිළවෙලට දමා ඇත.
“ලොකු කෙල්ලො දෙන්නෙක් නේද ඔයාලා, තාම නිදාගත්ත ඇඳවත් අස්කරලා නැහැ. ඇඳපු ඇඳුම් එතනමයි. අස් කරනවා මේවා”
“ඇයි ඔහොම කෑ ගහන්නේ ” දෙවන දියණිය තදින් ඇසීය.
“ශෂී !” නිමල්කා දියණියට රවා බැලුවාය
“මොකද අම්මා රවන්නේ ඔවා අස් කරන්නේ අම්මනෙ ” ඇය කිසිත් ගණනකට නොගෙන පැවසුවාය.
Saru FM Media