මම තවමත් 60 කොල්ලා! ඒකට ඉරිසියා කරන්න එපා ඉතින්! Sri Lanka Latest News

0
14


අවුරුදු ගානකට පස්සේ ඔන්න චන්න පෙරේරාගේ ටෙලියක් හෙට අනිද්දා ටීවී එකේ යනවලු. චන්න පෙරේරා කියන්නේ මීට දශක ගණනකට කලින් ටෙලි තිරයේ සිහින කුමාරයා. එහෙම නැත්නම් අහිංසකම පෙම්වතා වෙලා හිටපු ජනප්‍රිය තරුවක්. Sri Lanka Latest News

ඉතින් චන්න ආයෙමත් ටෙලිනාට්‍ය රංගනයට මැදි වෙන්න වගෙයි සූදානම?
දිගටම මැදිවෙන්න කියලා නම් තවම සූදානමක් එහෙමට නැහැ. දිගින් දිගටම සුමියුරු කරපු ආරාධනාව අහක දාන්න බැරි තැනක තිබුණු නිසයි මේ ටෙලිනාට්‍යය භාරගත්තේ.
ටෙලිය ගැන විස්තර ටිකක් කියමුද?
‘ස්නේහය නම්’ කියලයි ටෙලිය නම්කරලා තියෙන්නේ. අධ්‍යක්ෂණය සුමියුරු උදත්තගෙ. චමත්කාරජනක ප්‍රේම කතාවක් විදියට තමයි ආලින්දයේ සිනමාවට එන්නේ. ඒ ප්‍රේම කතාව තුළ පවුලක් වටා ගෙතුණු සිදුවීම්ද තියෙනවා. මේ දවස්වල ටෙලි තිරයේ ජනප්‍රිය තරුවක් වූ අංජලී ජයසිංහ මා සමග ප්‍රධාන චරිතය රඟපානවා. දැනට මේ ඇති.
අවුරුදු ගානකට පස්සෙයි ඔබ මේ එන්නේ?
ඔව්. රතු අහසට පස්සෙයි මං හිතන්නේ.
හිටපු ගමන් මෙහෙම ටෙලියකට එන්න හිතුවේ?
හිටපු ගමන් නම් නෙවෙයි. සුමියුරුගෙන් බේරිල්ලක් තිබුණේ නෑ. ඒ වගේම තමයි අනිත් අයත් චැනල්වලින් පවා බොහොම සුහදව ආරාධනා කළා ටෙලිවලට සම්බන්ධ වෙන්න කියලා.
ටෙලිවලින් බොහෝ කලක් ඈත්වෙලා හිටියේ කලකිරීමක් නිසාද?
එකම කලකිරීම දැන් යන ටෙලිනාට්‍ය රැල්ලට මගේ තියෙන අකැමැත්ත. ප්‍රමිතියක් නැති පිටපත් සීමාවක් නැති ඇදීයෑම. විවේකයක් නැතිව කලාකරුවන්ව වෙහෙසට පත්කරවීම. එකිනෙකා අතර තියෙන තරගකාරීත්වය. එතැන තියෙන ඒ ක්‍රමයට මම පුද්ගලිකව මනාප නැහැ.
අනෙක මම රේස්වලට කැමැති නැහැ. යම් නිර්මාණයක් ඉඳහිටක කරලා විවේකීව සන්සුන්ව ඉන්නයි මට ඕනෙ.
හොඳ ටෙලි නිර්මාණ නැහැ කියන තැනද ඔබ ඉන්නේ?
අපොයි නැහැ. හොඳ නිර්මාණ හැදෙනවා. හැබැයි බොහොම ටිකයි. වැඩිපුරම සතිය පුරාම හැම චැනල් එකකම වාගේ යන්නේ රැල්ලට හැදෙන ටෙලිනාට්‍ය ක්‍රමයක්.
අනූ ගණන්වලත් කොල්ලට රඟපාපු ඔබ අදටත් එන්නෙ කොල්ලගෙ චරිතෙට?
මම එනවා නෙවෙයි මාව ගන්නවා. ආරාධනා ලැබෙන්නේ කොල්ලට මිස කොල්ලගෙ තාත්තට නෙවෙයි. ඉතින් මම ඒක භාරගන්නවා. ඒකට ඉරිසියා කරන්න එපා ඉතින්.
ටෙලියක් අධ්‍යක්ෂණය කරන අදහසක් නැද්ද චන්න?
තියෙනවා. පොඩි වෙනසක් කරන්න හෙමින් හෙමින් ප්ලෑන් කරනවා. කාලය ආවාම ඒක අනිවාර්යයෙන් කරනවා.
ඔබේ සිනමා නිර්මාණ කිහිපයක් එන්න නියමිතයි නේද?
ඔව්. චිත්‍රපට තුනක් තියෙනවා. එකක් ළමා චිත්‍රපටයක්. යොවුන් ප්‍රේම කතාවක් ලියැවුණු ‘සිහින අනන්තය’ මේ වසරේ අගභාගයේ තිරගත වේවි.
නවකයන් වෙනුවෙන් යමක් කියමු?
නවකයන් අතර දක්ෂයො ඉන්නවා. හැබැයි අද නවක තරු සෝෂල් මීඩියා සමග වයිරල් වෙනවා වැඩියි. ජනප්‍රිය වෙන්න සෝෂල් මීඩියාවල රඟපාන්න අවශ්‍ය නැහැ.
ජනප්‍රියත්වය කියන්නේ නිරායාසයක් මිස ආයාසයක් නෙවෙයි. ඒ වගේම රංගනය කියන්නේ භාවනාවක් වගේ මෙහෙවරක්. ඒ තුළ යමක් බලෙන් ලබාගත යුතුය කියන මතය තියෙන්න බැහැ. එතැනදී කලාකරුවා පිළිගත යුත්තේ තමාව හඹාඑන දේ පමණයි.

මල්මි කෞෂල්‍යා



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here