‘මනුෂ්‍යත්වයේ ශ්‍රී ලංකාව’ ගොඩනැඟීමට එක් වෙමු – ජනාධිපති සියලුම කාන්තාවන්ට ආරාධනා කරයි – Saru News | සිංහල

0
6

ලෝකයේ ඇති වන ඕනෑම ගැටුමකදී ඊට සහාය ලබා දෙන සහ ආශිර්වාද කරන පිරිස් අතර මනුෂ්‍යත්වයේ කොඩිය පෙරට ගත් ජාතියක් ලෙස ශ්‍රී ලාංකික ජාතිය ලෝකය හමුවේ සන්නාමගත කරන බව ජනාධිපති අනුර දිසානායක අවධාරණය කළේය.

එම මනුෂ්‍යත්වයේ රාජ්‍ය තුළ දරුවන්ගේ සහ කාන්තාවගේ සුරක්ෂාව තහවුරු කරමින් කාන්තා අයිතින් දිනා දීමට කටයුතු කරන බවද අවධාරණය කළ ජනාධිපති දුක, වේදනාව සහ විශාල බරක් හිස මත සහ හදවතේ දරා ගනිමින් ඉකිගසන මෙරට කාන්තා පරපුරට සිනාමුසු අනාගතයක් නිර්මාණය කර දීම රජයේ අභිප්‍රාය බවත්, ඒ වෙනුවෙන් වූ සැලසුම් මේ වනවිට ක්‍රියාවට නංවා තිබෙන බවත් සඳහන් කළේය.

ජනාධිපති අනුර දිසානායක මේ බව සඳහන් කළේ අද (08) පෙරවරුවේ කොළඹ පී.ඩී සිරිසේන ක්‍රිඩාංගණයේදී පැවති ජාතික ජන බලවේගයේ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය අමතමිනි.

“ගැහැනු අපි එක මිටට – ඇය නැගිටින විට නැගිටිනවා රට” තේමාව යටතේ සංවිධානය කර තිබු මෙම සැමරුමට ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානවල නියෝජිතයෝ විශාල පිරිසක් එක්ව සිටියහ.

ආණ්ඩුවක් හොඳද, නරකද කියා මැනීමේ හොඳම නිර්ණායකය ඒ රටේ කාන්තාවන්ගේ විශ්වාසය බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපති වත්මන් පාලනය සහ ආණ්ඩුකරණය පිළිබඳ මේ රටේ ජනතාවගේ පොදු විශ්වාස අද මෙම කාන්තා සැමරුමට එක්ව සිටින දහස් ගණනක් කාන්තාවන්ගෙන් තහවුරු වන බවද පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර දිසානායක,

“අද ජාත්‍යන්තර කාන්තා දිනය. අප මීට පෙර බොහෝ අවස්ථාවල අපේ මව්වරු, සහෝදරියන්, දියණියන් සමඟ විශාල දේශපාලන සාකච්ඡාවක සිටියා. ජාතික ජනබලවේගය ආණ්ඩුව හදන විට සුවිශේෂීම කාර්යයක් මෙහි එක්රැස් වී සිටින සහෝදරියන් විසින් ඉටු කළ බව මම දන්නවා. ඒ වගේම මම දන්නවා මෑත ඉතිහාසයේ කාන්තාවන් විශාල ප්‍රමාණයක් එක් තැනකට එක්වූ පළමු අවස්ථාව මෙයයි. මේ ක්‍රීඩාංගණය පිරෙන්න කාන්තාවන් සිටිනවා. ඒ වගේම තවත් දහස් ගණනක් මේ භූමියට පැමිණීමට නොහැකිව පිටත සිටිනවා. මම හිතනවා ආණ්ඩුවක්, පාලනයක් පිළිබඳ හොඳද, නරකද කියා මැනීමට තිබෙන හොඳම නිර්ණායකය තමයි ඒ රටේ කාන්තාවන් මොනතරම් ප්‍රමාණයක් ඒ ආණ්ඩුව සමඟ සිටිනවාද, නැද්ද යන සාධකය. ඒ නිසා අද මේ පෙන්නුම් කර තිබෙන්නේ, අපේ පාලනය, අපේ ආණ්ඩුකරණය පිළිබඳ මේ රටේ ජනතාවගේ පොදු විශ්වාසයයි.

කාන්තාවන් පිළිබඳ විශාල කියමන් ප්‍රමාණයක් තිබෙනවා. අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ උත්තුංග වන්නේ බුදුරජාණන් වහන්සේ. හැබැයි ඒ හා සමාන ලෙස අපේ කාන්තාවන්ට කියනවා ගෙදර බුදුන් අම්මා කියලා. ඒ තරම් උසස් ලෙස අපේ මව්වරුන් පිළිබඳ සාකච්ඡාව ඇති කර තිබෙනවා. මැක්සිම් ගෝර්කි වරක් ප්‍රකාශ කළා ලොව පවතින්නේ හිරුගේ රශ්මියෙන් සහ මවගේ කිරිවලින් කියලා. ඒ තරම් ගරුත්වයක් අපේ කාන්තාවන්ට හිමි වෙනවා.

අපි කාන්තාවගේ අනාගතය පිළිබඳ කල්පනා කරන්නේ ඇය කාන්තාවක් වූ පමණින්ම නොවෙයි. ඇය පළමුකොටම මනුෂ්‍යයෙක්. ජාතික අනන්‍යතාව සහ එය ගැඹුරින් පවත්වාගෙන යන්නේ කාන්තාව. ඒ නිසා ඒ අර්ථයෙන් තමයි අපි අපේ කාන්තාවන් දෙස බලන්නේ. මම දැක්කා මෑතකදී කසුන් ජයතිලක කියන කවියා මෙසේ ලියා තිබෙනවා.

අහස පොළවට, ගැඹුරු සයුරට සම කළේ අපි අපේ ගැහැණුන්
සොඳුරු දෙරණට සොබා දහමට සදිසි කල මල් පෙත්ත ගැහැණුන්
සිංහයෝ නැති ගුහාවල පොඩි පැටව් රැකගෙන සිංහ ධේනුව
ගල් පිළිම ඉකි ගහයි දැක්කම සිරි ලකේ ගැල් අදින ගැහැණුන්

අපේ අභිප්‍රාය වන්නේ  දුක, වේදනාව, විශාල බරක් තම හිස මත සහ හදවතේ දරාගෙන ඉකිගසන මේ සියලු කාන්තාවන්ට සිනාමුසු අනාගතයක් නිර්මාණය කර දීමයි. එම අපේක්ෂාවෙන් යුතුව අපි වැඩ කර සිටිනවා සහ ඉදිරිය සැලසුම් කර තිබෙනවා.

මේ රටේ දිගුකාලීන අනවර්ත යුද්ධයක් තිබුණා. ඒ යුද්ධයේදී ස්වාමියා අහිමි වූ බිරින්දෑවරු ඉකිගසන හඬ ගල් පිළිමවලට පවා ඇසෙනවා. මහා අනවරත යුද්ධයක් විසින් මව්වරුන්ට තමන්ගේ දරුවන් අහිමි කළා.එය ගල් පිළිම පවා කදුළු හෙළන වේදනාවක්. මහා විශාල ආර්ථික කඩාවැටීමේ කුණාටුවකදී මව්වරුන් විශාල වේදනාවක් වින්දා.

සමාජයේදී, තමන් වැඩ කරන කාර්යාලයේදී, ගමන් කරන බස්රථයේදී, නිවස තුළ කාන්තාව මොනතරම් වේදනාවකට පත් වෙනවාද, මම කියන්නේ නැහැ කාන්තාවට වෙනම ඔවුන්ට අවශ්‍ය වන අනාගතයක් නිර්මාණය කළ හැකිය කියලා. අපිට එම අනාගතය නිර්මාණය කළ හැකි වන්නේ රටක් ලෙස ජාතියක් ලෙස අපි ඉහළට යාමේ වැඩපිළිවෙළ තුළයි.

ඇය, ඇය වීම නිසා මුහුණ දෙන ගැටලු පිළිබඳව අපි අවධානය යොමු කරමින් සැලසුම් සකස් කර තිබෙනවා. මම දන්නවා අපේ අම්මලා තමන්ගේ දරුවන්ගේ අනාගතය බිහිසුණු වෙයිද කියා  විශාල ලෙස වේදනාවකින් සිටිනවා. තමන්ගේ දරුවා තමන්ගේ දෝතට ලැබෙන පළමු අවස්ථාවේදී ඒ හැම අම්මා කෙනෙකුටම, හැම තාත්තා කෙනෙකුටම තමන්ගේ දරුවා පිළිබඳවඔවුන්ගේ අනාගතය පිළිබඳ සිහිනයක් තිබෙනවා. එහෙත් අද අපේ රටේ අම්මලා විශාල වේදනාවකට පත්ව සිටිනවා අපේ රටේ තාරුණ්‍යය විශාල ලෙස බිලිගන්නා අනතුරක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය රකුසා පිළිබඳව ඔවුන් බියකින් පසු වෙනවා.

තමන්ගේ දරුවා මත්ද්‍රව්‍යවලට ගොදුරුවීම නිවස තුළ අම්මට වේදනාවක් ගෙනවිත් දෙනවා. අනතුරුව ඥාතීන් අතර චෝදනාවට ලක් වෙනවා. ඉන් අනතුරුව ගම තුළ කොන්වීමකට භාජනය වෙනවා. ඒ නිසා අපේ ප්‍රධානතම ව්‍යාපෘතියක් ලෙස විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ව්‍යාපෘතිය අඛණ්ඩව දියත් කරනවා. මම හිතන්නේ අදත් කිලෝ ග්‍රෑම් 100කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් අපි ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගත්තා. මෙය අවසන් කර දෙමාපියන්ට, අම්මාවරුන්ට තමන්ගේ දරුවාගේ අනාගතය පිළිබඳ තිබෙන සැකය අපි නියත වශයෙන්ම තුරන් කරනවා. එය කළයුතුයි. අපි දන්නවා මේ මත්ද්‍රව්‍ය ව්‍යසනය ගොඩනැගුණු ආකාරය සහ ඊට ලැබුණු දේශපාලන රැකවරණය  සහ රාජ්‍ය නිලධාරින්ගේ රැකවරණය. මේ සියල්ල තුළ තමයි මත්ද්‍රව්‍ය ව්‍යසනය ජාතික ඛේදවාචකයක් බවට පත් වුණේ. අපි එය අවසන් කරනවා.

ඒ වගේම අපේ මව්වරුන්ගේ තිබෙන ප්‍රධානම අපේක්ෂාව වන්නේ තමන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීමයි. අපි එය සිදු කරනවා. සාමාන්‍යයෙන් තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැඩියෙන්ම වෙහෙසෙන අම්මලා සිටින්නේ අපේ රටේ. මව්වරුන්ගේ එකම අපේක්ෂාව තමන්ට වඩා හොඳ අනාගතයක් තමන්ගේ දරුවන්ට නිර්මාණය කර දීම සහ තමන්ගේ ලෝකයට එහා යන ලෝකයක් දරුවන්ට උරුම කර දීමයි. හැබැයි මේ අධ්‍යාපනය අපේ අම්මලාට විශාල බරක් වී තිබෙනවා. අපි දෙමාපියන් තුළ තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ තිබෙන බර නිදහස් කරනවා. විශේෂයෙන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපි ඇති කරනවා. සමහර අය මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විශාල විවේචනාත්මක ඝෝෂාවක් හැදුවා. කිසිදු තර්කයක්, පදනමක් නොමැති වාචාළ විවේචනයන් ගොඩනැගුවා. අපි තාවකාලිකව 06 ශ්‍රේණියට අදාළ ප්‍රතිසංස්කරණ පිටුපසට ගත්තා. හැබැයි සහතික වශයෙන්ම අපි ලබන වසරේ සිට 06 ශ්‍රේණියට අදාළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කරනවා.

ලෝකයත් සමග ඉදිරියට යා හැකි දැනුම ලබාදෙමින්, දරුවන් යන්ත්‍ර බවට පත් කරන අධ්‍යාපනයක් වෙනුවට දරුවන් සජිවි, සහකම්පනයෙන් යුත් දරුවන් බවට පත් කරන අධ්‍යාපනයක්, දරුවන්ට බරක් වූ අධ්‍යාපනයක් වෙනුවට දෙමාපියන්ට තමන්ගේ දරුවාගේ අනාගතය පිළිබඳ විශ්වාසයක් හදන අධ්‍යාපන ක්‍රමයක් අපි ස්ථාපිත කරනවා.  දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ මේ රටේ අම්මලා දරා සිටින බර අපි ආණ්ඩුවේ දෙවුර මත පවරා ගන්නවා.

ඒ වගේම රටේ ආර්ථිකය බිඳ වැටුණු විට එම ඛේදවාචකයේ ආරම්භක ගොදුර බවට පත් වන්නේ අපේ අම්මලා.  මේ ආර්ථිකයේ ගොදුරු බවට අපේ මව්වරු පත්වූ මෑත ඉතිහාසය අපි දැක තිබෙනවා. ඒ නිසා පළමු කොටම අපි ශක්තිමත් ස්ථාවර ආර්ථිකයක් ඇති කළ යුතුයි. පසුගිය කාලයේ අපේ රට විශාල ආර්ථික බිඳ වැටීමකට ලක් වුණා. මුළුතැන්ගෙයි ගෑස් සිලින්ඩරයේ සිට රෝහලේ බෙහෙත් පෙත්ත දක්වා මේ අර්බුදය පැතිරුණා.

අපි ශක්තිමත් සහ ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගිය යුතුයි. ලංකා ඉතිහාසයේ පළමු වතාවට අවම අයවැය හිඟය 2.4ක්  වාර්තා කිරීමට 2025 වසරේදී අපිට හැකි වුණා. එය අපේ රටේ ආර්ථිකයේ වැදගත් සංධිස්ථානයක්. ඒ වගේම උද්ධමනය, භාණ්ඩ මිල ඉහළ යෑමේ  සීග්‍රතාවය 10% -15%  අතර වෙනවා. 2022-2023 වසරවල  නම් 70% දක්වා මේ උද්ධමනය ඉහළ ගියා. උද්ධමනය, භාණ්ඩ මිල ඉහළ යෑම, මූල්‍ය පද්ධතිය ආණ්ඩුවෙන් ගිලිහුණා. අපි දිගු කාලයක් පොර බැදුවේ උද්ධමනය 5% ට වඩා යටින් තබා ගන්නයි. පසුගිය වසරේ අප 2%ක ආසන්න උද්ධමන අගයක් වාර්තා කළා. එය ලංකා ඉතිහාසයේ වැදගත් දත්තයක් බව කිව යුතුයි.  ඉතිහාසයේ අප රටේ ඩොලර් සංචිතයේ ධන අගයක්  තිබෙන්නේ අවස්ථා 4යි. අවස්ථා 3ක්ම  තිබුණේ ඩොලර් මිලියන 500ට වඩා යටින්.  4 වැනි අවස්ථාව, අපේ ආණ්ඩුව ඩොලර් මිලියන1800ක අතිරික්තයක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා.

පසුගිය වසරේ ආදායම 17%කට ආසන්න අගයකින් වාර්තා කළා. ප්‍රාථමික ගිණුමේ ශේෂයේ ඉහළ අගයක් වාර්තා කළා. එමඟින් පෙන්නුම් කරන්නේ කුමක්ද? අපි ආර්ථිකයේ ඉහළ තලයේ ස්ථාවරත්වයක් නිර්මාණය කර තිබෙන බවයි. බැංකු පොළී අනුපාතිකය දීර්ඝ කාලයක් තිස්සේ තනි ඉලක්කමක තබාගෙන සිටිනවා.  අපේ අපනයන ආදායම වැඩි කරමින් තිබෙනවා.  විදෙස්ගත ශ්‍රමිකයන් එවනු ලබන ඩොලර් ප්‍රමාණය, භාණ්ඩවලින් උපයන ඩොලර් ප්‍රමාණය, සංචාරක කර්මාන්තයෙන් උපයන ඩොලර් ප්‍රමාණය ඉතිහාසයේ වැඩිම අගයකින් අපි වාර්තා කර තිබෙනවා.

පළමු අභියෝගය ආර්ථිකයේ ඉහළ තලය ස්ථාවර  කිරීමයි. මේ දත්ත සාමාන්‍ය ජනතාවගේ ජීවිතයට සම්බන්ධ වී තිබෙන්නේ කොහොමද?  අපට දත්ත පිළිබඳව උදම් අනන්න පුළුවන්.  දත්තවලින් විශාල ජයග්‍රහණයන් පෙන්නන්න පුළුවන්. එහෙත්, ඒ දත්තවල අවසන් ප්‍රතිඵලය විය යුත්තේ අපේ සාමාන්‍ය ජනතාවගේ  ජනජීවිතය උසස් වීමයි. මුළුතැන්ගෙයි වියදම් පහසු විය යුතුයි. දරුවන්ට රැකියා අවස්ථා පහසු වෙන්න ඕන. මාර්ග පද්ධතිය, ප්‍රවාහන පද්ධතිය දියුණු වෙන්න ඕන. පුරවැසියාට ආදායම් මාර්ග ඇති වෙන්න ඕන. පුරවැසියන්ට ඉන්න නිවහනක් ගොඩනැඟෙන්න ඕන. අපි ආර්ථිකයෙන් අත්පත් කර ගන්නා ජයග්‍රහණ පහළට ගෙලාගෙන ආ යුතුයි. ආර්ථිකයෙන් අත්පත් කර ගන්නා ජයග්‍රහණ පහළට ගලාගෙන ඒම විසින් තමයි විශේෂයෙන්ම, අපේ සහෝදරියගේ, අපේ අම්මලාගේ ජීවිතය පහසු කරන්නේ. එහෙම නොමැතිව ඉහළ වාර්තා කරන සාධකවලින් පමණක්  ජනජීවිතය සහ ආර්ථිකය පහසු කරන්නේ නැහැ.

එහෙනම්, අපේ ඊළඟ අභියෝගය කුමක්ද? ආර්ථිකයේ අත්පත් කරගත් ජයග්‍රහණ ඔබ වෙත ගලාගෙන ඒමට අවශ්‍ය  සැලසුම් අපි සකස් කර තිබෙනවා.  පළමුව නිවාස ප්‍රශ්නයක් තිබෙනවා. නිවාස නොමැති ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකිරීමේ සැලැස්මක් සකස් කළ යුතුයි. අයවැය ලේඛනයෙන් 2026 වසරේ අලුතින් නිවාස 31,000ක් හදන්න යෝජනා කළා. ඒ සඳහා ආධාර ලබා දෙනවා.  දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස වෙනුවෙන් නිවාස 20,000ක්  හදන්න ලක්ෂ 50 බැගින් දීමනාවක් ගෙවන්න අපි කටයුතු කරමින් සිටිනවා.  ඒ අනුව මේ 2026 වසර වැඩිම නිවාස ඉදිකළ වසර බවට පත් වෙනවා.

අපේ දැරිවියන් ගෘහස්ථ අපචාරයට ලක් වීමේදී නිවාසවල පසුබිම බලපෑමක් ඇති කර තිබෙනවා. නිවාස කුඩා වීම, අනිකුත් ඥාතීන් සමඟ එකට ජීවත් වීම මෙයට හේතුවක් වී තිබෙනවා. ලබන වසරේ සිට කුඩා නිවාස වෙනුවෙන්, දැරියන් අනාරක්ෂිතව ජීවත් වන නිවාස නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනක් අපික්‍රියාත්මක කරනවා. අපි මේ දැරියන් බේරාගත යුතුයි.

කාන්තාව ස්වයං රැකියා තුළින් ගෘහස්ථ ආර්ථිකයකට ගෙන යෑමේ වැඩපිළිවෙළක් වෙනුවෙන් කාන්තා කටයුතු අමාත්‍යාංශයෙන් වගේම, මුදල් අමාත්‍යාංශයෙන් දසලක්ෂ 96,000ක් වෙන් කර තිබෙනවා. සමහර ඒවා පොළී නොමැතිව ලබා දෙන ණය. තවත් ඒවා කුඩා පොළියක් සහිත ණය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිටින කර්මාන්ත අමාත්‍යාංශයේ නියෝජිතයන්ට ඔබේ ව්‍යාපෘති වාර්තාව ලබා දෙන්න. ඉස්සර ණයක් ගන්න නම් බැංකුව ඇපයක් ඉල්ලනවා.  ඔබ ඉතා හොඳ ව්‍යාපෘතියක් හදනවා නම්, ඔබට බැංකුවට තියන්න දේපළක් නොමැති නම් ඔබට ණයක් ලැබෙන්නේ නැහැ.  බැංකුවෙන් ඔබට ණය දෙන්න, ඇපය ආණ්ඩුව ලබා දෙන වැඩළිවෙළක් අප සකස් කරනවා.  ඔබ ගෙව්වේ නොමැති නම් ආණ්ඩුව ගෙවනවා. හැබැයි, ඒක අපතේ යන වැඩපිළිවෙළක් නොවිය යුතුයි. අපේ ව්‍යාපෘති නිලධාරීන් විසින් එම ව්‍යාපෘතිය අධීක්ෂණය කරන්න ඕන, ඒ ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් ද කියා බලන්න ඕන, ඊළඟට ඒ ව්‍යාපෘතියට අවශ්‍ය සහාය ලබා දිය යුතුයි. ගොඩක් ව්‍යාපෘතිවලින් කාන්තාව හිටියට වඩා පහළට වැටුණු අවස්ථා අපි දැක තිබෙනවා. 

මල් වගා කරන්න, බිම්මල් වගා කරන්න ණයක් ගන්නවා. අන්තිමට මලුත් නැහැ බිම්මලුත් නැහැ. බැංකුවේ ණය හිරවෙලා තිබෙනවා. එනිසා විශේෂයෙන්ම අපේ කාන්තාවන් පසුගිය දශක ගණනාවක් තිස්සේ ක්ෂුද්‍ර මූල්‍ය ණය හරහා සූරාකෑමකට ලක්ව තිබෙනවා. ඒ නිසා අපි ක්ෂුද්‍ර මූල්‍ය පනතක් ගෙනැවිත් තිබෙනවා.  ඒ පනත අනුව වැඩි පොළියට ණය ලබා දෙන්න බැරි වන ආකාරයටමහ බැංකුවෙන් කොන්දේසි නියාමන සකස් කරනවා. කාන්තාවන් මෙහි ගොදුරු බවට පත්වුණා. යාපනයේ කාන්තාවන් සියදිවි නසා ගෙන තිබෙනවා.

සාර්ථක ව්‍යාපෘති තවදුරටත් සාර්ථක කර ගැනීමට ආණ්ඩුව විසින් ණය ලබා දීමට කටයුතු කරනවා. ඒ වගේම ණයවලින් තොර, දරාගැනීමට බැරි පවුල් වෙනුවෙන් විශේෂ ආධාර වැඩසටහනක් ආරම්භ කරනවා. ආර්ථික හැකියාවක් නොමැති ඇය ආර්ථිකයේ පංගුකරුවන් බවට පත් කර ගැනීමට මේ වසරේ සහ ලබන වසරේත් මූල්‍ය ආධාර වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. 

ඊළඟට අපේ දරුවන්ගේ රැකවරණය ඉතා වැදගත්.  ලැබෙන තොරතුරුවලට අනුව  ළමා අපචාර, කාන්තා හිංසන සම්බන්ධව පොලිසියට පැමිණිලි ලැබෙමින් තිබෙනවා. කාන්තාව සහ ළමා පරපුර ආරක්ෂා කිරීමට පවතින නීති වෙනස් කර හෝ ගත හැකි සෑම පියවරක්ම අපි ගන්නවා. 25%ක්ම කාන්තාවන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයටලක් වෙනවා. කාන්තාවක් වීම අනෙකාගෙන් තාඩන පීඩනවලට ලක්වීම හේතුවක්ද? එයට අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ. සෑම කාන්තාවකටම, දැරිවියකට විශ්වාසයක් තිබෙන රාජ්‍යයක් බවට මේ රට පත් කරනවා.

අම්මලාගේ ජීවිකාව යුද්ධයෙන් පීඩාවට පත් පවුල්වල අම්මාගේ දුවගේ ජීවන තත්ත්වය අපි දන්නවා. ඉලක්ක සහගත පීඩන කණ්ඩායම් එයින් මුදවා ගැනීමට දැක්මක් සහ වැඩපිළිවෙළක් සහිතව අපි වැඩ කරමින් සිටිනවා. අප රටේ ගැහැනියගේ හිස මත පවතින  බරින් අපි ඔවුන්ව මුදවා ගන්නවා.

විශේෂයෙන්ම පරිවාසයේ සිටින දරුවන් ගැන අපි අවධානය යොමු කළ යුතුයි. සමහර අයට අම්මා නැහැ, සමහර අයට තාත්තා නැහැ. ඇතැම් දරුවාට  උපන් දිනයක්වත් නැහැ.පරිවාස භාරයට ලක් වන දරුවන්ට අනුමාන උපන් දිනයක් තිබෙනවා. පරිවාස අධ්‍යක්ෂවරයාගේ වාසගම සමහර විට ඔවුන්ගේ වාසගම බවට පත් වෙනවා. එම නිසා ඒ දරුවන් පිළිබඳ අපේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා. ඔවුන් වෙනදා අවුරුදු 18 පිරුණම පරිවාස නිවාසෙන් එළියට දානවා. හැබැයි අපි ඒ දරුවට සුරක්ෂිත ජීවිතයක් අත්පත් කර ගන්නා තෙක් පරිවාස නිවාසය භාරයේ තියා ගන්න තීරණය කර තිබෙනවා. ඒ දරුවන්ව අපි බලා  ගත යුතුයි.

ඒ විතරක් නෙවෙයි ඕනෑම දරුවෙකුට නිවාසයක් පිළිබඳ සිහිනයක් තිබෙනවා. හැබැයි පරිවාස භාරයට ලක් වූ දරුවාට එයාටම කියා නිවසක් නැහැ. එයාටම කියා අනාගතයක් නැහැ. එම දරුවන්ට නිවාස ඉදි කර ගැනීම සඳහා අවශ්‍ය වන මූල්‍ය ප්‍රතිපාදනයක් ලෙස රුපියල් ලක්ෂ 20ක් ලබා දෙන්න අපි සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා මේ අවුරුද්දේ නිවාස 1000ක් හදන්න අපි සැලසුම් කර තිබෙනවා.

ඒ වගේම පරිවාසේ සිටින දරුවන්ට ස්ථාවර තැන්පතුවක් නැහැ. සාමාන්‍යයෙන් ඕනෑම දරුවෙකුට දෙමව්පියෝ යම් මුදලක් තැන්පත් කරනවා. පරිවාසේ දරුවට එහෙම තැන්පත් කරන්න කෙනෙක් නෑ. අපි මාසෙකට දීමනාවක් ලබා දීලා එම දරුවාට ස්ථාවර තැන්පතුවක් හදනවා. එයා පරිවාස භාරයෙන් නිදහස් වුනාම තමන්ටම ආර්ථිකය පවත්වා ගෙන යාමට මුදල් ප්‍රමාණයක් එහි එකතු වෙනවා. මේ ආකාරයට අපි මාසයකට වෙන් කර ඇති රුපියල් පන් දහසෙන් රුපියල් දෙදහසක් එයාගේ ගිණුමට යනවා.

එහෙනම් ආණ්ඩුවක් හදන්න ඕන මොකටද? ඒ රටේ දරුවන්, කාන්තාවන් , ඇය මුහුණ දී තිබෙන ගැටළු පිළිබඳව අවධානය සහ සංවේදීතාවය තිබෙන ආණ්ඩුවක් අපිට අවශ්‍යයයි. අපේ ආණ්ඩුව කවර ආණ්ඩුවක්ද? අපේ ආණ්ඩුව දේශීය වශයෙන් පමණක් නොවෙයි ජාත්‍යන්තර වශයෙන් වුනත් අපි ස්ථානගත වී ඇත්තේ කොතනද?අපි භූමියෙන් කුඩා රාජ්‍යයක්. එතරම් විශාල ආර්ථිකයක් තිබෙන රාජ්‍යයක් නොවෙයි. තාක්ෂණයෙන් දියුණු කරන ලද මහා ගිනිඅවි සහිත රාජ්‍යක් නොවේ. හැබැයි අපි මේ රට ගොඩ නගනවා. අපේ අපේක්ෂාව වන්නේ ශ්‍රී ලංකාව ලෝකයේ මනුෂ්‍යත්වයෙන් ඉහළින්ම සිටින රාජ්‍යය බවට පත් කිරීමයි .

ලෝකයේ ඇති වන ඕනෑම ආරවුලකදී, ව්‍යසනයකදී , යුද්ධ කර ගන්න අය ඉන්නවා. යුද්ධයට සහාය දෙන අය ඉන්නවා. යුද්ධ සඳහා ආශීර්වාද කරන අය ඉන්නවා. හැබැයි ජාතියක් ඉන්නවා ලෝකයේ යුද්ධයේදී මනුෂ්‍යත්වයේ කොඩිය ඉදිරියට ගත් ජාතියක් . ඒ තමයි ශ්‍රී ලාංකික ජාතිය කියන පණිවිඩය අපි ලෝකයට ගෙන යනවා.

ලෝකයේ දියුණු රටවල් තිබෙනවා. ඒ රටවල විශාල පහසුකම් තිබෙනවා. ඒ රටවල් විශාල පරිභෝජනවාදී ජීවිතයකට උරුමකම කියනවා. හැබැයි අපි ලෝකයේ ස්ථානගත කරනවා මොන ආර්ථික ගැටළු තිබුණත් මේ සමාජය මොන තත්ත්වයකට මුහුණ දුන්නත් මනුෂ්‍යත්වයෙන් පිරි සමාජයක් ජීවත් වන රට තමයි ශ්‍රී ලංකාව කියන සන්නාමය අපි මේ රටට ගෙන එනවා.

එය සනිටුහන් වෙන්නේ කොහොමද? දරුවන්ට සළකන්නේ කොහොමද? අම්මට සළකන්නේ කොහොමද? වැඩිහිටියන්ට සළකන්නේ කොහොමද? ආර්ථිකයෙන් අව වරප්‍රසාද සහිත අයට සළකන්නේ කොහොමද? ස්වභාවික ව්‍යසනයකදී ඒ ජනතාව පිළිබඳසහකම්පනය ඇති වන්නේ කොහොමද? මේවා තමයි වැදගත්.

ඒ නිසා මනුෂ්‍යත්වයේ ශ්‍රී ලංකාව ලෙසඅපේ රට ලෝකයේ ස්ථානගත කරනවා. මනුෂ්‍යත්වයේ ශ්‍රී ලංකාව නම් එය දරුවන්ගේ විශේෂයෙන්ම කාන්තාවන්ගේ ,අප රටේ අව වරප්‍රසාදිත ජන කණ්ඩායම්වල, විවිධ සංස්කෘතින් අනුව වෙන් වූ කණ්ඩායම්වලට බේදයකින් තොරව මනුෂ්‍යත්වයෙන්, සහකම්පනයෙන් සළකන රාජ්‍යයක් විය යුතුයි. එම රාජ්‍යක් ගොඩ නැගීමේ පියවරේදී තමයි අපි අපේ රටේ දරුවන් සහ කාන්තවන් දෙස බලන්නේ. මේ මනුෂ්‍යත්වයේ රාජ්‍යයි. මනුෂ්‍යත්වයේ රාජ්‍යයක කාන්තාවන්ට බස් එකක යන්න බැරි වෙන්න විදියක් නෑ. අපේ දැරිවියන් අනවරත දූෂණයට ලක් වීමේ ඉඩක් නෑ, කාර්යාලයේ නිවස තුළ ප්‍රචණ්ඩත්වයට අපේ කාන්තාව ගොදුරු විය යුතු නෑ. මනුෂ්‍යත්වයේ රාජ්‍යක් තුළ අපේ කාන්තාවන්ට රට තුළ අනාරක්ෂිතතාවයක් පිළිබඳ බියක් ඇති විය යුතු නැහැ. මනුෂ්‍යත්වයේ රාජ්‍යක් තුළ අපි හැම දෙනාම මනුෂ්‍යයන් ලෙස සළකන රාජ්‍යක් අපි නිර්මාණය කරනවා. ඒ වෙනුවෙන් ජාතික ජන බලවේගයේ කාන්තාවෝ විශාල වෙහෙසක් දරනවා.මේ බලය ගොඩ නගන්නත් මේ බලය පවත්වා ගෙන යන්නත් මේ සමාජයට මනුෂ්‍යත්වය කැටුව යාම වෙනුවෙනුත් ඔබගේ කාර්යභාරයට අපේ ආචාරය පුද කරනවා.” යනුවෙන් පැවසීය.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here