ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ කෝසල නුවන් ජයවීර මහතා හදිසියේ පසුගිය 06 වැනිදා ඇතිවූ හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වී ඇත. කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඒ මහතා මියගොස් ඇති අතර, මරණය සිදුවන විට ඔහු 38 හැවිරිදි වියේ පසුවිය.
පසුගිය මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු කෝසල නුවන් ජයවීර මහතා මනාප ඡන්ද 61,713ක් ලබාගනිමින් කෑගල්ලෙන් තේරීපත්වූ මන්ත්‍රීවරුන් හත්දෙනා අතරින් දෙවැනි ස්ථානය හිමි කරගත්තේය. Sri Lanka Latest News
ඔහු ගුරුගල්ල කනිෂ්ඨ විද්‍යාලයේ හා ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හදාරා විවෘත විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් උසස් අධ්‍යාපනය හැදෑරූ අයෙකි. එසේම ඔහු විවෘත විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වශයෙන් කටයුතු කළ බවත්, සමාජවාදී ශිෂ්‍ය සංගමයෙන් (SSU) ජාතික දේශපාලනයට පැමිණි බවත් සඳහන් කර තිබිණි.
පහත පළවන්නේ කෝසල නුවන් ජයවීර මහතා මීට කෙටි කාලයකට පෙර හිරු ටීවී නාලිකාව සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි.
කෝසල නුවන් ජයවීර කියන්නේ කවුද?
මම කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරලා තමයි පාර්ලිමේන්තුවට ආවේ. මම ඉපදෙන්නේ දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නාපාවල කියන ගමේ. මගේ මූලික අධ්‍යාපනය ගුරුගල්ල කනිෂ්ඨ විද්‍යාලයෙන්. ඊට පස්සේ උසස් පෙළ අධ්‍යාපනය ලබනවා ඇහැලියගොඩ ජාතික පාසලෙන්. මගේ දේශපාලනයට එන්න මූලිකම පිවිසුම ගන්නේ විශ්වවිද්‍යාලයේදී. විවෘත විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා විදියට වැඩ කරලා, සමාජවාදී ශිෂ්‍ය සංගමය හරහා දේශපාලනයට පිවිසිලා සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික කමිටුව නියෝජනය කරලා ඊට පස්සේ කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ජාතික දේශපාලනයට මම පිවිසුණා.
මගේ දේශපාලන ජීවිතයට අවුරුදු 12ක් වෙනවා. ඒ කාලය තුළ මම දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් විදියට කටයුතු කළා. ඊට අමතරව ජාතික ජන බලවේගයේ තරුණ සංගමයේ කෑගල්ල දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙසත් කටයුතු කරනවා.
ඔබතුමාලගේ ආණ්ඩුවෙන් මහා ශිෂ්‍ය සංගමයට පහරදීම් වගේ දේවල් සිදුවෙන එකක් නැති වෙයිද?
කොහෙත්ම නැහැ. මොකද අපේ ආණ්ඩුව කියන්නේ මේ රටේ ශිෂ්‍යයන්ගේ ප්‍රශ්නයන් හොඳට හඳුනාගත්ත දේශපාලන ව්‍යාපාරයක්.
රජයට බලපෑම් කරමින් විරෝධතා කරලා තියෙනවා. ඒ වගේම වැඩවර්ජනවලට යද්දීත් රාජ්‍ය සේවකයන්ගෙ පැත්තෙත් එහෙමයි. ඒ ආකාරයෙන්ම ඔබේ ආණ්ඩුවටත් බලපෑම් වෙන විදියට විශ්වවිද්‍යාල සිසුන් විරෝධතා කළොත්, වැඩ වර්ජන කළොත් කොහොමද ඔබලා ඒවාට උත්තර දෙන්නේ?
සටන් ක්‍රියාමාර්ග තේරුවේ තිබුණු පීඩාවන්ට එරෙහිව. ඒ ආකාරයේ පීඩා ඇති නොවන ආකාරයට වැඩ කළා නම් එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ. ඒ නිසා කවදාවත් එවැනි දෙයක් සිදුවෙන්නේ නෑ කියන සහතිකය අපිට දෙන්න පුළුවන්.
Saru FM Media