මධ්‍යම කඳුකරය රැකගන්න අධිකාරියක් එයි!

0
10

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: මධ්‍යම කඳුකරයේ ඉදිරි පැවැත්ම සහ ආරක්ෂාව වෙනුවෙන් අධිකාරියක් පිහිටුවීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (27) දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන ‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

එම වැඩසටහන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ගම්පොළ දොරගල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී පැවැත්විය.

ඒ අනුව මධ්‍යම කඳුකරය ගැන තීරණ ගැනීමේ අයිතිය මෙන්ම මධ්‍යම කඳුකරය බලාගැනීමේ වගකීම එම අධිකාරිය සතුවන බවයි එහිදී ජනාධිපතිවරයා පැවසුවේ.

එම අරමුණු, උපාය මාර්ග, සැලසුම් කුමන හෝ තැනක බිඳෙනවා නම් ඊට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීම සඳහා විශාල බලයක් අදාළ අධිකාරියට හිමිවන බවද ජනාධිපතිවරයා සඳහන් කරන ලදී.

රටේ මුළු ආර්ථිකය, මුළු ජීවන තත්ත්වයම රඳා පවතින්නේ මධ්‍ය කඳුකරය මත බැවින් රටේ හදවත වන මධ්‍ය කඳුකරය පළුදු වී ඇති හෙයින් තවදුරටත් ඊට ඉඩ නොදෙන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ඒ අනුව අදාළ සැලසුම ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ජනතා සහයද අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියාසිටියේ.

මධ්‍ය කඳුකරය සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුව විසින් සිදුකරන ලද සමීක්ෂණ වාර්තාවක් රජය වෙත ලැබී ඇති අතර එහි මධ්‍ය කඳුකරය අතීතයේ තිබුණු ආකාරයත් වර්තමානයේ පවතින ආකාරයත් මෙලෙස පැවතුනහොත් අනාගතයේ තත්ත්වයත් එහි පෙනුම් කර ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

අනාගතයේදී පස් හෝදගෙන ගියපු ගල් විතරක් මතුවෙන අවදානමක් පවතින අතර මධ්‍ය කඳුකරයේ බොහෝ ජලාශ රොන්මඩ වලින් පිරිනැ තත්ත්වයක් උද්ගතවන බව එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

මධ්‍ය කදුකරය මුළු භූමි ප්‍රමාණයෙන් 13.6ක් වුවත් අවශ්‍ය වර්ෂාපතනයෙන් 76%ක් ලැබෙන්නේ මෙම භූමි ප්‍රමාණයටය.

එම නිසා මධ්‍ය කඳුකරයේ සුරක්ෂිතභාවය ඉතා වැදගත් බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

The post මධ්‍යම කඳුකරය රැකගන්න අධිකාරියක් එයි! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here