මතුගම ශාන්ගේ පාසල් මිතුරකු සමග ඉෂාරාට සැඟවෙන්න උදව් කළ පොලිස් කොස්තාපල් අල්ලයි

0
2

සංජීව ඝාතන සැලසුමට ඉෂාරා යොදාගත් දුරකථනය ගම්පහ වළ දමා තිබියදී සොයා ගැනේ

තවත් රහස් රැසක් හෙට අනිද්දා එළියට

ගනේමුල්ලේ සංජීව අලු‍ත්කඩේ අධිකරණයේ දී වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු පලා ගිය ඉෂාරා සෙව්වන්දිට සැඟවී සිටීමට පහසුකම් සැපයූ පොලිස් කොස්තාපල්වරයකු, ඔහුගේ නැන්දනිය සහ මතුගම ශාන් නමැති පාතාල නායකයාගේ පාසල් මිතුරකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවේ පසුවන ඉෂාරා සෙව්වන්දිගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත මෙම සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් කියා සිටියේය.

මේ අතර ගණේමුල්ලේ සංජීව ඝාතනයේ සැලසුම සඳහා ඉෂාරා සෙව්වන්දි විසින් පාවිච්චි කරන ලද ජංගම දුරකථනය ගම්පහ ප්‍රදේශයේ වළ දමා තිබියදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සොයා ගෙන ඇත.

මෙම ජංගම දුරකථනය ඔස්සේ ඉතාම වැදගත් තොරතුරු රැසක් හෙළි වී ඇත. ප්‍රහාරයට සම්බන්ධ තවත් පුද්ගලයන් කීපදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද පොලිස් ආරංචි මාර්ග පැවසීය.

සංජීව ඝාතනය කිරීමෙන් පසු ඉෂාරා සෙව්වන්දි වැලිපැන්න ප්‍රදේශයට ගොස් ඇති අතර පොලිස් නිලධාරියාගේ නැන්දණියගේ නිවසේ ඇයට නවාතැන් පහසුකම් සපයා දී ඇත.

මෙම පොලිස් නිලධාරියාගේ මස්සිනා මතුකම ශාන්ගේ ගෝලයකු වන අතර ඔහුගේ ඉල්ලීම මත ඉෂාරා සෙව්වන්දි පොලිස් නිලධාරියාගේ නැන්දෙනියගේ නිවසේ නතර කර ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

දින දෙකක කාලයක් මෙම නිවසේ නවාතැන් ගෙන සිටි ඉෂාරා සෙව්වන්දි පසුව දොඩංගොඩ ප්‍රදේශයේ නිවසක් වෙත ගොස් තිබේ.
එම නිවස මතුගම ශාන්ගේ පාසල් මිතුරකුට අයත් වන අතර මාසයකට ආසන්න කාලයක් ඇය රැඳී සිට ඇත්තේ එම නිවසේ බව ද විමර්ශනවලින් හෙළි වී තිබේ.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා අලු‍ත්ගම පොලිසියේ රාජකාරි කරන නිලධාරියෙකි.

ඉෂාරා සෙව්වන්දි පෙරේදා දිනයේ වැලිපැන්න සහ දොඩංගොඩ ප්‍රදේශවලට රැගෙන ගොස් ඇය සැඟවී සිටි ස්ථාන හඳුනා ගැනීමට පොලිසියට හැකි වී ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මතුගම සහ දොඩංගොඩ ප්‍රදේශවල මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබූ අතර එහිදී මෙම සැකකාරිය නවාතැන් ගෙන සිටි නිවස ද පරීක්ෂාවට ලක් කර තිබිණ.

අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් එම නිවස පරීක්ෂා කරන විටත් ඇය මාතර ප්‍රදේශයට පලා ගොස් තිබූ බව මේ වන විට අනාවරණය වී ඇත.

දොඩංගොඩ නිවසේ රැඳී සිටිමින් ඉෂාරා සිව්වන්දි මතුගම ඇතුළු ප්‍රදේශ කීපයක සාප්පු සවාරිවල පවා නිරත වී ඇති බව මේ වන විට හෙළි වී තබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යන අතර මෙම සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන් කිහිපදෙනකු ම ඉදිරි දිනවල දී අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද පොලිස් ආරංචි මාර්ග කියා සිටියේය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, කොළඹ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා යන මහත්වරුන්ගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here