ආදිවාසී නායක වන්නිලා ඇත්තෝ කියයි
“මේක ජාතියක් බේරාගන්න ජාතික වැඩසටහනක්. රටේ දරු පරපුර ආරක්ෂා කර ගන්න කරන යහපත් වැඩසටහනක් යැයි, රජය විසින් අද (30 දා) ක්‍රියාත්මක කරනු ලබන විෂ මත්ද්‍රව්‍ය උවදුර පරදන ‘රටම එකට’ ජාතික මෙහෙයුම පිළිබඳව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් දඹාන ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තෝ ඊයේ (29 දා) දඹාන කොටබකිණිය ආදිවාසී ගම්මානයේදී ප්‍රකාශ කළේය.
එහිදී ආදිවාසී නායකයා වැඩිදුරටත් මෙසේද කීය.
“රජය මැදිහත්ව 30 වැනිදා වැදගත් වූ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට සූදානම් වෙනවා. ඉස්සර ආණ්ඩුත් මෙවැනිම වැඩසටහන් ක්‍රියාවට නැංවූවා. මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ ‘මතට තිත’ කියලා වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. සිරිසේන ජනාධිපතිතුමන්ගේ කාලේ ‘මතින් තොර රටක්’ කියලා වැඩසටහනක් තිබුණා. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාලේ තවත් ලොකු මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. ඒ වාගේම මේ ආණ්ඩුවත් ලොකු වැඩපිළිවෙළක් සංවිධානය කරලා තියෙනවා. මේ රටෙන් විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙළ පිළිබඳව මම සතුටට පත් වෙනවා.
අපේ රට සෑම දිනයකම බණ කියන, බණ අහන රටක්. බුදුන් වහන්සේ තෙවරක් පා තැබූ පුණ්‍ය භූමියක්. ඒ වගේ රටක් මත් රකුසා වෙළාගෙන තියෙනවා කියන්නේ හරිම කනගාටුවක්. එවැනි වැදගත් රටේ හැම දවසේම ආරංචි වෙන්නේ පවුල් ආරවුල්, අඬදබර සහ මිනිමැරුම්. මෙවැනි ශෝචනීය සිදුවීම් දිනපතා සිදුවෙන්නේ මත්ද්‍රව්‍ය නිසාම තමයි. හොර මැරකම්, මංකොල්ලකෑම් මිනීමැරුම්, පවුල් ආරවුල් මත්ද්‍රව්‍ය නිසා උග්‍ර වෙලා.
මගේ වරිගයේ ඇත්තන් ජීවත් වෙන ගම්මාන 62 ක් රටපුරා තියෙනවා. මේ ගම්මාන 62 න්ම හැමදාම පැමිණිලි ලැබෙනවා. මත්ද්‍රව්‍ය පානය කරලා පවුල්වල අඬදබර පවුල් ආරවුල් ඇති කරගෙන විශාල පිරිසක් ලොකු ප්‍රශ්න ගොඩකට මැදිවෙලා ඉන්නවා කියලා. රැහේ නායකයා විදියට ඔය හැම ගැටලුවකටම විසඳුම් දීමේ හැකියාවක් මට නෑ. මට පුළුවන් ඒ පළාතේ තියෙන ප්‍රධාන පොලිසියේ ඉහළ නිලධාරීන් දැනුවත් කරලා, ඒ පිළිබඳව සොයා බලන්න, මත්ද්‍රව්‍ය වැටලීම් කරන්න කියන්න විතරයි. හැබැයි පොලිසියේ නිලධාරින් ගමට යනකොට ගමේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ හැංගිලත් ඉවරයි. කොහොම ඒ අයට ඒ පණිවිඩය යනවා ද මම නම් දන්නේ නෑ.
මේක ජාතික වැඩසටහනක්. ජාතියක් බේරාගන්න වැඩසටහනක්. පසුගිය කාලේ දවසක් බදුල්ල තල්දෙන තරුණ සිරකරුවන්ගේ කඳවුරට යන්න මට අවස්ථාවක් ලැබුණා. එම ස්ථානයේ ප්‍රධාන නිලධාරියා මගේ හිතවතෙක්. එතුමා සිර කඳවුරේ ඉන්න තරුණ වැරදිකරුවන් මට පෙන්නුවා. ඒ අයගේ විස්තරත් අහන්න කියලා මට කිව්වා. මොකටද මේ පුනරුත්ථාපනය කරන්න කඳවුරට ගෙනත් දාලා තියෙන්නේ කියලා මම ඒ අයගෙන් අහපුවාම වැඩි හරියක්, මත්කුඩු පානය කරලා, නැත්නම් මත්කුඩු සන්තකයේ තබාගෙන ඉඳලා අහුවෙලා. මත්කුඩු ජාවාරමේ නිරත වෙලා හිටපු තරුණ ළමයි තමයි වැඩිපුර එතැන හිටියේ. ඇත්තටම ඒක හිතට ලොකු වේදනාවක්. මේ රටේ බාල පරම්පරාව ඒ විදියට විනාශ වෙලා යෑම රටට ලොකු පාඩුවක්.
අපි ලෝකයාට කථා කරනවා අපි මහජාතිය කියලා. මහ ජාතිය ජීවත් වෙන රට කියලා. අපි ඇත්තටම බලනකොට ඒ කතාව දැන් බොරු වෙලා. අපි මහ ජාතියක් නම් රට මෙහෙම නොවිය යුතුයි.
මේ ආණ්ඩුවටත්, ජනාධිපතිතුමන්ටත්, ආණ්ඩුවේ අනෙකුත් සාමාජිකයන්ටත්, මේ රටේ ජනතාවටත් මම කියනවා මේ වැඩසටහන හරිම වැදගත්. මේ ඔබේ දුවා දරුවා මත් රකුසාගෙන් බේරා ගන්නා වැඩසටහනක්. සියලු දෙනාම එකතුවෙලා මත් උවදුර මේ රටෙන් තුරන් කර ගැනීම සඳහා මේ වැඩසටහනට උදව් කළ යුතුයි. මෙවැනි වැඩසටහනක් ආරම්භ කර ජාතිය බේරා ගැනීමට කටයුතු කිරීම ගැන ආණ්ඩුවට ස්තුතියි.
මහියංගණය – රංජිත් කරුණාවීර
Saru FM Media










