මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මැරිය යුතුයි

0
1

ඔවුන් විනාශ කරන්නේ ජාතියක්:
සැකකරුවකු හෝ වැරදිකරුවකු ලෙස යන්න
බන්ධනාගාරය හොඳ තැනක් නොවන බව සිසුන් මතක තබා ගත යුතුයි
බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මැරිය යුතු බව බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පැවසීය. බන්ධනාගාර කොමසාරිස්වරයා ඒ බැව් කියා සිටියේ ඔහු විසින් මෙහෙයවනු ලබන ‘නොයා යුතු තැන’ දේශන මාලාවේ 435 වැනි වැඩසටහන නාවලපිටිය ප්‍රදේශයේ පාසල් 05ක සිසු දරු දැරියන් 500දෙනකු සඳහා පසුගියදා නාවලපිටිය නගරයේ දී පැවැති අවස්ථාවේදීය. නාවලපිටිය කොත්මලේ සිංහ සමාජය හා නාවලපිටිය පොලිසියේ සංවිධානයෙන් මෙය පැවැත් විණි.

“ලංකාවේ බන්ධනාගාර 36යි, ඒ තුළ දැමිය හැකි උපරිම සිරකරුවන් හා සැකකරුවන් ප්‍රමාණය 10500යි. නමුත් අද වන විට මේ බන්ධනාගාර 36 තුළ 36000කට අධික ප්‍රමාණයක් සිටිනවා. ඉන් 65% ක් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා බන්ධනාගාර ගත වූ අයයි. මත්ද්‍රව්‍ය ලබා ගන්නා අයගෙන් බහුතරයක් සිංහල බෞද්ධ ළමයි. ඒ නිසා මට වුවමනාවක් තිබුණා

බන්ධනාගාරයෙන් එළියට ඇවිල්ලා මහජනතාව මේ පිළිබඳව දැනුවත් කරන්න. පාසල් දරුවන් තමා රටක අනාගතය. ඔබ හරියට හැදුණොත් රට හැදෙයි. නැත්නම් රට විනාශ වෙයි. ඒ නිසයි නොයා යුතු තැන කියන සංකල්පය මත මේ දේශන මාලාව මා සිදු කරන්නේ” යැයි ආරාධිත දේශනය සිදුකළ බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය.

“මේ දිනවල යම් මත්ද්‍රව්‍යක් පිළිබඳ රට තුළ බොහෝ කතාබහක් ඇති වී තිබෙනවා. නමුත් එය මත්ද්‍රව්‍යයක් නෙවෙයි. රසායනික ද්‍රව්‍ය කීපයකයක එකතුවක්. මේවා භාවිතා කළොත් අවුරුදු දෙකක් යන විට සම්පූර්ණයෙන්ම ශරීරය විනාශ වෙනවා. මේ මත්ද්‍රව්‍ය එතරම් විනාශකාරීයි. ඔවුන් විනාශ කරන්නේ ජාතියක්, ඔවුන් විනාශ කරන්නේ වැඩියෙන්ම සිංහල බෞද්ධ ජාතිය. ඒ නිසා මං හිතනවා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ එල්ලා මැරිය යුතුමයි කියලා.”

මේ දිනවල සිදු කරන වැටලීම්වල දී වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය හමුවන්නේ දකුණු පළාතෙන්. එහි ප්‍රතිඵලයක් ලෙස බන්ධනාගාර ගතවන පිරිස 36000 සිට 40000 දක්වා ඉහළ යා හැකියි. එසේ වැඩිවීම බන්ධනාගාරවලට දරා ගත නොහැකියි. සිර කුටිවල ඔවුන්ට අඩුම තරමේ වාඩි වී සිටීමටවත් පහසුකම් සැපයීමට නොහැකියි. ඒ නිසා බන්ධනාගාරය යනු සිරකරුවකු හෝ සැකකරුවකු ලෙස කිසිදු විටක නොයා යුතු තැනක් බව සිහියේ තබාගත යුතුයි.

මෙයට සමගාමීව මනෝ විද්‍යා උපදේශක මහාචාර්ය ප්‍රියංගනී රාජපක්ෂ මහත්මිය විසින් පාසල් ළමුන් යහපත් මානසික සංවර්ධනය පවත්වාගෙන යෑම පිළිබඳ දේශනයක් ද සිදු කරන ලදී.

ගම්පොළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා, නාවලපිටිය පොලිසි ස්ථානාධිපති හරේන්ද්‍ර කළුගම්පිටිය, නාවලපිටිය නගරාධිපති අමල් ප්‍රියංකර, පස්බාගේ ප්‍රාදේශීය සභාපති මංජුල ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් ද මීට සහභාගි වී සිටියහ.

සිංහ සමාජය වෙනුවෙන් කොත්මලේ සහ නාවලපිටිය සිංහ සමාජයේ නාමල් අමරසිංහ මහතා මෙම ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කළේය.
නුවරඑළිය නාලක රත්නායක

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here