මත්කුඩු අදින්න යොදාගත් දෙහිබාලේ මල්ලිගේ බෝට්ටු 5 ක් – නිවසක් පොලිසිය භාරයට

0
1

පාතාල කල්ලි නායකයකු මෙන්ම ප්‍රධානම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන දෙහිබාලේ මල්ලි නමැත්තාට අයත් රුපියල් මිලියන 250කට (කෝටි 25කට) ආසන්න වටිනාකමෙන් යුත් විශාල ප්‍රමාණයේ බෝට්ටු 05ක් සහ නිවසක් නීති විරෝධී වත්කම් විමර්ශන සහ පවරා ගැනීමේ ඒකකය මගින් ඊයේ (26 දා) සිය භාරයට ගෙන ඇත.

මෙම බෝට්ටු 05 දික්වැල්ල ධීවර වරායේ තිබියදී සිය භාරයට ගැනීමට නීති විරෝධී වත්කම් පවරා ගැනීමේ ඒකකයේ නිලධාරීහු කටයුතු කළහ.

මෙම බෝට්ටු මිලදී ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපයූ මුදල්වලින් බව විමර්ශනවලදී හෙළි වී තිබිණි. එමෙන්ම මෙම බෝට්ටු මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා දෙහිබාලේ මල්ලී විසින් යොදාගෙන තිබූ බව ද අනාවරණය වී ඇත.

නීති විරෝධී වත්කම් පවරා ගැනීම සහ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සී. ඩබ්ලිව්. වික්‍රමසේකර මහතාගේ අධීක්ෂණයෙන් විමර්ශන පැවැත්වෙයි.

දෙහිබාලේ මල්ලී නමැත්තා දකුණු පළාතේ ප්‍රබල පෙළේ පාතාල නායකයකු වන අතර ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ද බව පොලිසිය පවසයි.

දෙවිනුවර දේවාලය ඉදිරිපිට දී තරුණයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු දකුණු පළාතේ මිනිස් ඝාතන ගණනාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින දෙහිබාලේ මල්ලී ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින බව ද පොලිසිය පවසයි.
හේමන්ත රන්දුණු

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here