
ජපානයේ කෘෂිකර්ම ඇමති තකු එටෝ, සහල් මිලදී ගැනීම සම්බන්ධයෙන් නුසුදුසු ප්‍රකාශයක් කිරීමෙන් පසු මහජන විරෝධය හමුවේ 2025 මැයි 21 වන දින ඉල්ලා අස්විය. මෙම සිද්ධිය රටේ සහල් හිඟය සහ මිල ඉහළ යාම පිළිබඳ ගැටලුව මධ්‍යයේ ජපාන රජයට තවත් දේශපාලන පසුබෑමක් ලෙස විදෙස් මාධ්‍ය හඳුන්වා තිබේ.
අග්‍රාමාත්‍ය ශිගෙරු ඉෂිබා විසින් එටෝගේ ඉල්ලා අස්වීම, පිළිගත් අතර පසුගිය සතියේ පැවති අරමුදල් රැස්කිරීමේ උත්සවයකදී කරන ලද ප්‍රකාශයකින් මේ සියල්ල සිදුවිය.
එටෝ එම අවස්ථාවේදී ප්‍රකාශ කර ඇත්තේ, “මම සහල් මිලට ගන්නේ නැහැ. ආධාරකරුවන්ගෙන් ලැබෙන නිසා, මගේ ගෙදර විකුණන්න පුළුවන් තරම් සහල් තිබෙනවා” යනුවෙනි.
ජපානයේ පාරිභෝගිකයෝ දැනට පවතින සහල් හිඟය සහ මිල ඉහළ යාම නිසා දැඩි අපහසුතාවයන්ට මුහුණ දෙන මොහොතක තමාට ප්‍රශ්නයක් නැතැයි කියමින් සිදු කළ මෙම ප්‍රකාශය ජනතාව ගැන නොසිතන නායකයෙකු බව පෙන්වමින් ඔවුන්ගේ තදබල විරෝධයට ලක්විය. සහල් යනු ජපානයේ ප්‍රධාන ආහාරයක් වන අතර, එහි මිල මේ වසරේ වාර්තාගත ඉහළ අගයකට ගොස් ඇත. මේ නිසා එටෝගේ ප්‍රකාශය ජනතාව අතර විශාල කෝපයක් ඇති කළේය.
ජුලි මාසයේ පැවැත්වීමට නියමිත මැතිවරණයකට පෙර අග්‍රාමාත්‍ය ඉෂිබාගේ දැනටමත් ශක්තිමත් නොවන රජයට විශාල දේශපාලන බලපෑමක් ඇති කළ හැකි නිසා ඉල්ලා අස්වීම ඉක්මන් විය.
විපක්ෂ පක්ෂ එටෝගේ ඉවත් කිරීම ඉල්ලා සිටි අතර, බදාදා සවස වන විට ස්වේච්ඡාවෙන් ඉල්ලා අස් නොවුනහොත් විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට තර්ජනය කළහ. මෙම ඉල්ලා අස්වීම අග්‍රාමාත්‍ය ඉෂිබාගේ දැනටමත් අර්බුදයට ලක්ව ඇති රජයට තවත් අභියෝගයක් බවට පත්ව ඇත.
එටෝ, ඔහුගේ ඉල්ලා අස්වීම අග්‍රාමාත්‍ය කාර්යාලයට භාර දීමෙන් පසු මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ, “පාරිභෝගිකයන් සහල් මිල ඉහළ යාම නිසා අපහසුතාවයට පත්ව සිටින අවස්ථාවක මම ඉතා නුසුදුසු ප්‍රකාශයක් කළෙමි. රජය සහල් මිල අභියෝගවලට මුහුණ දෙන මෙම අවස්ථාවේ මා ප්‍රධානියා ලෙස රැඳී සිටීම සුදුසු නොවන බව මම සිතුවෙමි”. ලෙසයි.
සහල් හිඟයට ප්‍රතිචාර දක්වමින්, ජපාන රජය හදිසි සහල් සංචිත නිදහස් කර ඇති අතර සහල් ආනයනය ආරම්භ කර ඇත.
කෙසේ වෙතත්, සහල් මිල පාලනය කිරීමට රජය ගත් මෙම ක්‍රියාමාර්ග තවමත් ප්‍රමාණවත් ප්‍රතිඵල ලබා දී නොමැත.
නිලධාරීන් සහල් සැපයුම් හිඟයට හේතු ලෙස 2023 දී උණුසුම් කාලගුණය හේතුවෙන් දුර්වල අස්වැන්න සහ පොහොර හා වෙනත් නිෂ්පාදන පිරිවැය ඉහළ යාම පෙන්වා දෙන නමුත්, සමහර විශේෂඥයෝ රජයේ දිගුකාලීන සහල් නිෂ්පාදන ප්‍රතිපත්තිය වරද්දාගෙන ඇති බව පවසති.
සහල් හිඟය 2024 අගෝස්තු මාසයේ සිට ආරම්භ වූයේ, විශාල භූමිකම්පාවකට සූදානම් වීම සඳහා රජය අනතුරු ඇඟවීමකින් පසුව ඇති වූ විශාල මිලදී ගැනීම් හේතුවෙනි. සරත් කාලීන අස්වනු ලැබීමෙන් පසු සැපයුම් පීඩනය සමනය වුවද, හිඟය සහ මිල ඉහළ යාම නැවතත් මෙම වසරේ මුල් භාගයේදී ඇති විය.
Saru FM Media