මගී සේවා අවසර බලපත්‍ර නෛතිකව පවරා දීම අද සිට

0
2

1991 අංක 38 දරණ ජාතික ගමනා ගමන කොමිසන් සභා පනතට අනුව මගී සේවා අවසර පත්‍ර පැවරීමක් සිදුකල නොහැකිවිය.

එවැනි පැවරීමක් සිදුකලහොත් ශූන්‍ය හා බලරහිත විය.

බස් කර්මාන්ත හිමියන් ප්‍රායෝගිකව මුහුණ දෙන ගැටළු සලකා බලා 2025 අංක 08 දරණ ජාතික ගමනා ගමන කොමිසන් සභා සංශෝධන පනත මගින් මගී සේවා අවසර පත්‍ර ලාභීන්ට අදාල මගී සේවා අවසර බලපත්‍ර පැවරීම සඳහා වන විදි විධාන හදුන්වාදෙනු ලැබීය.

එම පනත යටතේ අංක 2471/68 දරණ 2026.01.17 දිනැති මගී සේවා අවසර පත්‍ර පැවරීමේ නියෝග මගින් මෙම මගී සේවා අවසර පත්‍ර පැවරීම සඳහා අදාල වන්නා වූ නෛතික විධිවිදාන ප්‍රකාශයට පත් කරනු ලැබීය.

මේ පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් අද ( 05 )  දින බත්තරමුල්ල කොස්වත්ත හි පිහිටි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, ජාතික ගමනා ගමන කොමිසම් සභාව ඒකාබද්ධව මෙරට බස් රථ කර්මාන්තය විධිමත්ව හා කාර්යක්ෂමව පවත්වා ගැනීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන ජාතික වැඩසටහන යටතේ බස් රථ හිමියන්ගේ මගී සේවා අවසර බලපත්‍ර පැවරුම්ලාභීයා වෙත නීත්‍යානුකූලව පැවරීමේ අවසර මේ වන සලසා දී ඇත.

පැවරුම්ලාභියා විසින් පසුගිය මාස හයක කාල සීමාව තුල මූල්‍යමය ශක්‍යතාව  රුපියල් මිලියන දෙකක උපරිමයට යටත්ව  තිබිය යුතු අතර බලපත්‍රය හිමි බස් රථ පැවරුම්කරු විසින් පැවරීමට අවශ්‍ය මූලික ලේඛන මාර්ගගත ක්‍රමය හරහා ජාතික ගමනා ගමන කොමිසන් සභාව වෙත ඉදිරිපත් කොට තිබිය යුතුය.

විශේෂයෙන්ම පැවරීම් සිදුකරන අවස්ථාවට ප්‍රථමයෙන් යම් මගී සේවා අවසර බලපත්‍රයක් ඇටෝනි බලපත්‍රයක් හරහා තවත් අයෙකුට පවරාදීමක් සිදු කොට ඇත්නම් ඒවා අවසන් කොට තිබීම අනිවර්‍යය වේ.

ලේඛන ඉදිරිපත් කිරීමේ දී පූර්ව අවබෝධය සහිතව NTC අභ්‍යන්තර ක්‍රියාවලියට පහසුවන ආකාරයෙන් සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම තුලින් ප්‍රමාදයකින් හෝ බාධාවකින් තොරව පැවරුම් ක්‍රියාවලිය සිදු කර ගැනීමේ අවස්ථාව සැලසේ.

යම් මාර්ගයකට මගී සේවා බලපත්‍ර හතරක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබා දී තිබේ නම් ඉදිරියේදී 25% ක ප්‍රමාණයට අදාල වන ලෙස මගී සේවා බලපත්‍ර නිකුත් කරන බව මෙහි දී ප්‍රකාශ කලේය.

මෙහි දී අදහස් දැක්වූ ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා,

” අපේ රටේ පොදු ප්‍රවාහනයේ විශේෂ කාර්‍යභාරයක් ඉටු කරන පෞද්ගලික බස් රථ කර්මාන්තයේ වසර 30 ට වැඩි කාලයක් පැවති සේවා බලපත්‍ර ගිවිසුම් ගත ක්‍රියාවලිය වඩා විධිමත්ව සහ නීත්‍යානුකූල ලෙස පැවරීමේ අවස්ථාව ඇති කොට තිබෙනවා.
පසුගිය කාලයේ බොහෝ බස්රථ හිමියන් තමන්ගේ බස් රථ පැවරීම නීත්‍යානුකූල නොවන ක්‍රමවේද හරහා සිදු කර ගැනීම නිසා ගැටළු රැසක් නිර්මාණය වුණා.  මේ හේතුවෙන් කර්මාන්තයක් ලෙස ගොඩනැගීමට තිබූ අවස්ථාව ප්‍රමාද වුනා. නව පැවරීමේ ක්‍රමවේදය තුලින් දැනට සේවාවේ නිරත බස් හිමියන්ට අමතරව නව කර්මාන්තකරුවන් දිරි ගැන්වීමට මේ වැඩපිළිවෙල පිටුවහලක් වෙනවා.
මේ ක්‍රියාවලිය හරහා නව තරුණ ව්‍යවසායකයින් හට මෙම කර්මාන්තයට පිවීසීමට ඉඩක් ලැබෙනවා වගේම උතුරු පළාතේ බස් හිමියන් කාලයක් තිස්සේ මුහුණ දුන් ගැටලුවට මේ ක්‍රියාවලිය හරහා පැන නැගුණු ගැටලු විසදා ගත හැකි වෙනවා.”

මේ මාධ්‍ය හමුව සඳහා ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති ඉංජිනේරු පී ඒ චන්ද්‍රපාල, ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නීති නිළධාරී ප්‍රියන්ති ගුණසේකර යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here