මගමරුවාගේ කුඩු ආතල් එක

0
7

මීට තෙදිනකට පෙර මොරටුව රාවතාවත්තේ දී ප්‍රයිවෙට් බසයක් අනතුරකට ලක්විය. මේ අනතුරේ සම්පූර්ණ වගකීම එය පැදවූ කොන්දොස්තර අත ය. බසයේ ඉස්සරහ දකුණුපස සෑහෙන දුරකට සමතලා වී ඇති බව එහි ඡායාරූපවලින් අපි දුටුවෙමු. මේ අනුව බස් රථය ඍජුකෝණාස්‍රයක ස්වරූපය නොව පංචාස්‍රයක ස්වරූපය ගත්තේය. බස් රථයේ ඩ්‍රයිවර් පැත්තක සිටියදී කොන්දොස්තර බසය ධාවනය කිරීමෙන් මේ රටේ මගී ප්‍රවාහන ව්‍යාපාරයේ කොලිටිය ගැන අපට හිතාගත හැකි ය. අනතුරට ලක්වූ බසය විශාල ප්‍රමාණයේ ලේලන්ඩ් බස් එකකි. මේ අනතුරේ විශේෂත්වය වන්නේ බසය ධාවනය කළ කොන්දොස්තර එම අවස්ථාවේ දී අයිස් සහ හෙරොයින් යන මත්ද්‍රව්‍ය දෙකම පානය කර සිටීම ය. මේ දෙකම මිලිග්‍රෑම් පනහ බැගින්වත් උරන්නට නම් ඔහුට රුපියල් දසදහසක්වත් වැය වේ. මෙතුමා බස්රියේ අයිතිකරු ද නොවේ. එසේ නම් බස් කොන්දොස්තර කෙනකුට හෙරොයින් සහ අයිස් ගැසීමට රුපියල් දසදහසක් කොයින්ද? ඔහු බස් අයිතිකාරයාට ලණුවක් දී මාටියාගසන හොරෙක් ද? නොඑසේ නම් ගෙවල්වලින් ගෑස් සිලින්ඩර පන්නන, පිත්තල සහ යකඩ සොරකම් කරන පල් හොරෙක් ද? මෙතුමා ගැන සෙවීම ඉතා වැදගත් ය. මෙයට අවුරුදු විස්සකට පමණ පෙර දෙහිවල සහ තොටලඟ අතර අංක 167 දරන බස් තොගයක් ධාවනය විය. එහෙත් මේ රටේ පොලිසිය කුඩු ඇල්ලීම ඉක්මන් කරන්නට පටන්ගන්නා ලද කල්හි මේ බස් එකින් එක අඩුවී සම්පූර්ණයෙන්ම අතුරුදන් විය. මෙහිදී සිදුව තිබුණේ කුමක් ද? මේ බස් අයිතිකාරයන්ගෙන් 99% ක්ම කුඩු වෙළෙඳුන් හා කුඩු ලෝලීන් වීම ය. කුඩු පාතාලයේ සටන් ඇරඹුණු විටත් පොලිසියෙන් ගේම දුන් විටත් බස් අයිතිකරුවන් එකා බැගින් ආගියඅතක් නැති විය. 167 බස් රූට් එක සම්පූර්ණයෙන්ම මැකී යන්නේ මේ කාරණය නිසා ය.

ශ්‍රී ලංකාවේ පුද්ගලික බස් අයිතිකරුවන්ගේ සංගමය විසින් මෙයට කලකට පෙර වැදගත් සමීක්‍ෂණයක් කරන ලදී. මේ සමීක්‍ෂණයේ දී ඉතාම වැදගත් තීරණාත්මක සහ මාරාන්තික කාරණයක් හෙළි විය. එනම් මේ රටේ ප්‍රයිවෙට් බස් ඩ්‍රයිවර්ලාගෙන් 25% ක් ගංජා ගසන බව ය. ඔවුන් ධාවනය පිණිස බස් රිය අතට ගන්නේ ගංජා ගැසීමෙන් පසුව ය. ඊට අමතරව තවත් 20% ක් හෙරොයින් හෝ අයිස් ගසන කට්ටිය බව හෙළි විය. මේ 45% මගින් පෙන්නුම් කරන්නේ තම සේවා කාලය තුළ නිතරම පාහේ මත්ද්‍රව්‍ය උරන ප්‍රයිවට් බස් ඩ්‍රයිවර්ලා ගැන ය. ඒ අතර, කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල බස් ධාවනය කරන ප්‍රයිවට් බස් රියැදුරන්ගෙන් 80% ක්ම කවර හෝ වර්ගයක මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බව හෙළි විය. සමහර විට මේ මත්ද්‍රව්‍ය කොකේන් විය හැකි ය. මරිජුවානා විය හැකි ය. ගංජා ද විය හැකිය. එහෙම නැත්නම් අයිස් විය හැකි ය. අයිස් යනු මිලෙන් අඩු මත්ද්‍රව්‍යයක් නිසා වඩාත් ජනප්‍රිය වේ. අයිස් මිලෙන් අඩු යැයි කීවාට එයින් ග්‍රෑම් එකක තොග මිල රුපියල් 25,000 කි. හෙරොයින් ග්‍රෑම් එකක තොග මිල රුපියල් 50,000 කි. මත්ද්‍රව්‍ය වෙළෙන්දෝ අයිස් ග්‍රෑම් 1 කට නොයෙක් වර්ගයේ ද්‍රව්‍ය කලවම් කර එම ප්‍රමාණය ග්‍රෑම් පහ දක්වා ප්‍රසාරණය කරති. එවිට රුපියල් විසිපන්දහසට ගන්නා අයිස් ග්‍රෑම් එකකින් ග්‍රෑම් පහක ආදායම ලැබිය හැකි ය. මේ අනුව කුඩු වෙළෙන්දාට රුපියල් ලක්‍ෂයක පමණ ලාභයක් තිබේ. අයිස් ග්‍රෑම් එකක් රුපියල් විසිපන්දහසක් බව අප දැනගත්තේ කෙහෙල්බද්දර පද්මේගෙනි. ලංකාවේ පිහිටි, තමා මැනේජින් ඩිරෙක්ටර් වූ අයිස් කම්හලෙන් අයිස් ග්‍රෑම් එකක් එළියට ගැනීම සඳහා රුපියල් විසිපන්දහසක් වැය වන බව ඔහු කියා තිබේ. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළ සමග බලන විට අයිස් ග්‍රෑම් එකක තොග මිල රුපියල් විසිපන්දහසක් වීම, මත්ද්‍රව්‍ය වෙළෙඳ පොළේදී ලාභදායක ය. අයිස් යනු තනිකරම රසායනික මත්ද්‍රව්‍යයකි. එය නිෂ්පාදනය කරන්නේ කෘත්‍රිම රසායන ද්‍රව්‍යවලිනි. එහෙත් ගංජා යනු කාබනික් හෙවත් කෘත්‍රිම නොවන මත්ද්‍රව්‍යයකි. හෙරොයින් ද කෘත්‍රිම මත්ද්‍රව්‍යයක් නොවේ. එය කාබනික මත්ද්‍රව්‍යයකි. පොපි ගසෙන් ලබාගන්නා අබිං කළුපාට ය. එය දිගින් දිගටම පිරිපහදු කිරීමෙන් සුදු පැහැති අවක්ෂේපයක් ඉතිරි වෙයි. හෙරොයින් ලෙස හඳුන්වනු ලබන්නේ මේ අවක්ෂේපයයි. එය නාසයට උරා විනාඩි දෙක තුනක් ඇතුළත අපායේ යමපල්ලනුත්, දෙව්ලොවේ දිව්‍යාංගනාවනුත් හමුවීමට අපට පුළුවන.

මත්ද්‍රව්‍ය පානය කර බස් හෝ මෝටර් රථ හෝ තීවීලර් හෝ පදවන රියැදුරන්ට එරෙහිව ඉතාම දැඩි පියවර ගත යුතු ය. මේ අයගේ ලයිසන් තහනම් කර අනියම් මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවක් සකසා ඔවුන් අඩුම ගණනේ අවුරුදු දෙකකටවත් ඇතුළට දැමිය යුතු ය. උදේ කාලයේ දී පාරට බැස ඒ වන විටත් මත්ද්‍රව්‍ය ශරීරගතව තිබෙන රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ වැඩපිළිවෙළක් ඇති කිරීම සඳහා ගෝඨාභයගේ ආණ්ඩුව යෝජනාවක් ඉදිරිපත් කර තිබිණ. එහෙත් කොරෝනා වසංගතයත්, ජන අරගලයත් නිසා ගෝඨාභයගේ ආණ්ඩුව පෙරළුණු බැවින්, කුඩු රියැදුරන් සහ කසිප්පු රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ වැඩපිළිවෙළ යට ගියේ ය. ආණ්ඩුව මේ තත්ත්වය නොසලකා හැරියොත් ඉදිරි අවුරුදු විසිපහ තුළ රටේ ජනගහනයෙන් භාගයක්ම අඩුවීමට ඉඩ තිබේ. දවසගාණේ බස් හැප්පෙයි.

දවසගාණේ මිනිස්සු මැරෙති. ආණ්ඩු තවදුරටත් නිකන් සිටියොත් විශාල විනාශයක් සිදුවෙනවා ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here