ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයින් ඊයේ එකඟතාවයකට පැමිණ තිබෙනවා.
ඒ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදීයි.
ඒ අනුව බලය පිහිටුවන පළාත් පාලන ආයතනවලට අදාළ නාම ලේඛන සකස් කිරීම සඳහා අදාළ පක්ෂවල මහ ලේකම්වරුන් අද දිනයේදීම හමුවීමට නියමිතයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන, සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් එක්ව තිබුණා.
මීට අමතරව පොදු ජන එක්සත් පෙරමුණු නියෝජනය කරමින් අනුර ප්‍රියදර්ශන යාපා, කම්කරු ජාතික පෙරමුණේ නායක පලනි තිගාම්බරන්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ජීවන් තොණ්ඩමන් යන මහත්වරුන් ද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.
පළාත් පාලන ආයතන වල බලය ගැනීමේ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ මෙම ඒකාබද්ධ රැස්වීම් කැඳවීමේ කාර්යභාරය හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට මෙහිදී පවරනු ලැබීය.
විපක්ෂයේ පක්ෂ දැන් සිදු කිරීමට යන්නේ කුමක්ද? නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවට එක් වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතාගෙන් ප්‍රශ්න කළා.
මාලිමාවට එරෙහිව සිටින සියලු කණ්ඩායම් සමග ඉදියේදී සාකච්ඡා කොට බලය පිහිටුවීමට අමතරව, ඒකාබද්ධව කටයුතු කිරීමටත් මෙහිදී තීරණය වූ බවයි වාර්තා වන්නේ.
Saru FM Media