‘විදුලකර යෙළසිය අබිමන්’ සැමරුම් උළෙල ඔක්තෝබර් 27දා සිට නොවැම්බර් 2 දක්වා පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේදී පැවැත්වේ. මේ ඒ නිමිත්තෙනි.
ශ්‍රී ලංකාවේ බෞද්ධ පුනරුදය යථාවත්වීම සිදු වූයේ විද්‍යාලංකාර පිරිවෙන වැනි ශ්‍රේෂ්ඨ බෞද්ධ අධ්‍යාපන ආයතනවල මතුවීමෙනි. 1875 දී පූජ්‍ය රත්මලානේ ශ්‍රී ධර්මාලෝක හිමියන් විසින් ආරම්භ කරන ලද මෙම ආයතනය, 19 වන සියවසේ අගභාගයේදී බෞද්ධ අධ්‍යාපනය, වටිනාකම් සහ ජාතික විඥානය යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහ කළ පුනරුදයක බුද්ධිමය හා සංස්කෘතික කේන්ද්‍රස්ථානයක් බවට පත්විය. බෞද්ධ පුනරුදය යනු ආගමික පිබිදීමක් පමණක් නොව, යටත් විජිත ආධිපත්‍යය සහ ක්‍රිස්තියානි මිෂනාරි ව්‍යාප්තිය හමුවේ සමාජීය හා සංස්කෘතික පුනර්ජීවනයේ ව්‍යාපාරයක් ද විය. එය ශ්‍රී ලාංකිකයන්ගේ පරම්පරා සඳහා අධ්‍යාපනය, භාෂාව සහ අනන්‍යතාවය නැවත අර්ථ දැක්වීය. එහෙව් අද්විතීය බෞද්ධ අධ්‍යයන කේන්ද්‍රයට මේවන විට වසර 150ක් සපිරෙද්දී ආපසු හැරී බැලීම අප කාගේත් යුතුකමක් හා වගකීමකි.
විද්‍යාලංකාර පිරිවෙන ආරම්භ කරන ලද කාල පරිච්ඡේදය දැවැන්ත පරිවර්තනයකින් යුක්ත විය. බි්‍රතාන්‍ය පාලනය යටතේ ක්‍රිස්තියානි මිෂනාරි පාසල්වලට විධිමත් අධ්‍යාපනයේ ආධිපත්‍යය හිමි විය. ඉංග්‍රීසි භාෂාව යනු බලය සහ වරප්‍රසාද සඳහා වූ ස්වර්ණමය දොරටුව විය. බෞද්ධ උරුමයේ සාරය ගිලිහෙමින් තිබිණි. සිංහල සහ පාලි අධ්‍යයනයන් ආන්තිකකරණයට ලක් විය. මෙම සංස්කෘතික ඛාදනය හඳුනා ගනිමින්, බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ විද්වතුන් බුද්ධාගම සහ පෙරදිග සංස්කෘතිය පිළිබඳ අධ්‍යයනය ආරක්ෂා කර ඉදිරියට ගෙන යා හැකි දේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන නැවත ස්ථාපිත කිරීමට උත්සාහ කරමින් සිටියහ. ධර්මාලෝක හිමියන් විසින් විද්‍යාලංකාර පිරිවෙන ආරම්භ කිරීම මෙම අභියෝගයට දැක්වූ සෘජු ප්‍රතිචාරයක් විය. එය හුදෙක් පැවති පන්සලක් හෝ පාසලක් ලෙස නොව පැවිදි සහ ගිහි විද්වතුන් සඳහා උසස් අධ්‍යාපනයේ නවීන ආයතනයක් ලෙස අධ්‍යාත්මික විනය මෙන්ම බුද්ධිමය දේපළක් ලෙස සංකේතවත් විය.
පුනර්ජීවනය හෝ නව උපත යන අර්ථය ඇති බෞද්ධ පුනරුදය, ශ්‍රී ලංකා සමාජය තුළ බුද්ධාගමට හිමි නිසි ස්ථානය නැවත තහවුරු කිරීම අරමුණු කරගත් බහුවිධ ව්‍යාපාරයකි. එය පාලි, සංස්කෘත, බෞද්ධ දර්ශනය සහ පෙරදිග භාෂා පිළිබඳ පුළුල් අධ්‍යයනයන් පිරිනමන පිරිවෙන් ජාලයක් නිර්මාණය කිරීමෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට සහාය විය. අනෙක් අතට සදාචාරාත්මක හා ජාතික උපදෙස් සඳහා මධ්‍යස්ථාන බවට පත් වූ අතර, ආගමික ගුරුවරුන් පමණක් නොව සංස්කෘතික නායකයින් ද වූ භික්ෂූන් පරම්පරාවක් හැඩගස්වන ලදී. අධ්‍යාපනය හා සන්නිවේදනය සඳහා සිංහල සහ පාලි භාෂාව භාවිතා කිරීම කෙරෙහි ව්‍යාපාරයේ අවධාරණය, භාෂාමය අනන්‍යතාව ආරක්ෂා කර ගැනීමට සහ යටත්විජිත රාජ්‍යයේ සංස්කෘතික ආධිපත්‍යයට එරෙහි වූ දැවැන්ත අරගලයක පුරෝගාමීත්වයේ කොටසක් විය. බෞද්ධ අයිතිවාසිකම් පිළිගැනීම, පැවිදි ස්වාධීනත්වය සහ විදේශීය ආධිපත්‍යය යටතේ පීඩාවට පත් වූ ආගමික ආයතන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ද පෙරමුණ ගැනීම සිදුවිය.
දේශීය අධ්‍යාපනය ශාස්ත්‍රීය හා අධ්‍යාත්මික වශයෙන් පදනම් විය හැකි ආකාරය පෙන්නුම් කරමින් පිරිවෙන අනෙකුත් ආයතන සඳහා ආදර්ශයක් බවට පත්විය. එහි විෂය මාලාව හරහා, එය පාලි සහ සංස්කෘත ඉගෙනීම තර්කනය, දර්ශනය සහ ආචාර ධර්ම පිළිබඳ වැඩෙන උනන්දුව සමග ඒකාබද්ධ කළ ශාස්ත්‍රීය සම්ප්‍රදායක් පෝෂණය කළේය. කාලය ගෙවී යත්ම, එහි බුද්ධිමය දායකත්වය සහ එහි ආදි ශිෂ්‍යයන්ගේ බලපෑම ශ්‍රී ලංකාවේ බෞද්ධ උසස් අධ්‍යාපනය සඳහා නිල පිළිගැනීමක් ලබා ගැනීමට උපකාරී විය. මෙම පිළිගැනීම 1959 දී විද්‍යාලංකාර පිරිවෙන විශ්වවිද්‍යාල තත්ත්වයට උසස් කරන ලද අතර, එකල ශ්‍රේෂ්ඨ බෞද්ධ විශ්වවිද්‍යාල දෙකෙන් එකක් වූ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය බවට පත්විය. පසුව, එය කැලණිය විශ්වවිද්‍යාලය ලෙස පරිණාමය විය.
විද්‍යාලංකාරයේ බලපෑම සමාජ හා දේශපාලන ක්ෂේත්‍ර දක්වා ව්‍යාප්ත විය. එමඟින් බෞද්ධ පුනර්ජීවනය, සිංහල භාෂාමය අභිමානය සහ සංස්කෘතික ආත්ම විශ්වාසය යළි බලගැන්විණි. 20 වන සියවසේ මැද භාගය වනවිට මෙම සංසකෘතික බලවේගය රටේ ජාතික පරිවර්තනයකට දායක විය. රාජ්‍ය භාෂාවක් ලෙස සිංහල භාෂාව පිළිගැනීම සහ ශ්‍රී ලාංකික අනන්‍යතාවයේ කේන්ද්‍රීය ලෙස බුදුදහම ස්ථානගත කිරීම සිදුවිය. මෙම වටිනාකම් තහවුරු කළ 1956 දේශපාලන පරිවර්තනයේ දෘෂ්ටිවාදී සමාජ සැකසුම සහ නායකත්වය ගොඩනැඟීම විද්‍යාලංකාරය විසින් පෝෂණය කරන ලද බුද්ධිමය හා අධ්‍යාත්මික පසුබිම සෘජුව හෝ වක්‍රව බලපාන ලදී. මෙම යථාර්ථය අප අදට ගලපා ගත යුතුම ය.
ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ජයග්‍රහණය යනු ඉතිහාසයේ පළවැනි වතාවට සාමාන්‍ය ජනයා වෙත බලය මාරුවූ ඓතිහාසික මොහොතකි. ඉක්බිතිව පැවති මහ මැතිවරණයෙන් එය වඩ වඩාත් තහවුරු කෙරිණි. පූර්ව මැතිවරණ සමයේ එනම් 2024 නොවැම්බර් මස 06 දින මහවැලි කේන්ද්‍රයේදී ජාතික ජන බලවේගයට සහය පළකරමින් එමඟින් රටට අලුත් උපතක් සනිටුහන් කරනු ඇතැයි සංකේතවත් කරමින් “පුනරුදය උදෙසා ජනතා ව්‍යාපාරය” නමින් සංවිධානයක් බිහි විය. එහි සමාරම්භක උළෙලට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළ කළ අදහසක මෙසේ සඳහන් විය.
“අත්හැරුණු දේ වේගයෙන් උකහා ගැනීමත්, ජනතාව නව පරිවර්තනීය යුගයක් කරා, මෙහෙයවීමත් අපි දැන් කළ යුතුයි. එහිදී අපි සංවාදයට ලක්කළ යුතුයි. ජාතික පුනරුදයක ලක්ෂණ මොනවාද කියලා. අපේ රටේ තිබෙන විභවතාවන් සැලකිල්ලට ලක්කර ගනිමින්, අපේ විශිෂ්ටතමයින් උත්සාහ කරන ලද, නිෂ්පාදනය මත ආර්ථික ප්‍රවේශයකට වේගයෙන් අවතීර්ණ විය යුතුයි. මූලික වශයෙන් අපේ ප්‍රාථමික නිෂ්පාදනයන් වර්ධනය කර ගත යුතුයි. කොවිඩ්වලින් පසු රාජ්‍යයන්වලට තමන්ගේ ආර්ථික ප්‍රතිපත්තීන් ගැන නැවත සලකා බලන්න බලකර තිබෙනවා. කොවිඩ් කාලේ වරායවල්වල ඉඩ මදිවෙන තරමටම නැව් ඇන්කර් කර තබන්න සිදුවුණා. ගුවන් යානා ගොඩබස්සන ඉඩ මදිවෙන තරමට ගුවන් යානාවලින් පිරෙන්න පටන් ගත්තා. සයිබර් ලෝකයේ අපි ඒකාබද්ධ වුණාට ලෝකයේ සෑම රාජ්‍යයක්ම තමන්ගේ ජාතික සීමාවන් ඇතුලේ හුදෙකලා වෙන්න පටන් ගත්තා. හැමෝටම බල කළා තමන්ගේ මූලික අවශ්‍යතා වන ආහාර නිෂ්පාදනය කිරීමට අවධානය යොමු කිරීමට.
ඒ වගේම යටත් වුණු නිහඬ වුණු පුරවැසියන් වෙනුවට නව පුරවැසි ක්‍රියාකාරිත්වයක් සහිත ජනතාවක් අපේ රටට අවශ්‍යයි. ස්ත්‍රී, පුරුෂ ආදී වශයෙන් සමාජයේ සියලු බෙදීම් ඉවත් කළ සමාජයක් ගොඩනැගීම අවශ්‍යයි. ඒ වගේම විසිවැනි සියවසේ අධ්‍යාපනය සහ සෞඛ්‍යය ක්ෂේත්‍රයේ ලබාගත් මහා ජයග්‍රහණ අපේ ජනතාවට අත්කර දී නැහැ. එනිසා අධ්‍යාපනයේ සෞඛ්‍යයේ පුනරුදයක් අවශ්‍යයි. ප්‍රවාහනය ගත්තත් පුරවැසියන්ගේ ආදායමෙන් 35% – 40%ක් අතර වැය කිරීමට සිදුවෙලා තිබෙනවා. එතරම් ප්‍රමාණයක් වැය කළත් බොහෝ වේලාවක් පාරේ බස් එකේ නැත්නම් තමන්ගේ වාහනයේ රස්තියාදු වීමට සිදුවී තිබෙනවා. යහපත් පොදු ප්‍රවාහනයක් අපිට අවශ්‍ය නැද්ද? අද රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දෙමාපියන් කොතරම් කැපකිරීම් කරනවද? ආහාර වේල නොගෙන දරුවන්ට උගන්වන දෙමාපියන් ඉන්නවා. දරුවන්ට යහපත් අධ්‍යාපනයක් ලැබෙන සියලු පුරවැසියන්ට සෞඛ්‍ය ආරක්ෂාවක් තහවුරු වෙන ඉතා දියුණු ප්‍රවාහන පද්ධතියක් සහිත සේවාවක් තහවුරු කරන නව යුගයක් නිර්මාණය කළ යුතුයි.”
එවක ජනාධිපතිවරණ අපේක්ෂකයා වූ අනුර කුමාර දිසානායක මහතා එම පුනරුද ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ජනවරමක් හිමිවී තිබේ. සමානුපාතික නියෝජන ක්‍රමයක් තුළ ඉතිහාසයේ නොවූ විරූ බලයක් සහිත ආණ්ඩුවක් තමා සමග සිටියදී, පාලන බලයේ මෙහෙයුම්කරු ලෙස ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් වසරකට පසු ආපසු හැරී බැලීමේදී අතපසුවී ඇත්තේ කුමක්දැයි සිහිකල්පනාවෙන් බැලිය යුතු ය. වසර 150ක් ගතවීද, විද්‍යාලංකාර පිරිවෙන කේන්ද්‍ර කරගත් පුනරුද ව්‍යාපාරයෙන් අදටත් රටට ඉතිරි කර ඇති මහඟු දායාදයන් මෙන්ම සංස්කෘතික කතිකාවෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකාරීන්ට ගත හැකි ආදර්ශ බොහෝ ය.
පෑලියගොඩ විද්‍යාලංකාරයේ මහ පරිවේනාධිපති සහ අධ්‍යක්ෂක මෙන්ම කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස කටයුතු කළ පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමියන් සඟ සසුනටත්, රටටත් කළ සේවය කිසිවෙකුටත් අමතක කළ නොහැකි ය. උන්වහන්සේගේ අපවත් වීමෙන් පසු විද්‍යාලංකාර පිරුවෙන්හි අධ්‍යක්ෂ පදවියට සහ උපපරිවේණාධිපති පදවියට පත් වැලමිටියාවේ ඤාණරතන හිමියන්, 2022 දී කොළඹ හලාවත දෙදිසාවේ උපප්‍රධාන සංඝනායක පදවියෙන් පුද ලැබීය. නාවින්නේ සුගුණධම්ම නාහිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ විද්‍යාලංකාර පරිවේණාධිපති පදවිය අද දවසේ වැලමිටියාවේ ඤාණරතන නාහිමියන් විසින් හොබවනු ලබයි. කීර්තිමත් පඬිරුවන් වන උන්වහන්සේගේ අවවාද, අනුශාසනා හා මගපෙන්වීම් වත්මන් පාලනයට බෙහෙවින් වැඩදායී වනු ඇති බව අපගේ විශ්වාසය යි.
විද්‍යාලංකාර පිරිවෙන වටා ඇති ව්‍යාපාරය මෙහෙයවනු ලැබුවේ ශාස්ත්‍රීයත්වය සහ දූරදර්ශී නායකත්වය ඒකාබද්ධ කළ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ චින්තකයින් විසිනි. රත්මලානේ ශ්‍රී ධර්මාලෝක හිමියන්ගේ උත්සාහයන්, විද්‍යෝදය පිරිවෙනේ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් වැනි සමකාලීනයන් විසින් පවා අනුගමනය කරන ලදී. මෙම භික්ෂූන් වහන්සේලා එක්ව ලෞකික හා ලෝකෝත්තර යන දෙඅංශයෙන්ම දැනුම හා සංස්කෘතික සහජීවනය රටට ලෝකයට දායාද කරන ලද බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඔවුන්ගේ බලපෑම ආරාම බිත්තිවලින් ඔබ්බට සමාජයට විහිදුණු අතර, සංස්කෘතික අව්‍යාජභාවය සහ සදාචාරාත්මක ශක්තිය තුළ මුල් බැසගත් ජාතික අනන්‍යතාවයක් ගොඩනැගීමට උත්සාහ කළ ගිහි බෞද්ධයන්, ලේඛකයින් සහ දේශපාලන ප්‍රතිසංස්කරණවාදීන්ට ආභාසය හා මගපෙන්වීම නොමඳව ලබා දුන් බව නොරහසකි.
රටකට යම් පුනරුදයක් උදා කළ යුතු නම් එහි ජාතික අනන්‍යතාව හා සංස්කෘතික පදනම නොතකා කිසිදු වැඩපිළිවෙළක් ඉහළින් කෘත්‍රිමව පැටවිය හැකි නොවේ. පටවන ලද නමුත් ඒවා කිසිසේත්ම පාදම සමග පෑහෙන්නේ නැත. බටහිරින් ආනයනය කරන ලද සංකල්ප හා වැඩසටහන් මෙරට ජනජීවිතය හා ඓන්ද්‍රීය බැඳීමක් නොමැතිව පාවෙන සංකල්ප බවට පත්ව ඇත්තේ එබැවිනි. වත්මන් ආණ්ඩුවට ඉදිරිගාමී ලෙස සිතන ජාතික ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් ඇති බවත්, එය ක්‍රියාවට නැංවීමට අවංක උත්සාහයක් ඇති බවත් පිළිගත යුතු ය. එහෙත් එය යථාර්ථයක් බවට පත් කර ගැනීමට නම් බෞද්ධ උරුමය, සංස්කෘතික සාරය තුළින් සුපුෂ්පිත ජන විඥානය වටහා ගත යුතු ය. එකී ජන විඥානය සමග ගනුදෙනු කළ හැකි භාෂාවක්, අන්තර් සම්බන්ධයක් ගොඩනඟා ගනිමින් එය ශක්තිමත් කළ යුතුය. වසර 150ට පසුව වුව විද්‍යාලංකාර පිරිවෙන තුළින් රටට දායාද කළ පුනර්ජීවනය, වත්මන් ආර්ථික, සමාජ, දේශපාලනික, සංස්කෘතික ගෝලීය සන්දර්භය තුළ නැවත අර්ථ දක්වා ගත යුතු ය. සැබෑ සාධනීය වෙනසක්, පුනරුදයක් උදාකරගත හැක්කේ එවැනි දුර දක්නා වැඩපිළිවෙළකින් පමණි.

ආචාර්ය රංග ජයකොඩි
Saru FM Media










