වසා තිබෙන බෝගම්බර හිරගෙදර ජාතික වීරයන්ගේ නමට කැපකිරීමේ ඉල්ලීමක් ඉදිරිපත් වී තිබේ.
කන්ද උඩරට පාලනය ද අල්ලාගත් බ්‍රිතාන්‍ය පාලකයන් විසින් බෝගම්බරදී ඝාතනය කර වළ දමන ලද සිංහල ගිහිපැවිදි වීරයන් නමින් කෞතුකාගාරයක් සහ යටත්විජිතවල සිදු වූ අපරාධ පිළිබඳ විමර්ශන ආයතනයක් බෝගම්බර වසා දමා තිබෙන තෙමහල් බන්ධනාගාරයේ පිහිටුවන ලෙස හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ලේකම්වර හා ශ්‍රී ලංකා පරිපාලන සේවා
සංගමයේ හිටපු සභාපති සුදත් ගුණසේකර මහතා රජයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. මෙම යෝජනාව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා මගින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට සුදත් ගුණසේකර මහතා පියවර ගෙන තිබේ. ඉංග්‍රීසීන් උඩරට රාජධානිය අත්පත් කර ගෙන කොන්දේසි කඩකළ අවස්ථාවේ නැගී සිටි සිංහල වීරවරයන් වෙඩි තබා හා කපා කොටා අමුඅමුවේ මරා දමා පසට යට කළේ බෝගම්බර දී බව පෙන්වා දෙන සුදත් ගුණසේකර මහතා එම ජාතික වීරවරයන් දෙදෙනා මොනරවිල කැප්පෙටිපොල සහ මඩුගල්ලේ බවත් ඔවුන් හිස් ගසා ඝාතනය කරන ලද්දේ 1818 නොවැම්බර් 25 වැනිදා බවත් පවසා තිබේ. ඉන් පසුව නායක හිමිවරුන් සහ ගිහියන්
රැසක්ම මරණයට පත් කොට බෝගම්බර මහපොළව යට ඇටකටු බවට පත්කිරීමට කටයුතු කර තිබිණි. එබැවින් බෝගම්බර සහ ජාතික වීරයන් අතර සබඳතාවක් පවතියි යනුවෙන් ද ඔහු සඳහන් කර තිබේ.
බෝගම්බර බන්ධනාගාරය ඉදිකරන ලද්දේ 1877 දීය. බෝගම්බර පල්ලෙකැලේ නව ගොඩනැගිල්ලකට ගෙනයනු ලැබුවේ 1914 වර්ෂයේදීය. බෝගම්බර බන්ධනාගාරය ඉදිකිරීමේදී එල්ලුම් ගසේ දොර ශ්‍රී දළදා මාලිගාව දෙසට විවර වීමට කටයුතු යොදා තිබෙන බව ද දක්නට ලැබේ.
ඉතිහාසයේ කීර්තිමත් දේශපාලකයන් වූ කොල්වින් ආර්. ද සිල්වා, පිලිප් ගුණවර්ධන, විලියම් ද සිල්වා සිරගතව සිටියහ. එමෙන්ම මරු සිරා වැනි මිනිස් ඝාතකයෝ බෝගම්බර බන්ධනාගාරයේ දී එල්ලුම් ගසට ගොදුරු වූහ.
මෙවන් සිද්ධීන් රැසක ඉතිහාසයක් හිමි බෝගම්බර සුවිසාල ගොඩනැගිලි සංකීර්ණය ඓතිහාසික සිහිවටනයක් බවට පත් කළ යුතු බව සුදත් ගුණසේකර මහතා පෙන්වා දෙයි.
සිරිල් විමලසුරේන්ද්‍ර
Saru FM Media











