බුධ සිකුරුට අයත් තුලාවට

0
9

කාන්තා හිංසන හා ළමා අපචාර

ග්‍රහලොව බුද්ධිමතා, පණිවිඩකරුවා යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වනු ලබන වචනයට කාරක බුධ ග්‍රහයා 2025 නොවැම්බර් 23 ප.ව. 8.06ට තමාගේ මිතුරු රාශියක් වන සිකුරුට අයත් තුලා රාශියට ගෝචර වේ. සති දෙකක පමණ කාලයක් තුලාවේ රැඳී සිටින හෙතෙම දෙසැම්බර් 06 වෘශ්චිකයට පැමිණේ.

එම මොහොත වන විට තත්කාල ලග්නය වශයෙන් මිථුන ලග්නයත්, මකර නවාංශකයත් උදාව පවතී. එහිදී දෙවැන්නේ වක්‍ර ගුරු ද, තෙවැන්නේ කේතු ද, පස්වැන්නේ බුධ – සිකුරු ද, හයවැන්නේ රවි – කුජ ද, හත්වැන්නේ සඳු ද, නමවැන්නේ රාහු ද, දස වැන්නේ ශනි ද මෙසේ ගමන් ගෙන තිබුණි. තත්කාල කේන්ද්‍රයේ 22 වන දෙර්කානාධිපති සිකුරුට අයත්ව ගමන් කිරීම මත තවදුරටත් කාන්තා හිංසන, ළමා අපචාර ගැන නිරන්තරයෙන් ඔබට අසන්නට ලැබේ.

කුම්භ ලග්නය ලංකා කේන්ද්‍රයේ නමවැන්න තුළ සිකුරු ගෝචර වේ. ඒ අනුව අධිකරණයට, නීතීඥවරුයන්ට, ආගමික නායකයන්ට, දේශීය වෙළෙඳපොළට යන ස්ථාන සහ පුද්ගලයන්ට ගැටලු සහ බාධක ඇතිවන බව පෙනේ. කැබිනට් අමාත්‍යධුරවල වෙනසක් ඇති කරන බව පෙනෙන්නට තිබේ. යම් යම් මන්ත්‍රීවරුන්ට රෝග භය මෙන්ම අනතුරු සිදුවන බවද පෙනේ.

මේ මොහොත වනවිට ගුරු ග්‍රහයා ද 2026 මාර්තු 14 තෙක් වක්‍ර චලිතය තුළ ගමන් කරනු ලබයි. යුද නෞකාවක් අනතුරට පත්වීමේ පුවතක් ඔබට අසන්නට ලැබේ. රට පුරා යළිත් ගිනි විපත් සම්බන්ධ පුවත් නිරන්තරයෙන්ම ඔබට අසන්නට ලැබේ. ආසියාතික රටක ප්‍රබල ගුවන් යානා අනතුරක් ඇතිවන බව පෙන්නුම් කරයි.

පාසල් සිසුන්, සරසවි සිසුන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ නව අණ පනත් සම්මත වේ. කුඩා ව්‍යාපාරිකයන්ට, වෙළඳාම් කරන අයට බුධ තුලාවට යෑම ඉතා යහපත් වේ.

ඒ අනුව බුධගේ තුලා රාශිගතවීම ලග්න 12 ට බලපාන ආකාරය කෙසේ දැයි බලමු.

මේෂ ලග්නය

මේෂ ලග්න ඔබ කේන්ද්‍රයේ 3 අධිපති වෙමින් හත්වැන්න තුළ බුධ ගෝචර වේ. ඔබ වෙළෙඳ ව්‍යාපාර කරන අයෙක් නම් එහි ලාභ වාසි ඇතිකරන බව පෙනේ. අඟහරු 8 වැන්නේ ගමන් කරන නිසා හදිසි අනතුරුවලින් ප්‍රවේසම් විය යුතු කාලයක් ද වේ.

වෘෂභ ලග්නය

වෘෂභ ලග්න ඔබ කේන්ද්‍රයේ දෙක අධිපති වෙමින් සතුරු රාශිගත බුධ ගෝචර වේ. ඔබගේ තැන්පත් ධනය අනවශ්‍ය ලෙස වියදම් වන කාලයකි. තරමක් ආවේගශීලී ගති ඔබ තුළින් දැකගත හැක. යම් යම් දේ වලින් ඔබට පාඩු ඇති කරනු ලබයි.

මිථුන ලග්නය

මිථුන ලග්න ඔබ කේන්ද්‍රය තුළ ලග්නාධිපති වෙමින් විද්‍යා ස්ථානගතව බුධ ගෝචර වේ. අධ්‍යාපනයේ නියැළී සිටි දරුවන්ට යහපත්ය. ඔබට උදරගත අසනීප තත්ත්ව ඇතිවීමට පිළිවන.

කටක ලග්නය

කටක ලග්න ඔබ කේන්ද්‍රය තුළ 12 අධිපති වෙමින් හතරවැන්න තුළදී බාධක සිකුරු සමග සංයෝග වේ. ඔබට භූමිය සම්බන්ධ යම් යම් ගැටලු පැවතුණ ද එම ගැටලු නිරාකරණය වන කාලයක්ද වේ. ඔබ ජීවත්වන නිවසේ වෙනස්කම් කිරීමට හිත යොමුවන කාලයක් ද වේ.

සිංහ ලග්නය

සිංහ ලග්න ඔබ කේන්ද්‍රයේ 12 අධිපති වෙමින් තෙවැනි භාවය තුළ බුධ ගෝචර වේ. ඔබට සහජයෙන් එන හැකියාවන් වර්ධනය වන කාලයකි. බාල සහෝදරයන්ගෙන් වස්තුව ලැබිය හැකි කාලයක් ද වේ.

කන්‍යා ලග්නය

කන්‍යා ලග්න ඔබ කේන්ද්‍රයේ ලග්නාධිපති වෙමින් ධනස්ථාන බුධ ගෝචර වේ. ලැබීම් අතින් යහපත් වන අතර කන්‍යා ලග්න ඔබට ධර්ම කර්මාධිපති නමැති යෝග බලයක් ද මේ මොහොත තුළ ක්‍රියාත්මක වන බැවින් යම් යම් තනතුරු, නිලතල ලැබීමට පවා ඔබට භාග්‍ය ඇත.

තුලා ලග්නය

තුලා ලග්න ඔබගේ ලග්නගතව බුධ ගෝචර වේ. පෙර පින මතුවන කාලයකි. සියලු ලැබීම් සහිත බව පෙනේ. ඔබගේ ජනප්‍රියත්වය වැඩිවන කාලයක් ද වේ.

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්න ඔබ කේන්ද්‍රයේ 11 අධිපති වෙමින් දොළොස්වැන්න තුළ බුධ ගෝචර වේ. ලැබීම් වලට යම් යම් ගැටලු ඇති කරන බව පෙනේ. යම් යම් අසනීප හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර කරගැනීමට සිදුවන කාලයක් ද වේ.

ධනු ලග්නය

ධනු ලග්න ඔබ කේන්ද්‍රයේ 10 අධිපති වෙමින් 11 වැන්න තුළ බුධ ගෝචර වේ. ලැබීම් අතින් යහපත් වේ. ඔබ ව්‍යාපාර ආදියෙහි නිරත වන අයෙක් නම් ලාභ ඇතිවිය හැකි කාලයකි. තරමක් ඉවසීම අඩු කෙරේ.

මකර ලග්නය

මකර ලග්න ඔබ කේන්ද්‍රය තුළ 10 වැන්න තුළ බුධ ගෝචර වේ. රැකියාවේ දියුණුව, නව රැකියා ලැබීම් ඇතිවිය හැකි කාලයක් වේ. අධ්‍යාපනයේ යෙදී සිටි දරුවන්ට ඉතා යහපත්ය.

කුම්භ ලග්නය

කුම්භ ලග්න ඔබ කේන්ද්‍රයේ පහ අධිපති වෙමින් නමවැන්න තුළ බුධ ගෝචර වේ. ඔබට පෙර පින මතුවන කාලයකි. අධ්‍යාපනයේ නයැළී සිටි දරුවන්ට ජයග්‍රහණ ලැබෙන කාලයකි.

රැකියාව තුළ යම් යම් කුමන්ත්‍රණකාරී තත්ත්ව වලට මුහුණපෑමට සිදුවන බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.

මීන ලග්නය

මීන ලග්න ඔබ කේන්ද්‍රය තුළ හත අධිපති වෙමින් අටවැන්න තුළදී බුධ ගෝචර වේ. අඹු – සැමි ගැටලු ඇතිවිය හැකි කාලයකි. තමාගේ තත්ත්වයට, කීර්තිනාමයට හානි ඇතිවන පුවත් අසන්නට ලැබෙන බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.

(මෙය පොදු පලාපල විස්තරයක් බැවින් ඔබ ගතකරන දසාව, අතුරු දසාව බලා නිවැරදි තක්සේරුවකට එන්න.)

සමස්ත ලංකා වෘත්තීය ජ්‍යොතිෂවේදීන්ගේ සංගමයේ ලේකම්
ආචාර්ය. පී.කේ.තරංග කුමාර
077 796 2658

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here