අද්භූත කතා කොයි තරම් උපහාසයෙන් බැහැර කලත් , මෙ කතවට ඔයත් ගැස්සෙනවාමයි.
බ්‍රැන්ඩන් මේසන් ලෝව්සන්, ඇමරිකාවේ ටෙක්සාස් වල ඔහුගේ බිරිඳ සහ දරුවෝ එක්ක ජීවත් වුණ සාමාන්‍ය මිනිහෙක්. 2013 අගෝස්තු 8 වෙනිදා ඒ සාමාන්‍ය බව අවසන් වෙන අසාමාන්‍ය සිදුවීමක් ඔහුගේ ජීවිතේට සුළි සුළඟක් වගේ හමාගෙන එනවා
බ්‍රැන්ඩන් අගෝස්තු 8 වෙනිදා රෑ 11.45 ට ගෙදර එන්නේ වැඩ අවසන් වෙලා. ඒ ආව වෙලාවේ ඔහුගේ බිරිඳ වුණ ලැඩෙසා ලොෆ්ටන් එක්ක බ්‍රැන්ඩන් වචන හුවමාරුවක පැටලෙනවා. ඒක ටිකක් දුර දිග යනවා. ඊට පස්සේ බ්‍රැන්ඩන් එයාගේ ෆෝන් එකයි පර්ස් එකයි අරගෙන එයාගේ ෆෝර්ඩ් වර්ගයේ වාහනේට නැගලා ගෙදරින් යන්න යනවා. ඒ ටෙක්සාස් වල බ්‍රැන්ඩන්ගේ ගෙදරට පැය තුනකින් දුරට වෙන්න තිබුණ ඔහුගේ පියාගේ ගෙදර යන්න.
බ්‍රැන්ඩන් යන්න ගිහින් විනාඩි කිහිපයකට පස්සේ ලැඩේසාගේ කෝපය නිවෙනවා. ලොරේසා ඉක්මනින් බ්‍රැන්ඩන්ට කතා කරලා කියනවා තාත්තා ගේ ගෙදර යන පැය තුන වෙනුවට විනාඩි කිහිපයක දුරින් තියෙන කයිල් කියන සහෝදරයා ගේ ගෙදරට යන්න කියලා. ඒත් කෝපය නිසාම බ්‍රැන්ඩන් ඇගේ ඉල්ලීම බැහැර කරනවා.
ඊට පස්සේ ලැඩේසා වහාම කයිල්ට ඇමතුමක් දෙනවා. බ්‍රැන්ඩන් ගේ හදිසි නික්මීම ගැන කියනවා. ඔහුව ගෙන්නගන්න කියලා ඉල්ලනවා
ඒ කොහොම වුනත්, තමන්ගේ සහෝදරයා ගේ බිරිඳගේ හදිසි ඇමතුම ගැන කලබල වෙන කයිල් ඔහුගේ බිරිඳ එක්කම බ්‍රැන්ඩන් ගේ ගෙදරට එනවා. එතකොට වෙලාව 12.10 යි. ඉන් විනාඩි විස්සකට පස්සේ කයිල් ආයෙම ගෙදර යනවා. ඒ අය්යා ගැන කලබල නොවී ඉන්න තරමට ලැඩේසාගේ හිත හදලා.
ලැඩේසා එයාගේ ෆෝන් එක වාහනේ ඇතුලේ චාර්ජ් වෙන්න දාලා සන්සුන්ව රෑ වරුව ගෙවන්න උත්සාහ කරනවා..
ඒ අතරේ රෑ 12.34ට 12.36 ට විදියට බ්‍රැන්ඩන්ගෙන් ලැඩේසාට ඇමතුම් දෙකක්ම ආවත්, දෛවයේ සරදමකට වගේ ඒ ඇමතුම් දෙකම මඟෑරෙනවා. ඊට පස්සේ රෑ 12.38ට බ්‍රැන්ඩන්ගෙන් කයිල්ට ඇමතුමක් එනවා. තමන් ඉන්න තැන කියන බ්‍රැන්ඩන්, වාහනයේ ඉන්ධන අවසන් නිසා ඉන්ධන අරගෙන හැකි ඉක්මනින් තමා වෙත එන්න කියලා කයිල්ට කියනවා.
ඊට පස්සේ 12.45 ට කයිල් ගෙදරින් එන්නේ බ්‍රැන්ඩන් ගේ වාහනයට ඕනි ඉන්ධනත් අරගෙන. ඒ අතරේ 12.48 ට බ්‍රැන්ඩන් ගෙන් ලැඩේසාට එන ඇමතුමත් අවාසනාවන්ත විදියට මඟෑරෙනවා.
ඊට පස්සේ ඇමරිකාවේ හදිසි සේවා අංකය ; 9-1-1 ට ඇමතුමක් එනවා. ඒ ඇමරිකානු හදිසි සේවා අංකයට ආව අද්භුත වටහා ගත නොහැකි තරමේ පණිවිඩයක් විදියට.
“මං ඉන්නේ තැනි තලාවේ… අපි උන්ව තල්ලු කරා…. අපි මෙතැන ඉන්නේ දෙපැත්තෙන්ම ඇබිලෙන් නගරයට යන ගමන්…මගේ වාහනයේ පෙට්‍රල් ඉවරයි… මෙතන එක වාහනයක් තියෙනවා .. යමක් මා පසු පස පන්නනවා කැලෑව මැදින්…. කරුණාකරල ඉක්මන් කරන්න….”
“ඔබ පැවසූ දෙය අපැහැදිලියි..කරුණාකරල ආයෙම කියන්න…කෙටියෙන්…පැහැදිලිව…”
“මට වැරදිලා මුන්ව මුනගැසුණෙ…මුන්ට කතා කරන්න බැහැ…”
“අපැහැදිළියි….ඔබට කාවද වැරදිලා මුන ගැහුණේ… කවුද ඔවුන්….”
ඒ ඇමතුම අතරේ පසුබිමේ ඝෝෂාවක් එක්කම වෙඩි හඬ කිහිපයකුත් ඇමතුමේ උන්න පොලිස් නිළධාරියාට ඇහෙනවා.
“පලමු එකා…”
“ඔබට ගිලන් රථයක් අවැසිද ?”
“නැහැ….මට ඕනි පොලිසිය…”
“හොඳයි…හොඳයි..හරි…මට කියන්න…කාට හරි තුවාලද ?”
ඊට පස්සේ බ්‍රැන්ඩන් ගේ පැත්තෙන් ඇහෙන්නේ ඉතා සිහින් මිමිණුමක්.
“දෙය්යෝ සාක්කි…”
ඊට පස්සේ පසුබිමෙන් අර අමුතු ඝෝෂාවම ඇහෙන්න්වා.
“හෙලෝ…හෙලෝ…”
ඊට පස්සේ බ්‍රැන්ඩන් ගේ හඬ නැති වෙනවා. ඒත් මොකක් හරි ඝෝෂාවක් බ්‍රැන්ඩන් දිහාවට එන බව පටිගත වුණ ඇමතුමේ හඬ පට වල තියෙන බව පස්සේ හොයාගන්නවා.
ඒ අතරේ 12.55ට ඒ පාරේ ගිය වෙන රියැදුරෙක්; ඉතා අනතුරුදායක විදියට , රියැදුරෙකු ත් නැතුව පාරේ නවත්තලා තිබුණ බ්‍රැන්ඩන් ගේ වාහනය දැකලා ඒ ගැන ප්‍රාදේශීය පොලිසියට ඇමතුමක් දෙනවා. £1.10 ට කයිල් බ්‍රැන්ඩන් කීව තැනට එනකොට ප්‍රාදේශීය පොලිස් නිළධාරියත් එතැනට ඇවිල්ලයි ඉන්නේ. කොහොම වුණත් බ්‍රැන්ඩන් වාහනය තුල නැති බව පෙනුනම කයිල් කලබල වෙලා බ්‍රැන්ඩන් ට ඇමතුමක් ගන්නවා.
ප්‍රාදේශීය පොලිසියට ගෙවන්න තිබුන දඩයක් මගෑරලා ඉන්න අය්යා පොලිස් නිලධාරියා මඟාරින්න ඕනිවට කැලෑවට යන්න ඇති කියලා කයිල්ට නිකමට හිතෙනවා. ඒ ඇමතුමට කයිල් ඉතා ඉක්මනින් සම්බන්ධ වෙනවා.
“කයිල්…. මං ඉන්නේ ඔයා ඉන්න තැනට විනාඩි දහයක් දුර තැනි තලාවක මට ඔයාව පේනවා…..මට තුවාලයි… මාව ඉක්මනට ගන්න මෙතනට එන්න කයිල්…”
ඒ කයිල්ට තමන්ගේ සහෝදරයාගේ කට හඬින් ඇහුණ අන්තිම වචන කිහිපය.
ඊට පස්සේ බ්‍රැන්ඩන් ගේ ජංගම දුරකතනය විසන්ධි වෙනවා. ආයෙම කවදාවත් බ්‍රැන්ඩන් ගේ ජංගම දුරකතනය ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ.
කයිල් බ්‍රැන්ඩන් එනකල් බලන් ඉඳලා පාන්දර ගෙදර යනවා. බ්‍රැන්ඩන් ගෙදර ඇති කියලා බලාපොරොත්තුවෙන්. ඒත් ඒ බලාපොරොත්තු බිඳිලාම යනවා.
Saru FM Media