බිත්තර සුදුමද අපිට අලුත් දෙයක් නොවුනට බිත්තර සුදුමද විතරක් දාලා හදන කෑම නම් ගොඩක් අය දන්නෙ නැතුව ඇති. සමහර රෙසිපි වලට බිත්තර කහමද විතරක් ඕන වෙනවා. එහෙම වෙලාවක ඉතුරු වෙන සුදුමද වලින් මේවා බොහොම ලේසියෙන් හදාගන්න පුළුවන් කෑම. ඉතින් අද අපි ගෙනාවෙ ඒ විදියට බිත්තර සුදුමද දාලා හදාගන්න පුළුවන් රෙසිපි ටිකක්. කියවලා බැලුවොත් අනිවා හදනවාමයි
1. ස්නෝ පුඩින් (Snow Pudding)
අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර සුදුමද 2
- සීනි කෝප්ප 1/4
- වැනිලා තේ හැඳි 1
කැරමල් එකට
- සීනි මේස හැඳි 2
- මුලින්ම පෑන් එකකට සීනි ටික දාලා රත්වෙලා කැරමල් පාට වේගෙන එනකොට වතුර මේස හැඳි 1ක් වගේ දාලා කලවම් කරලා කැරමල් එක හදාගන්න. මේක බේකින් ට්‍රේ එකකට දාගන්න.
- බිත්තර සුදුමද ටික බීට් කරගන්න. මේකට සීනි ටික ටික දාලා ස්ටිෆ් පීක් වෙනකල් බීට් කරගන්න. වැනිලා ටිකත් දාගන්න. හොඳට බීට් උනාම මේකෙන් ටිකක් කැරමල් එක දාපු ට්‍රේ එකට දාලා වටේට හොඳට තද කරගන්න.
- ඊළඟට ඉතුරු ටිකත් දාලා ලෙවල් කරගන්න. දැන් ලොකු ට්‍රේ එකකට උණුවතුර දාලා ඒක මැදින් මේ ට්‍රේ එක තියලා සෙල්සියස් 150°ට විනාඩි 15ක් බේක් කරගන්න.
- ටූත්පීක් එකක් ගහලා ඒක තැම්බිලාද බලලා අවන් එකෙන් එළියට ගන්න. නිවෙනකල් තියලා ට්‍රේ එකෙන් අයින් කරන්න.
2. මරූන්ග් කුකීස් (Meringue Cookies)
අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර සුදුමද 2
- ක්‍රීම් ඔෆ් ටාටාර් පින්ච් එකක් හෝ දෙහි යුෂ ටිකක්
- වැනිලා ටිකක්
- කලරින් අවශ්‍ය පමණ
- කෙබාබ් ස්ටික් කිහිපයක්
- බිත්තර සුදුමද ටික හයි ස්පීඩ් බීට් කරගන්න. විනාඩි 5කින් පස්සෙ ක්‍රීම් ඔෆ් ටාටර් දාලා ස්ටිෆ් පීක් වෙනකල් බීට් කරන්න.
- ඊළඟට මේක කොටස් වලට බෙදලා කලරින් දාලා පයිපින් බෑග් එකකට 2D හෝ කැමති නොසල් එකක් දාලා බේකින් පේපර් එකක් උඩ තියපු ස්ටික් එකකට මල වගේ පයිප් කරන්න.
- කැමතිනම් ස්ටික් නැතුවත් පුළුවන්. දැන් මේක සෙල්සියස් 100° ට විනාඩි 50ක් හෝ 60ක් බේක් කරන්න. අඩු හීට් එකේ වැඩි වේලාවක් තමයි බේක් වෙන්න ඕනේ.
3. ස්වීට් බෝල් (Sweet Ball)
අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර සුදුමද 3
- සීනි කෝප්ප 1/4
- ඩෙසිකේටඩ් කොකනට් කෝප්ප 1/2
- කුරුඳු කුඩු ටිකක්
- වැනිලා ටිකක්
- බිත්තර සුදුමද ටික ස්ටිෆ් පීක් වෙනකල් බීට් කරන්න ගන්න. ඒ අතරෙ සීනි ටිකෙන් ටික දාලා සීනි දියවෙලා ස්ටිෆ් පීක් වෙනකල්ම බීට්කරගන්න.
- ඊළඟට ඩෙසිකේටඩ් කොකනට් ටික දාගන්න. මේකට හීනියට ගාලා වේලගත්ත පොල් ගන්නත් පුළුවන්.
- දැන් මේක ස්පැචූලා එකෙන් කලවම් කරලා වැනිලා දාගන්න. ගොඩක් වෙලා කලවම් කරන්න එපා. අයිස්ක්‍රීම් ස්කූප් එකකින් ටික ටික බේකින් ට්‍රේ එකකට තියලා, උඩින් කුරුඳු කුඩු ඉහලා, සෙල්සියස් 180°ට විනාඩි 15ක් බේක් කරගන්න.
4. එග් වයිට් කේක් (Egg White Cake)
අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර සුදුමද 1
- ලුණු ටිකක්
- සීනි ග්‍රෑම් 250
- අයිසින් ෂුගර් මේස හැඳි 1
- පාන්පිටි ග්‍රෑම් 170
- වැනිලා තේ හැඳි 1
- බේකින් පව්ඩර් තේහැඳි 2
- බිත්තර සුදුමද වලට ලුණු ටිකක් දාලා හොඳට බීට් කරගන්න. මේකට සීනි ටික ටික දාලා බීට් කරන්න.
- ඒ අතරට අයිසින් ෂුගර් ටිකත් දාලා තව විනාඩි 10ක් විතර බීට් කරන්න. ස්ටිෆ් වේගෙන එනකොට පාන්පිටි ටික ටික දාලා බීට් කරන්න.
- බේකින් පව්ඩර් ටිකත් දාගන්න. හොඳට බීට් උනාම වැනිලා ටික දාලා ස්පැචූලා එකෙන් කලවම් කරන්න. දැන් ඔයිල් පේපර් එකක් දාගත් ට්‍රේ එකකට දාලා සෙල්සියස් 180°ට විනාඩි 35ක් බේක් කරගන්න.
5. ලෝ කාර්බ් ඇවකාඩෝ ක්ලවුඩ් (Low-carb Avacado Cloud)
අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර සුදුමද 2
- හොඳින් ඉදුණු අලිගැටපේර ගෙඩි 1
- ලියාගත් ළූණු ටිකක්
- ලුණු හා ගම්මිරිස්කුඩු
- බැදගත් බේකන් කෑලි කිහිපයක්
- බිත්තර ටික ස්ටිෆ් පීක් වෙනකල් බීට් කරන්න. දැන් මේක අතරමැද ඉඩ හිටින්න හැන්දකින් බේකින් ශීට් එකක තැන් තැන් වලින් අතුරලා විනාඩි 5ක් බේක් කරගන්න.
- ඒ අතරෙ අලිගැටපේර ටික පොඩි කරලා ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න. දැන් බේක් කරගත් එග් ක්ලවුඩ්ස් උඩට හැන්දකින් අලිගැටපේර ටික තියලා උඩින් බේකන් හා ළූණු දාලා කෑමට ගන්න.
6. එග් වයිට් ඔම්ලට් (Egg White Omelette)
අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර සුදුමද 4
- චොප්කරගත් ළූණු ගෙඩි 1/2
- චොප්කරගත් තක්කාලි ගෙඩි 1
- චොප්කරගත් අමුමිරිස් කරල් 2
- ලුණු හා ගම්මිරිස්කුඩු ටිකක්
- කෑලිමිරිස් ටිකක්
- ඔලිව්තෙල් ටිකක්
- බිත්තර සුදුමද වලට චොප්කරගත් ළූණු, තක්කාලි හා අමුමිරිස් දාගන්න. මේකට ලුණු, ගම්මිරිස්කුඩු හා කෑලිමිරිස් ටික දාලා හොඳට පෙණ එන්න විස්ක් කරගන්න.
- දැන් පෑන් එකට ඔලිව්තෙල් ටිකක් දාලා ඔම්ලට් එක දාලා නොසෙල්වෙන්න තියන්න.
- ඔම්ලට් එක දෙකට නවලා විනාඩියක් විතර පියනකින් වහල පිසගෙන ලිපෙන් බාගන්න.
7. ක්ලවුඩ් එග්ස් (Cloud Eggs)
අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර සුදුමද 2
- බිත්තර කහමද 2
- ලුණු ටිකක්
- සුදු ගම්මිරිස්කුඩු ටිකක්
- අවන් එක සෙල්සියස් 180°ට ප්‍රීහීට් කරගන්න.
- බිත්තර සුදුමද ටික ස්ටිෆ් පීක් වෙනකල් බීට් කරගන්න. ලුණු හා සුදු ගම්මිරිස්කුඩු දාලා ස්පැචූලා එකෙන් පොඩ්ඩක් කලවම් කරගන්න.
- දැන් බේකින් ට්‍රේ එකකට ඔයිල් ටිකක් ගාලා මේකෙන් හැඳි දෙකක් දාලා පොඩ්ඩක් ස්ප්‍රෙඩ් කරගන්න. බිත්තර කහමදය දාන්න මැද්දෙන් පොඩියට වලක් වගේ හදන්න.
- දැන් මේක විනාඩි 4ක් අවන් එකට දාලා එළියට අරන් කහමදේ පරිස්සමින් මැද්දෙන් තියලා තවත් විනාඩි 2ක් බේක් කරගන්න.
8. එග් වයිට් පෑන්කේක් (Egg White Pancake)
අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර සුදුමද 2
- සීනි ග්‍රෑම් 10
- කිරි මිලිලීටර් 30
- පාන්පිටි ග්‍රෑම් 30
- බිත්තර සුදුමද ටික හයි ස්පීඩ් බීට් කරගන්න. මේකට සීනි ටිකත් දාලා සොෆ්ට්පීක් වෙනකල් බීට් කරන්න.
- වෙනම භාජනයකට කිරි හා පාන්පිටි දාලා උකු බැටර් එකක් හදාගන්න. මේකට බීට් කරගත් එග් වයිට්ස් දාලා කලවම් කරගන්න.
- දැන් පෑන් එකකට තෙල් ටිකක් දාලා මේකෙන් ටිකක් දාලා පොඩ්ඩක් ස්ප්‍රෙඩ් කරලා වහලා විනාඩි 2ක් පිසගන්න. ඊළඟට අනික් පැත්ත හරවන්න. වහලා විනාඩියක් විතර පිසගන්න.
The post බිත්තර සුදුමදවලින් හදාගන්න පුළුවන් රස කෑම appeared first on Lifie.LK.
Saru FM Media