දින 7 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
සැකකරුගේ මිද්දෙනියේ නිවසින් කෝටියක හෙරොයින් සමග පිස්තෝලයක් දැලේ
පෑලියගොඩ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබූ බැකෝ සමන් නමැති ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මස්සිනා ඔහුගේ මත්ද්‍රව්‍ය ජාලය මුළුමනින්ම මෙහෙයවූ පුද්ගලයා බව විමර්ශනවලින් හෙළිවී ඇත.
බැකෝ සමන්ගේ මස්සිනා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු සතුව තිබී රුපියල් කෝටියකට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක් සහ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් ද සොයාගෙන තිබේ.
සැකකරු අලුත්කඩේ අංක 05 අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 07 ක රැඳවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන ඇත.
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල සාමාජිකයන් සමග සිටි බැකෝ සමන් නමැත්තා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාසය සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම හෙරොයින් බෙදා හැරීමේ ජාලය පිළිබඳ තොරතුරු අනාවරණය විය.
බැකෝ සමන්ගේ නැඟණියගේ සැමියා වන මෙම සැකකරු කාලයක සිට ඔහුගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවා ඇති බව හෙළිවී තිබේ.
මිද්දෙණිය, වැලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව හෙරොයින් ග්‍රෑම් 27 ක් තිබී ඇත.
පසුව ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී මිද්දෙණිය, වැලිපිටිය ප්‍රදේශයේ සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 550 ක් සහ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සොයා ගැනීමට විමර්ශන නිලධාරීහු සමත් වූහ.
පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති ලින්ටන් සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.
හේමන්ත රන්දුණු සහ නෝමන් පලිහවඩන
Saru FM Media