ප්‍රසිද්ධ ආයතනයක නියෝජිතයන් ලෙස පෙනී සිටිමින්, අදාළ ආයතනයේ සේවාවන් ලබා ගැනීම සඳහා විශේෂ ජංගම යෙදවුමක් (App) ස්ථාපනය කළ යුතු බවට පවසමින් වංචනිකයින් විසින් සිදුකරන අන්තර්ජාල මූල්‍ය වංචා පිළිබඳව වාර්තා වන බව පොලීසිය පවසයි.
අන්තර්ජාලය සහ නවීන තාක්ෂණය භාවිතා කරමින් සිදු කරනු ලබන වංචනික ක්‍රියාවන් සහ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධව ශ්‍රී ලංකා පොලීසිය විසින් නිරන්තරයෙන් ජනතාව දැනුවත් කලද මෙම වංචාවන් පිළිබඳ ලැබෙන පැමිණිලි සංඛ්‍යාව දෛනිකව ඉහළ යමින් පවතින බව පොලීසිය සඳහන් කරයි.
වංචාකරුවන් විසින් මහජනතාව මුලා කිරීම සඳහා,
*ප්‍රසිද්ධ ආයතනයක නියෝජිතයන් ලෙස පෙනී සිටිමින්, අදාළ ආයතනයේ සේවාවන් ලබා ගැනීම සඳහා විශේෂ ජංගම යෙදවුමක් (App) ස්ථාපනය කළ යුතු බවට ඔබව පොළඹවනු ඇත. එම යෙදවුම ස්ථාපනය කිරීම සඳහා සහාය වන බව පවසමින්, ඔබගේ දුරකථන තිරය ඔවුන් සමඟ හුවමාරු කර ගන්නා ලෙස (Screen Share) උපදෙස් ලබා දෙනු ලබයි.
*මෙහිදී සිදුවනුයේ, ජංගම දුරකථන තිරය හුවමාරු කර ගැනීම හරහා ඔබගේ දුරකථනයට දුරස්ථව ප්‍රවේශ වීමේ හැකියාව (Remote Access) වංචාකරුවන්ට ලැබීමයි. එමගින් ඔබගේ දුරකථනයේ ඇති බැංකු යෙදවුම් (Online Banking Apps) හරහා ගිණුම්වල ඇති මුදල් ඉතා සූක්ෂම ලෙස වෙනත් ගිණුම්වලට බැර කර ගැනීමට ඔවුන් කටයුතු සිදු කරයි.
*මහජනයාට පවතින තාක්ෂණික කරුණු පිළිබඳ අනවබෝධය මෙවැනි වංචා වලට හසු වීමට ප්‍රධාන හේතුවක් වී ඇති බවට පෙනී ගොස් ඇති අතර මෙවැනි වංචා වලින් ආරක්ෂා වීම සඳහා පහත සඳහන් කරුණු පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
*සමාජ මාධ්‍ය ඔස්සේ “විවිධ ආදායම් මාර්ග” හෝ ” වැඩි ලාභ ලබා දෙන ආයෝජන” ලෙස පළවන දැන්වීම් පිළිබඳව අතිශයින්ම සැලකිලිමත් විය යුතු අතර මුල් අවස්ථාවේදී සුළු ලාභයක් ලබා දී විශ්වාසය ගොඩනගාගනිමින් පසුව විශාල මුදල් ප්‍රමාණයක් වංචා කිරීම මොවුන්ගේ ස්වභාවයයි.
*බැංකු ගිණුම් අංක, මුරපද (Passwords), හෝ ජංගම දුරකථනයට ලැබෙන OTP කේතකිසිදු හේතුවක් මත බාහිර පුද්ගලයන් සමඟ හුවමාරු කර නොගත යුතු අතර කිසිදු පිළිගත් බැංකුවක් හෝ ආයතනයක් පාරිභෝගිකයන්ගෙන් දුරකථනය හරහා එවැනි තොරතුරු විමසීම් නොකරන බවට දැනුවත් විය යුතුය.
*නාඳුනන පුද්ගලයන් විසින් යොමු කරනු ලබන සබැඳි (Links) මත ක්ලික් කිරීමෙන් හෝ ඔවුන් ලබාදෙන යෙදවුම් (Apps) ස්ථාපනය කිරීම නොකල යුතු අතර විශේෂයෙන්ම ඔබගේ දත්ත වෙත ප්‍රවේශ වීමට අවසර (Access Permissions) ඉල්ලා සිටින විට එය ලබා දීමට පෙර ඉතා සැලකිලිමත් විය යුතුය.
*එබැවින් නාඳුනන පුද්ගලයන්ගේ උපදෙස් මත ඔබගේ ජංගම දුරකථන තිරය හුවමාරු (Screen Share) කිරීමෙන් ඔබගේ දුරකථන තිරය ඔවුන්ට පෙන්වීමෙන් වැළකිය යුතුය.
*කිසියම් හේතුවක් මත මෙවැනි මූල්‍ය වංචාවකට ඔබ හසුවී නම් පළමුව අදාළ බැංකුව හෝ මූල්‍ය ආයතනය දැනුවත් කර ඔබගේ ගිණුම් ආරක්ෂා කර ගැනීමට කටයුතු කල යුතුය.
Saru News
















