බැංකු කාඩ්පතින් බස් ගාස්තු ගෙවීමේ සේවාව ඇරඹෙයි

0
1

බැංකු කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවීමේ සේවාව අද (24) පෙරවරුවේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී ආරම්භ විය.

මෙහිදී බස් රථ රියදුරන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි සෙවීම සඳහා සෞඛ්‍ය පරීක්ෂණයක්ද සිදු කෙරෙුණු අතර එය ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් සිදු කරනු ලැබීය.

ඒ අනුව අද දිනයේදී මාකුඹුර – මාතර, මාකුඹුර – ගාල්ල, මාකුඹුර – බදුල්ල, කොළඹ – අම්පාර යන අධිවේගී බස් රථ සඳහා බැංකු කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවීමේ සේවාව හඳුන්වාදෙනු ලැබීය.

මෙම අවස්ථාවට එක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ අද දිනයේදී මීට සමගාමීව බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් බොරැල්ල – කඩවත, දක්වා මෙන්ම ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් බදුල්ල – බණ්ඩාරවෙල, දඹුල්ල – මහියංගනය, මොනරාගල – බිබිල සහ මොනරාගල – වැල්ලවාය අතර ධාවනය වන බස් රථ සඳහා බැංකු කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවීමේ ක්‍රියාවලිය ආරම්භ කළ බවය.

එමෙන්ම හෙට (25) දිනයේදී කොළඹ – වව්නියාව, කඩවත මහරගම, මාකුඹුර – තංගල්ල සහ මාකුඹුර – අඟුණුකොලපැලැස්ස දක්වා ධාවනය වන බස් රථ සඳහා මෙම ක්‍රියාලිය ආරම්භ කිරීමට නියමිත බවය.

මේ අතර අද දිනයේදී මීට සමගාමීව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් බැංකු කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවීමේ වැඩසටහන ආරම්භ කිරීම වෙනුවෙන් තලංගම කොස්වත්ත ප්‍රදේශයේ පැවැති වැඩසටහනට එක්වෙමින් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති විශ්‍රාමික කමාණ්ඩර් ගාමිණී ජාසිංහ මහතා පැවසුවේ මෙම ක්‍රියාවලිය එළැඹෙන දෙසැම්බර් මාසය වන විටදී බස්නාහිර පළාතේ ධාවනය වන සියලුම අධිවේගී බස් රථ සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය.

දෙසැම්බර් මාසය තුළදී එම ක්‍රියාවලිය ආරම්භ කර පසුව එළැඹෙන 2026 වසර අවසන් වන විට බස්නාහිර පළාතේ සියලුම බස් රථ සඳහා බැංකු කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවීමේ සේවාව ආරම්භ කිරීමට කටයුතු කරන බවත් මෙම අවස්ථාවට එක්වෙමින් සභාපතිවරයා අදහස් දැක්වීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති විශ්‍රාමික කමාණ්ඩර් ගාමිණී ජාසිංහ මහතා,

“අපි දැන් බලාපොරොත්තු වෙනවා මේ මාසේ ඉතිරි දින කිහිපයේ සහ දෙසැම්බර් මාසය තුළදී අධිවේගී මාර්ගයේ ධාවනය වන සියලුම බස් රථ සඳහා මෙම ක්‍රමවේදය හඳුන්වා දෙන්න. ඉන් අනතුරුව ජනවාරි මාසයේදී බස්නාහිර පළාත තුළ ධාවනය වන සුඛෝපභෝගී බස් රථවලට හඳුන්වාදීමටත් ඒ වගේම තෝරාගත් සාමාන්‍ය බස් රථ කිහිපයකට හඳුන්වාදීමටත්. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ලබන වර්ෂය අවසාන වෙනකොට බස්නාහිර පළාතේ ධාවනය වන සියලුම බස් රථ සඳහා කාඩ්පතක් මගින් මුදල් ගෙවලා ප්‍රවේශපත්‍රයක් ලබා ගැනීමේ සේවාව දියත් කිරීමට සහ සම්පූර්ණ කිරීමට.” 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here