බාල ගල්අඟුරු ගනුදෙනුවේ පාඩුව කෝටි 120යි, චම්පික අල්ලස්එකට පැමිණිලි කරයි

0
2

ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු මෙරටට ගෙන ඒමෙන් පළමු නැව් හතරෙන් පමණක් රුපියල් කෝටි 120කට අධික පාඩුවක් සිදුවී ඇතැයි හිටපු විදුලිබල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක පැවසීය.

එම පාඩුව පියවා ගැනීමට විදුලි ගාස්තු ඉහළ දැමීමට නියමිත බවද ඔහු කීය.

හිටපු ඇමැතිවරයා මේ බව කියා සිටියේ මෙම දූෂිත ගනුදෙනුව පිළිබඳ වහා විමර්ශනයක් කරන ලෙස ඉල්ලමින්  අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසුව මාධ්‍ය වෙත ඊයේ (19) අදහස් දක්වමිණි.

ගල්අඟුරු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලබාදුන් ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිනොගෙන නව ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කර ඇතැයිද හිටපු ඇමැතිවරයා කියා සිටියේය.

2022 වසරේදී ගල්අඟුරු ගෙන ඒමේදී සිදුවී තිබෙන කාරණා පිළිබඳ විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට දුන් වාර්තාවේ ප්‍රසම්පාදනයේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පැහැදිලිව දක්වා ඇතැයිද එම සැලසුම් කිසිවකුට හිතුවක්කාර ලෙස වෙනස් කළ නොහැකි බවද ඔහු කියා සිටියේය.

පාඩුව වන්දි මුදලට වඩා විශාලයි

බාල ගල්අඟුරු මෙරටට ගෙන්වීමෙන් සිදුවූ පාඩුව පියවා ගන්නා බව කීවද එම වන්දි මුදලට වඩා විශාල පාඩුවක් ඉන් සිදුවී ඇතැයි ඔහු පෙන්වා දුන්නේය. 

ඒ අනුව මෙරටට ගෙනා ප්‍රමිතියෙන් තොර පළමු ගල්අඟුරු නැව් හතරෙන් පමණක් රුපියල් කෝටි 120කට අධික පාඩුවක් සිදුවී තිබෙන බවත් මහජන උපයෝගිතා කොමිසමේ වෙබ් අඩවිය සඳහන් කරන පරිදි අවසානයට ගෙන්වූ ගල්අඟුරු තොගයෙන්ද රුපියල් කෝටි 80ක පමණ පාඩුවක් සිදුවී ඇති බවත් ඔහු කීවේය.

මෙම ක්‍රියාවලිය මෙතැනින් නතර නොවන බවත් එය දිගටම සිදුවන බවත් ඔහු කියා සිටියේය. 

මෙහි ඇති බරපතළම ප්‍රශ්නය වන්නේ ලබන අප්‍රේල් 01 වැනිදා සිට මේ සිදුවූ පාඩුව වන රුපියල් ලක්ෂ 75ක් විදුලි පාරිභෝගිකයන් මත පැටවීමට සූදානම් වීම බවද පෙන්වා දුන්නේය.

 අලුත් විදුලි පනත ආව ගමන් විදුලි බිල පටන්ගන්නේ රුපියල් 1900/න්

මේ ආණ්ඩුවේ නව බලශක්ති ප්‍රතිපත්තියට අනුව විදුලිබල මණ්ඩලයේ ස්ථාවර ගාස්තුවලට විදුලි පාරිභෝගිකයන් යටත් කිරීම නිසා රුපියල් 1900කින් විදුලි පාරිභෝගිකයන්ගේ ගාස්තු පටන් ගන්නා බවද හිටපු ඇමැතිවරයා පැවසුවේය.

මේ හේතුවෙන් මෙම දූෂිත ගනුදෙනුව පිළිබඳ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට සංකේතාත්මකව මෙම පැමිණිල්ල කළ බවත් මින් නොනැවතී පුනර්ජනනීය බලශක්තිය දුර්වල කරමින් ගල්අඟුරු හා ඩීසල් මාෆියාවට ඉඩදීමට එරෙහිව සියලු පාර්ශ්වයන් සමග එක්ව දැවැන්ත ජන අරගලයක් කරා යන බවත් ඔහු එහිදී කියා සිටියේය.

📌සබැඳි පුවත්

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here