බාලිකා ශූරතාවට තියුණු සටනක්

0
5

වලල ඒ රත්නායක
වත්තල ලයිසියම්

ශ්‍රීමත් ජෝන් ටාබට් අභියෝග කුසලාන ජ්‍යෙෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් දිනය අද

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයේ මෙහෙවීමෙන් හෝමාගම, දියගම පිහිටි මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී දැන් ක්‍රියාත්මක “ශ්‍රීමත් ජෝන් ටාබට් අභියෝග කුසලාන” ජ්‍යෙෂ්ඨ ශුරතා මලල ක්‍රීඩා තරගාවලියේ 93 වැන්න අද (11) සවස නිමාවට පත් කෙරේ.

දින 04 කින් සැදුම්ලත් වූ මෙවර තරගාවලිය ඉකුත් සඳුදා (08) ආරම්භ කෙරුණි.

තෙවන දිනය වූ ඊයේ (10) සවස් වන විට බාලක සමස්ත ශූරතාව දිනා ගැනීම උදෙසා තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විදුහල, වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල, වෙන්නප්පුව ශාන්ත ජෝශප්වාස් විදුහල සහ කොළඹ ශාන්ත බෙනඩික්ට් විදුහල අතරේ තියුණු තරගකාරීත්වයක් නිර්මාණය වී තිබුණු අතර වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සහ වලල ඒ. රත්නායක මධ්‍ය මහා විදුහල අතරේ බාලිකා අංශයේ සමස්ත ශූරතාව තහවුරු කර ගැනීමට උද්ගතව තිබුණු තරගකාරීත්වය ද ඉහළ ගොස් තිබිණි.

අවුරුදු 16 න් පහළ බාලක මීටර් 400 ඉසව්වේ නව තරග වාර්තාව (තත්. 49.67) තමන් නමින් සටහන් කර ගැනීමට තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විදුහලේ දිනුක තිනේෂ් සමත් වීම ඊයේ (10) දිනයේ දී කැපී පෙනුණි.

පසුගිය වසරේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති 92 වැනි “රිට්ස්බරි – ශ්‍රීමත් ජෝන් ටාබට් කුසලාන” ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත බාලක ශූරතාව දිනා ගනිමින් කැපී පෙනෙන්නට වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහල (ලකුණු 117) නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.

එකී අනු ශූරතාව කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහල (ලකුණු 77) හිමි වන අතර වාරයේ දී මීගමුව මාරිස්ටෙලා විදුහල (ලකුණු 74) තෙවැනි ස්ථානයෙන් සෑහීමට පත්වන්නට සිදු විය.

එහි බාලිකා අංශයේ සමස්ත ශූරතාව තහවුරු කර ගැනීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල (ලකුණු 189) සමත් වූ අතර අනු ශූරතාව වලල ඒ. රත්නායක මධ්‍ය මහා විදුහල (ලකුණු 157) සතු විය. තෙවන ස්ථානය මීගමුව ආවේ මරියා කන්‍යාරාමය (ලකුණු 77) ට හිමි විය.

පිට පළාත් පාසල් බාලක ශූරතාව මීගමුවට රැගෙන යාමට මාරිස්ටෙලා විදුහල (ලකුණු 74) සමත් වන අතර වාරයේ දී බාලිකා ශූරතාව වලල ට රැගෙන යෑමට ඒ. රත්නායක මධ්‍ය මහා විදුහල (ලකුණු 157) ට හැකියාව ලැබිණි. එකී බාලක අනු ශූරතාව වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට ද බාලිකා අනු ශූරතාව මීගමුව ආවේ මරියා කන්‍යාරාමයට ද හිමි විය. එකී අංශයේ බාලක සහ බාලිකා තෙවන ස්ථානය පිළිවෙලින් තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විදුහලට හා ගම්පහ සිරි කුරුස විදුහලට හිමි විය.

බාලක සහාය දිවීමේ ශූරතාව වෙන්නප්පුවට රැගෙන යෑමට ශාන්ත ජෝශප් වාස් විදුහල සමත් වන අතර වාරයේ දී බාලිකා සහාය දිවීමේ ශූරතාව වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සතු විය.

2024 වසරේ අති ශූරතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලබන්නට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය කළ සදුන් කෝසල (අවුරුදු 20 න් පහළ මීටර් 110 කඩුළු මතින් දිවීම – තත්. 14.10) සමත් වූ අතර වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය කළ පී. ආර්. ඒ. ඩී. එන්. රාජපක්ෂ (අවුරුදු 16 න් පහළ දුර පැනීම – මීටර් 6.12) අති ශූරතම ක්‍රීඩකාව ලෙස සම්මාන ලබන්නට සමත් වූවාය.

ශ්‍රී ලංකා ජාතික කනිෂ්ඨ වයස අවුරුදු 18 න් පහළ නව තරග වාර්තා 02ක් සහ “ජෝන් ටාබට් කුසලාන” ජ්‍යෙෂ්ඨ තරග වාර්තා 20 කින් ස්වයංපෝෂිත වීම එහි දී ඉහළින්ම කැපී පෙනුණි.

ඡායාරූප – කමල් වන්නිආරච්චි

අනුරුද්ධ හේරත් බණ්ඩාර

සංස්කරණය – සුසිල් ජයකොඩි

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here