බාලවයස්කාර දරුවෙකු ගොඩනැගිල්ලකින් බිමට පනියි – ප්‍රධාන සැකකරු පලා යයි

0
18


පෙරේදා (13) දහවල් කාලයේ දී කෙසෙල්වත්ත පොලිස් වසමේ පීර් සයිබු වීදියේ නිවසක දෙවන මහලින් පැන දරුවෙකු තුවාල ලැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ සිද්ධියෙන් බ‍රපතළ තුවාල ලැබූ 12 හැවිරිදි කොළඹ -12 ප්‍රදේශයේ පදිංචි දරුවා මේ වනවිට (15) කොළඹ රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

මෙම දරුවා සිය නිවසේ සිට ඔහුගේ නිවස ආසන්නයේ පදිංචි කුඩා දරුවන් දෙදෙනකු සමග පීර් සයිබු වීදියේ වෙළෙඳසැලකට පැමිණි අවස්ථාවේ එම වෙළෙඳසැල ආසන්නයේ පිහිටි තෙමහල් නිවසක යකඩ ගේට්ටුවට දරුවා තට්ටු කර තිබෙනවා.

එයින් උරණ වූ නිවසේ පදිංචි පුද්ගලයෙකු එම දරුවා බලහත්කාරයෙන් නිවස තුළට ඔසවාගෙන ගොස් දෙවැනි මහලේ කාමරයකට දමා සිර කර ඇති බවටයි හෙළි ව ඇත්තේ.

එහිදී බියට පත් වූ දරුවා එම කාමරයේ ජනේලයක් විවෘත කරගෙන බිමට පැනීම හේතුවෙන් බරපතළ තුවාල ලබා ඇති බවට දැනට සිදු කරන ලද වැඩිදුර විමර්ශනවලදී හෙළි ව තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙන බවත් මෙම අපරාධයට ආධාර අනුබල දුන් 59 හැවිරිදි පුද්ගලයෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here