බබාට කෑම හදමු – ලිපි අංක 5

0
10


ඔව්, මේ ලිපියෙන් මම වට්ටක්කා ගැන ලියන්න හිතුවා. ඔයාලා දන්නවනේ වට්ටක්කා කියන්නේ මාස 6 න් ඉහළ ඕනෑම බබෙක්ට දෙන්න පුලුවන් එළවලුවක් කියලා. එහෙමත් නැත්නම් මාස 6 පහුවෙලා මූලික ඝණ ආහාර හඳුන්වා දෙන බබාලට මුලින්ම දෙන්න කියන දෙයක් තමයි වට්ටක්කා. සමහර රටවලනම් මේවා පළතුරක් විදියට සලකනවා. අපේ රටේ නම් මේක හොඳ එළවලුවක්. ඇටයේ ඉඳලා පොත්ත වෙනකම් ම ගුණ සපිරි දෙයක්.

වට්ටක්කා වල විටමින් A සහ බීටා කැරොටීන් වැඩි වශයෙන් අඩංගු වෙනවා. ඒ වගේම යකඩ​, පොටෑසියම් සහ ප්‍රෝටීන් අන්තර්ගතයි. තන්තුමය ගතිය වැඩි එළවලුවක් වන වට්ටක්කා වල කැලරි සහ මේදය අඩුයි. ඔබේ දරුවාට ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය කරන පෝෂ්‍ය පදාර්ථ කිහිපයක් වට්ටක්කාවල අඩංගු වෙනවා. මෙය බබාගේ ශරීරය සෞඛ්‍ය සම්පන්නව පවත්වා ගැනීමට එයාගේ ආහාර වේලෙහි අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතුයැයි මම හිතනවා.

වට්ටක්කා වර්ග කීපයක් අපේ වෙළඳ පොලේ තියෙනවා. ඒ ඕනෑම වර්ගයක් බබාලට සුදුසුයි. ලංකාවේ වැවෙන කාබනික වට්ටක්කා හොයා ගන්න පුලුවන් නම් තවත් හොඳයි. වට්ටක්කා ඇට වලත් යකඩ සහ ප්‍රෝටීන් ගොඩක් අන්තර්ගත නිසා ඉතා ගුණදායකයි. විශේෂයෙන් බබාලා ලැබෙන්න ඉන්න අම්මලට වට්ටක්කා ඇට ආහාරයට ගැනීම ගුණ දායකයි කියා කියනවා. මම සොයා බැලූ තොරතුරු අනුව වට්ටක්කා ඇට පුංචිම බබාලට ඒ කියන්නේ ආහාර මුලින් හඳුනා ගමින් ඉන්නා බබාලට එතරම් සුදුසු නැති බව කියනවා. ඒත් එහි වැඩි යකඩ ප්‍රමණය නිසා ටිකක් ලොකු බබාලට නම් සුදුසු බව කියනවා. කොහොම වුනත් පුංචි බබාලට ඒ වගේ අලුත්, මතභේදාත්මක දෙයක් කවන්න කලින් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස මම අම්මලා තාත්තලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.

දැන් මම කියන්නම් වට්ටක්කා බබාට හදල දෙන්න පුලුවන් ක්‍රම සහ විධි කීපයක්:-

වට්ටක්කා තලපය වට්ටක්කා හොඳින් සෝදා පුංචියට කෑලි කපල වාශ්පයෙන් තම්බා , පොඩි කරගෙන බබාට කවන්න​. මෙම තලපයේ ඝනකම වෙනස් කිරීමට ඔබට වතුර හෝ කිරි භාවිතා කරන්න පුලුවන්. මෙය හොඳ උදාසන ආහාරයක් ලෙසද නැතිනම් අමතර ආහාරයක් ලෙසද දෙන්න පුලුවන්. කිරි භාවිතා කරන්නේ නම් බබාගේ වයස අනුව මව් කිරි, ළදරු පිටි කිරි හෝ නැවුම් එළකිරි භාවිතා කරන්න​.

වට්ටක්කා බත් සමග එකට උයා ගන්න​.

වට්ටක්කා බේක් කරලා – මේ ක්‍රමය මාස 9 න් වගේ බබාලට අතින් අල්ලන් කන්න පුරුදු කරන්න සුදුසුයි. වට්ටක්කා හොඳින් සෝදලා කෑලි කපලා අවන් එකේ බේක් කරගන්න විතරයි තියෙන්නේ. එතකොට සාමාන්‍ය රසයට වඩා වැඩි රසයක් වට්ටක්කා වලට ලැබෙනවා. මේවා හොඳින් නිවලා, බබාට අතින් අල්ලා කන්න දෙන්න​. හැබැයි බබාගේ ළඟින්ම ඉන්න ඕන.

වට්ටක්කා සුප් මේක වට්ටක්කා තම්බලා හදන්නත් පුලුවන්. නමුත් හුඟක් රස වෙන්නේ වට්ටක්කා බේක් කරලා ගත්තොත්. මේ ඕන ක්‍රමයකට මෙලෙක් කර ගත්ත වට්ටක්කා බ්ලෙන්ඩ් කරලා, මස්/මාලු/එළවලු තම්බපු වතුර එක්ක මිශ්‍ර කරලා (පොඩි තෙම්පරාදුවක් දා ගන්නවනම් තවත් රසයි) වට්ටක්කා සුප් හදන්න පුලුවන්. අම්මා කෙනෙක් එයා සුප් හදා ගත්ත විදිය කියලා එවපු රෙසිපියක් ඇති..ඒකත් ඔයාලා මේ සටහනෙන් පස්සේ දීලා ඇති ලින්ක්ස් ක්ලික් කරලා බලන්න.

වට්ටක්කා , තවත් එළවලුවක් හෝ කීපයක් සමග – වෙනත් එළවලු සමඟ වට්ටක්කා තම්බලා පොඩි කරලා බබාට කවන්න පුලුවන්.. කැරට්, කෝලිෆ්ලවර්, අල​, බීට් රූට්, බතල මේ වගේ ඕනැම එළවලුවක් සුදුසුයි.

වට්ටක්කා , තවත් පළතුරක් සමඟ – ඇපල්, පෙයාස් වගේ පළතුරු සමඟ වට්ටක්කා දෙන්න පුලුවන්. උදාහරණයක් කිව්වොත් ඇපල් සහ වට්ටක්කා එකට තම්බාගෙන , පොඩි කරල සාදික්කා/කුරුඳු කුඩු ටිකකුත් දාලා රසවත් කෑමක් හදලා බබාට දෙන්න පුලුවන්.

වට්ටක්කා සම්ඟ බිත්තර , මස්, මාලු වැනි දෙයක් එකතු කරලා බබාට කවන්න​.

වට්ටක්කා වලින් පෑන් කේක් හදලා දෙන්න පුලුවන්

වට්ටක්කා රොටි – පූර්ණ තිරිඟු පිටි වලට​, පොඩියට ලියා ගත් ඉදුනු වට්ටක්කා එකතු කරලා රොටී සාදා ගන්න පුලුවන්. මේවා ලොකු බබාල ආසාවෙන් කාවි.

මේ වගේ, වෙනස් වෙනස් විදියට හිතලා අපිට එක එක විදියට බබාලට මේ ගුණදායක එළවලුව ලබා දෙන්න පුලුවන්. අනේ අපේ බබා වට්ටක්කා කන්නේ නැහැනේ කිය කිය ඉන්න එපා අම්මලා..ඔන්න මම අදහස් ගොඩක් ඔයාලට කියලයි තියෙන්නේ.

මේ ලිපිය සම්භන්ධයෙන් ඔයාලට නැගෙන ප්‍රශ්ණ අපිට දන්වන්න​. අපි හැකි පමණින් ඔබට නිවැරදි තොරතුරු සපයා දෙන්න උත්සහ කරන්නම්. නැවත ඔබ සැම ඉක්මනින්ම මුණ ගැසීමට බලාපොරොත්තුවෙන් මේ ලිපිය අවසන් කරන්නම්.


Umandaඋමන්දා මුතුකුඩආරච්චි
මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරිනියක්. බහුජාතික සමාගම් දෙකකම ඉහල රැකියාවන් වල නිරතව අත්දැකීම් පරිපූර්ණව සිටි ඈ, ඊටත් වඩා උතුම් වූ රාජකාරියක් සඳහා ඇගේ වෘතියෙන් සමුගත්තා. ඒ නම්, පූර්ණකාලීන මවක් වීමේ අරමුණෙන්. දැන් ඇය පුතුන් දෙදෙනෙකුගේ මවක්. ඊට අමතරව ඇය නිවසේ සිට පවත්වාගෙන යන ඇගේම ව්‍යාපාරයක හිමිකාරිනියක්. ඇගේ ව්‍යාපාරයේ Facebook පිටුවට මෙතනින් පිවිසෙන්න www.facebook.com/aumjewellery .



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here