බබාට කෑම හදමු – ලිපි අංක 1

0
11


අදින් ඇරඹෙන මෙම ලිපි මාලාව සියලුම අම්මාවරු වෙනුවෙන් සහ දරුවන් වෙනුවෙන් ඉතා ආදරයෙන් සකස් කරන ලද්දක්. සාම්ප්‍රධායික මාතෘකා වලින් ඔබ්බට ගොස් ආහාර ගැන පමණක් කතා කරන ලිපි පෙලක් වේවි මෙය​. මා මෙහි සටහන් කිරීමට බලාපොරොත්තු වන්නේ මගේ දරුවන් තිදෙනා වෙනුවෙන් මම දෙන මූලික ආහාර වර්ග මොනවාද ?​, ඒවාහි ගුණ මොනවාද සහ එම ආහාර වර්ග වලින් සැකසිය හැකි විවිධ කෑම වර්ග සඳහා අදහස් මොනවාද යන්නයි. විශේෂ කෑම වට්ටෝරු පිළිඹඳ සවිස්තරාමකව දැන ගන්න ඔබට මගේ https://www.facebook.com/umibabyfoodblog/ පිටුවට පිවිසෙන්න පුලුවන්.

සියල්ලටම කලින් මම සඳහන් කල යුතු කාරණා කීපයක් තියෙනවා. ඒවා සියල්ල මෙම ලිපි පෙලට ආරම්භයක් ලෙස මෙලෙස සැකෙවින් සටහන් කරන්නට සිතුවා.

අපේ ළදරුවන් මාස 6 ක් වෙනකම් ආහාර ලෙස ගන්නෙ මව් කිරි විතරයි. අපිට අමතර ආහාර ආරම්භ කරන්න කියන්නේ මාස 6 න් පසු. නොයෙකුත් හේතූන් නිසා සමහර ළදරුවන්ට මාස 4-6 අතර ආහාර පටන් ගන්න සිදු වෙනවා. ඒ අම්මගෙ කිරි සැපයුම අඩු නිසා හෝ බබාගේ බර හුඟක් අඩු නිසා හෝ වෙනත් කාරණයක් නිසා හෝ විය හැකියි. මේ විදියට මාස 6 ට පෙර ආහාර පටන් ගැනීම වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව පමණක් සිදු කල යුතුයි.

මාස 6න් පස්සේ අම්මා සූදානම් වෙනවා එයාගේ බබාට මුලින්ම ඝණ ආහාර පුරුදු කරන්න​. බබාට ලැබෙන වර්ධන සටහන් පොතේ අග කොටසේ පහැදිලිව උපදෙස් ලබා දී තියෙනවා අපි කොහොමද බබාට ක්‍රම ක්‍රමයෙන් කෑම පටන් ගන්නේ කියලා. මීට අමතරව ගමේ සායනයෙන් ද ඔබට විශේෂ වූ පොත් පිංචක් ලබා දෙනවා බබාට කවන විදිය ගැන පියවරෙන් පියවර ලියලා. නමුත් මම වැඩි වශයෙන් දකින දෙයක් තමයි අම්මලා මේ පොත් එතරම් පරිශීලනය කරන්නේ නැති බව​. මේවාට මුල් තැනක් නොදෙන බව​. සමාජජාලා වල දරුවන් සම්බන්ධ සමූහ වලට ඔවුන් බොහෝ දෙනෙක් යොමු කරන ප්‍රශ්ණ වලින් අපට ඒ බව හොඳින් තේරුම් ගන්න පුලුවන්. ඒ නිසා මේ ලිපිය කියවන අම්මලගෙන් මම කාරුණිකව ඉල්ලා සිටින්නේ ඔබට නොමිලේ ලැබී ඇති මේ වටිනා පොත් හොඳින් පරිශීලනය කරන ලෙසයි. එවිට ආහාර දීම සම්බන්ධයෙන් ඔබට ඇති බොහෝ ගැටලු වලට පිළිතුරු ඉක්මණින් සොයා ගන්න පුලුවන් වේවි.

ඝන ආහාර පටන් ගත් ගමන් දරුවන්ට අලුත් ආහාර හඳුන්වා දීමේ ක්‍රමය ගැන ඔබ මේ වෙනකොට දැනුවත් යැයි සිතනවා. අලුත් මූලික අහාරයක් එක දිගට දින 3 ක් ලබා දී දරුවාගේ සිරුර ඒ ආහාරය සඳහා දක්වන ප්‍රතිචාරය නිරික්සිය යුතුයි. එවිට දරුවා යම් ආහාරයකට ආසාත්මිකතාවක් පෙන්වයි ද යන්න අපට සොයා ගන්න පුලුවන්. පලමු දවසේ සිට තුන් වන දවස දක්වා දරුවාට හඳුන්වා දෙන අලුත් ආහාරයේ ප්‍රමාණය ටිකෙන් ටික වැඩි කල යුතුයි. එමෙන්ම අලුත් ආහාරයක් දිය යුත්තේ උදෑසන සහ දහවල් කාලයේදීය​. මුල් මාසය හෝ දෙක පුරාම අප කාලය වෙන් කල යුත්තේ අපි මුලින් දිය යුතු යයි සායන වලින් උපදෙස් දී ඇති මූලික එලවලු, පළතුරු, පලා වර්ග​, ධාන්‍ය, සත්ව ආහාර සහ මේදය ක්‍රම ක්‍රමයෙන් දරුවාට හුරු කිරීමටයි. එසේ කිරීමෙන් මුල් මාසය හෝ දෙක අවසානයේදී දරුවා අහාර ගණනාවක් හඳුනා ගෙන තිබෙන අතර ඒ හේතුව නිසා දරුවාට දෙන වේල් ගණන ඉන් ඉදිරියට ක්‍රමානුකූලව සැලසුම් කර ගන්නට අපට පුලුවන් වේවි.

දරුවාට කැවීමට සුදුසුම ස්ථානය ලෙස මම නම් දකින්නේ ගෙදර සියලු දෙනාම ආහාර ගන්නා ස්ථානයයි. එම කෑම කාමරයේම දරුවා සමග තනිවී , දරුවා කෙරෙහිම සම්පූර්ණ හිතම යොමු කරගෙන දරුවා සමඟ කථා කරමින් විනෝදයෙන් මෙය සිදු කරන්න ඕන​. සමහර අවස්තාවලදී දරුවා නොයෙක් හේතු නිසා නොසන්සුන් විය හැකියි. එවන් අවස්ථාවක අපිට ආහාර කැවීමට අපහසු නම් දරුවා සතුටින් තබා ගැනීමට මේ නියමයෙන් පිට පැනීමට සිදුවේවි. මටත් එහෙම සිදු වෙන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවට වතුර කරාමය ලඟට ගොස් වතුර අල්ලන්න දෙන්න​, සෙල්ලම් බඩු තියෙන තැනට ගොස් සෙල්ලම් කරන්න දෙන්න​, වත්තේ තණකොල ගොඩේ දණ ගාන්න දෙන්න මට සිදු වෙනවා. නමුත් කමක් නෑ. අපේ මූලික අරමුණ දරුවාව සතුටින් තබාගෙන ආහාර ටික කවා ගන්න එකනේ… ඒ නිසා පුලුවන් සියලු උපක්‍රම යොදන්න අපිට සිදු වෙනවා. නමුත් එය පුරුද්දක් වශයෙන් සිදු නොකර දරුවා පෙර කියූ පරිදි පිළිවෙලකට ආහාර ගැනීමේ පුරුද්දට ගෙන එන්න අපි උනන්දු වෙන්න ඕන​.

අාහාර පිසීමට පොඩි භාජනයක් : මෙය මළ නොබඳෙන වානේ හෝ නොඇලෙන බඳුනක් හෝ මැටි බඳුනක් විය හැකියි. ඔබට ලේසියෙන් පරිහරනය කලහැකි සහ පහසුවෙන් ලබා ගත හැකි ඕනෑම භාජනයක් මේ සඳහා හොඳයි.

බබාට කවන්න සිලිකන් හැන්දක් : වෙළඳ පොලේ විවිධ වර්ගයේ ද්‍රව්‍යන් ගෙන් සාදන ලද හැඳි මිලදී ගන්න තියෙනවා. එවායින් මම විශ්වාස කරනවා සිලිකන් හැන්ද වඩාත් සුදුසුයි කියලා. මොකද එහි නම්‍යශීලී බව නිසා බබාට කවද්දී කටේ ඇනිලා තුවාල වෙන්නේ හෝ බබාට රිදෙන්නේ හෝ නැති නිසා. ප්ලාස්ටික් වලින් හදපු හැඳිත් තියෙනවා. ඒවායින් ඔබ උසස් ත්ත්වයේ ප්ලස්ටික් එකකින් සාදපු හැන්දක් තෝරා ගැනීමට සැලකිලිමත් වෙන්න​. මුකුත් ම නැත්තම් පුන්චි ප්‍රමාණයේ සුදු යකඩ හැන්දක් වුනත් කමක් නෑ හැබයි කවද්දි සීරුවට කවන්න​.

ආහාර මත් ගෑමට උපකරණයක් :  මම ගත්තේ මළ නොබැඳෙන වානේ පෙරනයක්. එයින් ඉතා සියුම් ලෙස ආහාර පොඩි කර ගන්න පුලුවන්. මීට අමතරව දැති සහිත භාජනයක් ද සුදුසුයි.

මත් ගාන්න පැතලි හැන්දක් : මම මේ සඳහා ප්ලාස්ටික් හැන්දක් තමයි හොයා ගත්තේ.

පුංචි ජෑම් බෝතල් : මේවා නම් මට සෑහෙන්න උදව් වෙනවා වැඩිපුර ආහාර පසු ප්‍රයෝජනය සඳහා ඇසිරීමට. ඒ වගේම ගමනක් යන කොටත් මේවා වල තමයි මම කෑම අරගෙන යන්නේ.

බිබ් එකක් : බබාට කවන විට කෑම ඇගට හැලීම වැළැක්වීමට.

බබාට කැවීමට පුටුවක් : එය ඔබට හැකියාවක් තිබේ නම් පමනක් මිලදී ගත හැකියි. සමහර විට ඔබට පෙර පාවිච්චි කරන ලද ලදරු පුටු ඉතා අඩු මිලට ලබා ගන්න පුලුවන් වේවි. නැතිනම් ගෙදර තියෙන විදියට තියෙන පුටුවක් හෝ ස්ථානයක් සකස් කර ගන්න​.

මාස 4-6 කාලයේදී ඔබ ආහාර පටන් ගත්තත්, මාස 6 සිට ආහාර පටන් ගත්තත් ඉහත කාරණය ඔබ හොඳින් හිතට ගත යුතුයි. ඉතා කුඩාම කාලයේ කොඳු ඇට පෙල එතරම් වාරු නැති නිසා කොට්ට වල ආධාරය ඇතුව බබාව ඉහල අතට ආනත කර කෑම කවන්න පුලුවන්. මාස 6 සිට පුලුවන් තරම් සිරස් අතට බබාව තබාගෙන කවන්න බලන්න​. පුටුවක ඉන්දවීමට අපහසු නිසා ඔබේ ඔඩොක්කුවේ ඉන්දවා තියා ගන්න පුලුවන්. මුල් කාලයේ අවශ්‍ය නම් ඔබේ උදව්වට කෙනෙකු ලඟින් තබාගෙන දරුවාව කෙසේ හෝ නියම ආහාර ගැනීමේ ක්‍රමයට පුරුදු කර ගන්න​. ඔව්, ඔබේ දරුවා මුලින් කෑම ටික එළියට දමාවි.. නමුත් ඔබ පසුබට වෙන්න එපා.. කාලයත් සමඟ සියල්ල හරි යාවි.

හැම අම්මා කෙනෙක්ටම මේ ගැටලුවට මුහුණ දෙන්න සිදු වෙනවා. බේරෙන්නම අමාරු තමා ලඟින්ම ඉන්න අයගේ අදහස් පිළිගැනීමට සිදු වෙන නිසයි. මේ ආහාරය සීතලයි, මේක උශ්ණයි, මේකෙන් බඩ වේලෙනවා, මේකෙන් බඩ බුරුල් වෙනවා, මෙකෙන් බර අඩු වෙනවා, මේවා හවසට දෙන්නේ නෑ යනාදී එකී මෙකී නොකී සියල්ල අපි අහන්න පිළිපදින්න ගියොත් අම්මලාට දරුවොන්ට දෙන්න ආහාරයක් නැති වේවි. මේ මත පිළිබඳ සොයා බලා මේවාට එරෙහිව උඩු ගං බලා පිහිනන්න අම්මලාට දැඩි මානසික ශක්තියක් තියෙන්න ඕන​. මේ හැම මතයක් ගැනම ඔබට ඔබේ වෛද්‍යතුමාගෙන් විමසා සියලු කරැණු සැක හැර දැන ගැනීමට පුලුවන්.

එසේනම් ඊළඟ ලිපියේ සිට ඉදිරියට එක් එක් ආහාර වර්ග ගැන අපි වෙන වෙනම කථා කරමු. නැවත ඔබ සැම ඉක්මනින්ම මුණ ගැසීමට බලාපොරොත්තුවෙන් මේ ලිපිය අවසන් කරන්නම්.


Umandaඋමන්දා මුතුකුඩආරච්චි
මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරිනියක්. බහුජාතික සමාගම් දෙකකම ඉහල රැකියාවන් වල නිරතව අත්දැකීම් පරිපූර්ණව සිටි ඈ, ඊටත් වඩා උතුම් වූ රාජකාරියක් සඳහා ඇගේ වෘතියෙන් සමුගත්තා. ඒ නම්, පූර්ණකාලීන මවක් වීමේ අරමුණෙන්. දැන් ඇය පුතුන් දෙදෙනෙකුගේ මවක්. ඊට අමතරව ඇය නිවසේ සිට පවත්වාගෙන යන ඇගේම ව්‍යාපාරයක හිමිකාරිනියක්. ඇගේ ව්‍යාපාරයේ Facebook පිටුවට මෙතනින් පිවිසෙන්න www.facebook.com/aumjewellery .



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here