බඩ ඉරිඟු සඳහා සහතික මිලක් පිළිබඳ සාකච්ඡාවක්

0
1

නිෂ්පාදන පිරිවැය මත පදනම්ව බඩඉරිඟු සඳහා සහතික මිලක් නියම කිරීමත්, අස්වනු මිලදී ගැනීමට රජය මැදිහත් වීමත්, ඒ සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීමත් සම්බන්ධයෙන් ගොවීන්ගේ අදහස් යෝජනා සළකා බලා කටයුතු කරන බව කෘෂිකර්ම පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

බඩ ඉරිඟු ගොවීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදි අද (26) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 

බඩ ඉරිඟු නිෂ්පාදන පිරිවැය අනුව අවම වශයෙන් කිලෝ එකක් රුපියල් 140ටවත් මිලදී ගැනීම කෙරහි අවධානය යොමු කරන බවද , පිරිවැය අඩු කරමින් ගොවීන්ට වැඩි ලාභයක් ලැබෙන පරිදි නිෂ්පාදන කටයුතු සිදුකිරීමට අවශ්‍ය වටපිටාව සකස් කරන බවද අමාත්‍යවරයා පැවසීය. 

දැනට පවතින නිෂ්පාදන පිරිවැයට අනුව බඩ ඉරිඟු කිලෝ එකකට රුපියල් 135 – 140ට වඩා සහතික මිල අඩු කිරීමෙන් ගොවීන් අපහසුතාවයට පත්වන බව සඳහන් කළ අමාත්‍යවරයා, ඊට වඩා මිල වැඩි කිරිමෙන් සත්ත්ව නිෂ්පාදකයන් හා පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්වන බවද පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය තිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ගොවීන්ගේ නිෂ්පාදන වියදම අඩු කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කළ අතර ඒ සඳහා පොහොර සහනාධාරයක් ලබාදීම පිළිබඳව අවධානය යොමු කරන බව අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පැවසීය. 

සහනාධාර අවශ්‍ය නොවන බවද එය අක්‍රමිකතාවලට මඟපාදන බවද, තමන්ට ස්වාධීනව ශක්තිමත්ව නැඟී සිටිමට බාධාවක් බවද පෙන්වා දුන් ගොවීහු තමන්ට වෙළෙඳ පොළෙන් සහන මිලකට පොහොර ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස මෙහිදී ඉල්ලා තිබේ. 

මිනිස් ශ්‍රමය අවම වශයෙන් භාවිතා කිරීමට හැකිවන නවීන යන්ත්‍රෝපකරණ හඳුන්වාදීම, වැඩි අස්වනු ලබාදෙන උසස් ප්‍රමිතියෙන් යුත් බීජ හඳුන්වාදීම, රජයේ ඉඩම්වල වගාකරන ගොවීන්ට එම ඉඩම්වලට ගමන් කළ හැකි මාර්ග සකස් කර දීම, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මැදිහත්ව වගාබිම් සකස් කිරිමට අවශ්‍ය ට්‍රැක්ටර් හා වෙනත් යන්ත්‍ර සූත්‍ර ලබාදීම ආදී ක්‍රමවේදයන් මගින් නිෂ්පාදන පිරිවැය අවම කරගත හැකි බව මෙහිදී අදහස් දැක්වූ ගොවීහු පැවසූහ.

මහඉලුප්පල්ලම ගොවි පර්යේෂණ ආයතනයෙන් උසස් ප්‍රමිතියෙන් යුත් බඩඉරිඟු නිෂ්පාදනය කරන බවද එම බීජවලින් ආනයනික බඩඉරිඟු බීජවලින් ලැබෙන අස්වැන්නට ආසන්න නිෂ්පාදනයක් ගොවීන්ට ලබා ගැනීමට හැකිවී ඇති බවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බඩඉරිඟු බෝග නායක ආචාර්ය බුද්ධික නිශාන්ත අබේසිංහ මහතා පැහැදිලි කළේය.

ආනයනික බීජ භාවිතා කිරිමේදී විවිධ රෝගාබාධවලට ලක්වීම සහ කෘෂි යෙදවුම් වැඩිපුර භාවිතා කිරීමට සිදුවන නිසා නිෂ්පාදන පිරිවැය වැඩි බව මෙහිදී ගොවීහු පෙන්වා දුන්හ. මහඉලුප්පල්ලම ගොවි පර්යේෂණ ආයතනය මගින් නිෂ්පාදනය කරන ලද බීජවලින් ලැබෙන අස්වැන්න ආනයනික බීජ මඟින් සාපේක්ෂව  යම් අඩුවක් තිබුණද නිෂ්පාදන පිරිවැය අඩු නිසා එම බීජ තවදුරටත් ගුණාත්මකව වර්ධනය කිරීම සුදුසු බව ගොවීහු පෙන්වා දුන්හ.

ඉදිරිපත් වු තොරතුරු සමාලෝචනය කර බඩ ඉරිඟු වගාව වැඩි කිරිමටත්, ගොවීන්ට අවශ්‍ය සහන  ලබා දීමටත් අවශ්‍ය කටයුතු කරන බව අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා පැවසීය.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here