බටහිර දිග ඇසු දුටු සිංහල සංගීතය

0
2

සුදු ජාතීන් ලක්දිව ආක්‍රමණය කිරීමෙන් පසු සිංහල සංගීතය සම්බන්ධයෙන් ඔවුන් විසින් තබන ලද වැදගත් සටහන් ගණනාවක් ග්‍රන්ථාගතය. පළමුවැනි සටහන ලැබෙන්නේ පළමුවැනි විමලධර්මසූරිය (ක්‍රි.ව. 1591 – 1604) රජතුමාගේ රාජ්‍යෝදයේදී ය. එවක ලක්දිවට පැමිණි ජෝරිස් වෑන් ස්පිල් බර්ජන් (ක්‍රි.ව. 1601-1604) ප්‍රකාශ කළේ මහනුවර පෙරහැරේ සුරූපී කාන්තාවන් මනහර නැටුම් දක්වමින් ගමන් කරන වග ය. එබඳුම සටහනක් බැල්දියස් (ක්‍රි.ව. 1672) විසින් තබන ලදී. ජොයින් විල් (ක්‍රි.ව. 1819) මද්දල, ගැටබෙර, රබාන, දවුල, තම්මැට්ටම, උඩැක්කිය, හා තාලම්පට ගැන සඳහන් කරන්නේ එම වාදකයන්ගේ රූප සටහන් සමගය. ජෝන් ඩේවි (ක්‍රි.ව. 1820) තමා දුටු ලංකාවේ තූර්ය භාණ්ඩ දහයක් රූප සටහන් සමග ඉදිරිපත් කරයි. වීණාව, කොම්බුව, බෙරේ, දවුල, පන්තේරුව, කඩිප්පු සහිත තම්මැට්ටම, උඩැක්කිය, තාලිය, හක්ගෙඩිය, හොරණෑව හා බුම්මැණ්ඩියයි. තුරඟා වන්නම බෙහෙවින් ජනප්‍රිය වූ ගායනයක් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ය. සිංහල භාෂාව ද මැනැවින් හදාළ වියතකු වූ ජෝන් කැලවේ (ක්‍රි.ව. 1829) ‘යකුන් නටනවා’ හා කෝලන් නටනවා නමින් ඉංග්‍රීසි බසින් ලියූ ග්‍රන්ථයෙහි මෙරට නැටුම් පිළිබඳ විස්තරයක් එයි. සංගීතය ගැන සඳහන් කළ මේජර් ජේ. ජෝර්බස් (ක්‍රි.ව. 1840) ලංකාවේ ලියැදි සෑදීම කවාකාර රඟ මඬලක් වැනි යැයි සඳහන් කළේ ය. එමර්සන් ටෙනන්ට් (ක්‍රි.ව. 1859) යකුන් නැටීම ගැන සඳහන් කළේ චිත්‍ර සටහන් ද ඇතුළත් කරමිනි. ජෝන් ෆර්ගියුසන් (ක්‍රි.ව. 1883) දැක්වූ විස්තරයෙහි තොවිල්කාරයන් ගැන කියවෙන අතර, උඩරට නැට්ටුවකුගේ හා ගැටබෙර වාදකයකුගේ රූප සටහන් ද වෙයි. මේ හැරුණුවිට හියුනෙවිල් (ක්‍රි.ව. 1885) කාණ්ඩ තුනකින් සමන්විත කොට සංග්‍රහ කළ ‘සිංහල කවි’ නම් සංග්‍රහයෙහි ‘දළදා සින්දුව’ ‘සූවිසි විවරණ සින්දු’ ‘මහභිනික්මන් සින්දුව’ ‘ස්වර්ණ හංස සින්දුව’ යනාදී සින්දු පෙළක් ඇතුළත් ය. මෙම සින්දු ගයන ලද්දේ ගැටබෙර, උඩැක්කි ආදී සංගීත භාණ්ඩ නාදයට අනුකූලව ලලිත නැටුම් ලීලාවලිනි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
මානව විද්‍යා අධ්‍යයන අංශයේ විශ්‍රාමික මහාචාර්ය
ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

සිංහල සංගීත ගවේෂණය පිළිබඳව හැඳින්වීමේ ලිපියක් ක්‍රි.ව. 1856 – 1658 III වැනි කාණ්ඩයේ 10 වැනි අංකය යටතේ රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවේ සඟරාවෙහි පළවිය. සිංහල සංගීතය ගැන බටහිර ලේඛකයන් තුළ පැවති කිසියම් ආකල්පයක් මෙම ලිපියෙන් ද ගම්‍යමාන වෙයි. ලුවී නෙල් විසින් ලියන ලද එම ලිපියෙහි මෙසේ සඳහන් වෙයි. යුරෝපීය ජාතිකයන් බටහිර සංගීතයේ රස වින්දනයට කරන ආකාරයට පෙරදිග වාසීහු ද ඔවුන්ගේ ග්‍රාම්‍ය සංගීතයේ රස විඳිති. එසේ වුව ද බටහිර ශිෂ්ට හා මටසිලුටු සංගීත කලාවේ හා පෙරදිග ග්‍රාම්‍ය ගොරෝසු සංගීත කලාවේ සංස්කෘතික සුන්දරත්වය අතර සුවිශාල වෙනසක් ඇත්තේ ය. එම වෙනස කොතරම් ද යතහොත් පෙරදිග සංගීතයේ රළු ගතිය බටහිර සංගීතයේ සුමධුර ලාලිත්‍යය හා සමග සසඳන කල්හි ඉමහත් සංයමයකින් යුතුව පෙරදිග සංගීතඥයා වෘත සමාදානයකට එළඹීම ඇවැසි වේ.

යස්මින් ගුණරත්න මැනවින් සම්පාදනය කළ ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි සාහිත්‍යය – 1815 – 1878 දක්වා යුගය නමැති ස්වකීය පර්යේෂණයෙහි මෙසේ සඳහන් කරන්නීය. මිථ්‍යා විශ්වාසයෙන් පාලනය වූ බටහිර පන්නයට හැඩ ගැසුණු ලාංකිකයන් මගින් අධ්‍යාපනය හා ප්‍රතිසංස්කරණය තුළින් ඔවුන් දිනා ගැනීමට ප්‍රයත්න දැරුවන් (එකී ප්‍රතිසංස්කරණවාදී පාලකයන් ලවා රටේ පැවැති ශෝචනීය තත්ත්වය ගැන) සැලකිල්ලක් දැක්වීමට හෝ කනගාටුව පළකිරීමට හෝ පෙළඹවීමට එම පාලක පක්‍ෂය අසමත් විය. උපරිම වශයෙන් ඔවුනට කළ හැකි වූයේ සම්ප්‍රදායානුකූල කලා විෂයයන්, ජීවන රටාව, සංගීතය ආදී ක්‍ෂේත්‍රයන්හි කුතුහලයක් මවා පෑමට ප්‍රයත්න දැරීමක් පමණකි. ඉහත සඳහන් පරිදි සිංහල සංගීතය පිළිබඳ ගවේෂණයක් කිරීමට ඉදිරිපත් වූ ලේඛකයා අශිෂ්ට හා අවිෂය තත්ත්වය විමර්ශනයක යෙදුණු ස්වකීය කර්තව්‍යය ගැන පැහැදිලි අවබෝධයකින් තොරවූවකු හැටියට සැලකීම වඩාත් සුදුසු ය.

ලුවී නෙල් අවසාන වශයෙන් සඳහන් කරන්නේ තමා විසින් යෝජනා කරන ලද ගවේෂණය අංක තුනක් අනුව කළයුතු බවයි.

(1) නිසි සේ ප්‍රාමාණික වශයෙන් පිළිගත් සම්පූර්ණ සිංහල සංගීත භාණ්ඩ එකතුවක් සමිතියේ කෞතුකාගාරයට එක්කිරීමට කටයුතු කිරීම.

(2) දේශීය සංගීතයේ ස්වර ප්‍රස්තාර සංග්‍රහ කළ ලේඛනාවලියක් සමිතියේ සඟරාවෙහි පළ කිරීම.

(3) දේශීය රාග තාල ලේඛන ගත කොට අවශ්‍ය නම් විශේෂිත සංගීතමය සප්තකයක් එක්කිරීම.

මෙම ගවේෂණ කළ යුත්තේ විධිමත් වූ විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් හා ස්වදේශිකයන්ගේ විශ්වාසය හා ඇදහිලි ආදිය හාස්‍යයට ලක් නොවන පරිද්දෙනි. ස්වදේශිකයෝ තම කනට හුරු පුරුදු බෙර වාදනයේ රස විඳිති. මේ කෙලෙස ඇති වූවක්දැයි විමැසීම අවශ්‍ය වන්නේ නොවේ. ඔවුනට කවි මිහිර සහ උඩැක්කියෙන් නැඟෙන ශාන්ත නාදය තරම් දෙයක් නැත්තේ ය.

ලුවී නෙල් විසින් කරන ලද යෝජනාවලිය කිසි විටෙකත්, කිසි ලෙසකිනුත් ක්‍රියාත්මක වූ බවක් දැන ගන්නට නොමැත්තේ ය. එයට සවන් දුන් ගවේෂකයකු ගැන හෝ අසන්නට නොමැත. යටත් විජිත වාදයෙන් පෙළෙමින් සිටි ස්වදේශීය සංගීතඥයනට හෝ සංගීත රසිකයනට හෝ මෙබඳු කාර්යයක් සපුරා ලන්නට අවශ්‍ය මානසික තත්ත්වයක් හා ආර්ථික ශක්තියක් නොපැවැති බැවිනි.

වාදාංකුශ රත්නමාලය

ෂඩ්ජ ඍෂභ ගාන්ධාරා මධ්‍යම ඃ පඤ්චමස්තථා
ධෛවතශ්ච නිෂාදශ්ච ස්වරා ඃ සප්ත ප්‍රකීර්තිතාඃ
ස රි ගා ම ප ධා නි ශ් ච වර්‍ණ ඃ සප්ත ස්වරාදයඃ
ෂඩ්ජාදි කෘත සඩ්කෙතා ද්‍රෘෂ්ට්‍යා ගාන්ධර්‍ව වේදිභිඃ

යනු හෙයින් ස්වස්ති ශ්‍රී සාර විරාජිත ශුද්ධ සූර්‍ය්‍ය වංශාවතංසායමාන රුහුණු මායා පිහිටි යන ත්‍රි සිංහලය ඒකාතපත්‍රකොට ශ්‍රී බුද්ධ වර්ෂයෙන් දෙදහස් දෙසිය සිව් සාළිස් වැන්නෙහි රජ පැමිණි ශ්‍රී ලංකා භූමණ්ඩලෙශ්වර වූ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ අධිරාජයන් වහන්සේගේ රාජසභායාන්තර්‍ගත විනොදයඥා වූ ආතතය, විතතය, ආතතවිතතය, ඝනය, සුසිරය යන පඤ්චතාලයෙන් හා කෘත්‍යයන්ගෙන් ද සමාකීර්‍ණ වූ නෘත්‍ය සභාවෙහි නළු ගණ පිරිස් අමතා ඡfන්‍දාලඩ්කාර ගණිත මිණිත නීති න්‍යායාදි භාෂා ශාස්ත්‍රාන්තර ප්‍රවීණ මහා රාජෝත්තමයාණන් වහන්සේ සරිගාදි අටළොස් වර්‍ණය හෙවත් වන්නම් දස අට විභාග කොට ‘ශෘඩ්ගාරාදී නව නාට්‍ය රසයෙන් යුක්තව නා නා වෘත්තයන්ට නඟා කාව්‍ය නිර්මාණය කොට ගෙන එව’ යැයි කාව්‍ය සභාවක් කරනු කැමැතිව වදාළ පණිවිඩ පනත පිළිගත් මුඛර දනමන පිනා සවනයට මියුරුවන තිළිණයට වීසයවන විනේදන තොසාකාර හසාලන රිසි වූ සරිගාදි වර්‍ණ භජනයෙන් විභජනය කරන්නාවූ රාජාභිෂේකයට ප්‍රමුඛව දක්ෂිණ වෘත්ත මංගල ශංඛය මුල් කොට ගාහක නම් වන්නම ද මඞ්ගල හස්තිරාජයාගේ ගමන් විලාසය නිමිතිකොට නාග (ගජගා) නම් වන්නම ද රාජ ඓශ්චර්‍ය්‍යය වර්‍ණනා කිරීම වශයෙන් අසද්‍රිස නම් වන්නම ද පාරිතෝෂික රාජ සම්මානයෙන් රාජපාක්ෂික භාවය හඟවනු පිණිස උදාර නම් වන්නම ද රාජශ්‍රී වූ මඞ්ගල රථයෙහි යොදන ලද මංගල අශ්වයාගේ ගමන් විලාසය නිමිතිකොට තුරඟා නම් වන්නම ද නොහොත්:-

ඉහත දැක්වුණේ වාදාංකුශ රත්නමාලය නම් ග්‍රන්ථයෙන් ගත් උපුටා ගැනීමකි. තදනන්තරව එහි දැක්වෙන්නේ දහඅට වන්නමේ නම් කියැවෙන කවි සතකි. උඩරට සංගීත ලිපියෙහි එම කවි සත ඇතුළත් ය. පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල හිමියන් සම්පාදනය කළ පැරණි වන්නම් නම් කෘතියෙහි ප්‍රස්තාවනාවේ දැක්වෙන පරිදි මතු දැක්වෙන ඡේදය අන්තර්ගත වෙයි.

යනාදීන් දැක්වෙන අපාද ද්විපාද චතුප්පාදා දී ඒ ඒ සත්වයන්ගේ ගමන් විලාසාදිය නිමිතිකොට ඒ ඒ සත්වයන්ගේ නාමයෙන් නා නා වෘත්ත නගා සරිගාදී වනන් දසටින් වන්නම් භේදය ද කීමට හා කිරීමට දුෂ්කර වූ සිව් අවදානම් ද නිෂ්පාදනය කොට මහ වාසලට ඔප්පු කළෝ. දෙවිමහ රාජෝත්තමයාණන් වහන්සේගේ වරප්‍රසාදයට පාත්‍රවූවාහු බොහෝ තාන්නමාන්නාදී රාජ්‍ය සම්මානත් ලැබුවාහු ය. එතැන් පටන් මේ ශ්‍රී ලංකා ද්වීපයෙහි ශෘඞ්ගාර බිභච්ඡාදී නව නාටක රසයෙන් යුක්ත වූ කවි වන්නම් නෘත්‍ය ගීතාදිය රාජරාජ මහාමාත්‍යාදීන්ට හා තෙරුවන් පුදයටත් යෝග්‍ය වූවාහු ලෝක බහුමානයට ද හේතු වූයේ ම ය.

උඩරට සංගීතය ලිපියෙහි සඳහන් වන අයුරින් නෘත්‍ය මාලයෙහි පෙරවදනින් ඡේදයක් මතු දක්වනු ලැබේ. ‘නමෝ බුද්ධාය බේරි තාල ගීත නෙර්‍ත අත්‍ථි මුරරාගම් පාරට්ටු සවුදන් අෂ්ටගත ගුරු ලගු දෙතිස් සිවුමිති සිවුවක් ශපතුරු මිතුරු ආකාර පාට වර්‍ණ අමෘතකලා විෂකලා ගන්‍ද-සුගන්‍ද දේවතා අක්‍ෂර පාට පල අපල නිමිති නැතත් කොන්අට පාදබෙදින් සුසැට කලාබේද සතර වන්ස උප්පත්තිය යන මෙකියන දේ සම්පූර්ණව පැවති නෙර්‍ත මාලා නම්වූ වාද අන්කුසය යන ශාස්ත්‍රවාදය මල්වත්තේ තෙරුන් වහන්සේ විසින් නාගපට්ටනමේ ගණිතාලංකාර කිවින්‍ද්‍රයාගෙන් පඬුරු පාක්කුඩම් යවා ගෙන්වාපු පොත නිබොරුයි.’

දකුණු ඉන්දියාවේ නාගපටනේ විසූ ප්‍රසිද්ධ සංගීතඥයකු වූ ගණිතාලංකාර නම් පඬිවරයා වෙතින් ගෙන්වා ගන්නා ලද නෙර්‍ත මාලය සිංහල භාෂාවට පරිවර්තනය කොට වාදාංකුශ රත්නමාලය නමින් භාවිත කළ බවත්, එය පරිවර්තනය කරන ලද්දේ මහනුවර භික්ෂුන්වහන්සේ නමක් විසින් බවත් සඳහන්ය. පාරම්පරික උඩරට නැටුම් ගුරුකුලවල විශාරදයන්ගේ පිළිගැනීමද එය වේ.

වාදාංකුශ රත්නමාලය හා නෘත්‍යමාලය යන පොත් දෙක ම මල්වත්තේ විසූ තෙර කෙනකුන් විසින් ලියන ලද බව අසනු ලැබෙති’යි ආචාර්ය පුංචිබණ්ඩාර සන්නස්ගල සිංහල සාහිත්‍ය වංශයෙහි සඳහන් කරයි. එහෙත් පාරම්පරික පුරාවෘත්තයට මෙය ඉඳුරාම පටහැණි ය. යුග ධර්මතා අනුව සලකා බලනවිට වාදාංකුශ රත්නමාලය මහනුවර තෙරපාණන් නමක් විසින් කරන ලද බව කිසි ලෙසකිනුත් පිළිගැනීමට නොහැකි ය. ඒ වනවිට වන්නම්, නැටුම්, ගැයුම් කලාවක් මෙරට නොපැවති බැවිනි. වාදාංකුශ නෙර්‍තමාලය නමින් මෙම පොත බොහෝ දෙනා හඳුන්වතත් සන්නස්ගල යොදා ඇත්තේ වාදාංකුශ නෘත්‍යමාලය යනුවෙනි. සැබැවින් ම එය අර්ථවත් ය. කටවහරෙහි පැවැත එන්නට ඇති නෙර්‍ත යන විකෘති රූපය නොගෙන නෘත්‍ය යන ප්‍රකෘති රූපය යෙදීම යෝග්‍යතමය ය. නූර්ති ගීත යන්න ද මෙසේ භාවිතයෙහි ලැබෙන්නකි. නෘත්‍ය ගීත යන නිවැරදි රූපය විකෘති වී ඇත්තේ උච්චාරණයේ විවිධතා නිසා ය.

වාදාංකුශ රත්නමාලය නමින් පොතක් වීදැයි සැක පහළ කරන ඇතැම් ජනසංගීත පර්යේෂකයන් වාදාංකුශ රත්නමාලයෙහි එන ගණිතාලංකාර නාමයත්, සරිගාදී අටළොස් වර්ණය හෙවත් වන්නම් දස අට විභාගත්, ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ (ක්‍රි.ව. 1707-1739) රජතුමාගේ නාමයත් නුදුටු නියා අඟවමින් පළ කරන මත සාකල්‍යයෙන් ව්‍යර්ථ වන බව නොසැලකූ සේ ය. වාදාංකුශ රත්නමාලය ම මේ සඳහා කරුණු ඉදිරිපත් කරන්නේ එම පොත නිබොරු බව සඳහන් කරමිනි. සාකල්‍ය ප්‍රවේශයක් හැටියට වාදාංකුශ රත්නමාලය උඩරට වන්නම් කලාවේ ගුරු පොත ලෙස පිළිගැනීමට පාරම්පරික ගුරුකුලවල විශාරදයෝ කැමැති වෙති.

මහවළතැන්නේ බණ්ඩාර

උඩරට සංගීතය පිළිබඳව ලිපිය සැපයූ මහවළතැන්නේ බණ්ඩාර සිංහල සහ ඉංග්‍රීසි දෙබසින් ම ලිවීමට දක්ෂකම් ඇතිව සිටි දහනව වැනි සියවසේ පහළ වූ ද්විභාෂාත්මක උගතකු වශයෙන් හැඳින්වීමට තත්කාලීන සාහිත්‍යය පිළිබඳ ගවේෂණයන්හි යෙදෙන විචාරකයෝ කැමැති වෙති. ඔහු සිංහල, ඉංග්‍රීසි භාෂා දෙකහි පමණක් නොව පාලි සංස්කෘත භාෂාවන් පිළිබඳව ද දැනුමක් ඇතිව සිටි බව ඔහුගේ ලිපියෙන් සනාථ වෙයි. කේදාර භට්ටයන්ගේ වෘත්තරත්නාකරය, ජයදේවයන්ගේ ගීත ගෝවින්දය, අහෝබලයන්ගේ සංගීත පාරිජාතය, මයුර කවීන්ගේ සූර්ය ශතකය, ශ්‍රී රාමචන්ද්‍ර භාරතීන්ගේ වෘත්තමාලාඛ්‍යාව යන සංස්කෘත පොත් මෙම ලිපියෙහි සඳහන් ලබයි. සංගීත පාරිජාතය හුදෙක් සංගීත විෂය පිළිබඳව ලියැවුණු ග්‍රන්ථයකි. වාදාංකුශ නෙර්‍තමාලය ද දෙමළ, තෙළිඟු වදන් ද මුසු කොට සකු බසින් ලියැවුණකි. පාලි දීඝ නිකාය පිළිබඳව ද ඔහු තුළ දැනුමක් වූ බව මෙම ලිපියෙන් පැහැදිලි වන්නේ ය.

භද්‍ර හිමියන්ගේ එළු සඳස් ලකුණ ඇසුරින් මෙහි ලැබෙන ඡන්දස් ලක්ෂණ දක්වා ඇත්තේ ය. ගුත්තිල කාව්‍යය, සිහබා අස්න, කුවේණි අස්න යන පැරණි සාහිත්‍යයේ ග්‍රන්ථ හැරුණු විට ශෘගාරය, දුනුවිල හටන, රාජසිංහ වර්ණනාව, පරංගි හටන, නරේන්ද්‍රසිංහ චරිතය, ගල කපන හටන, ඉංග්‍රීසි හටන යන නුවර යුගයේ නිර්මාණ හා කළගෙඩි මාලය ද මෙහි සඳහන් ලබන පොත් ය.

තවද, සංගීත පොත් දෙකක් ගැන මෙහි කියැවේ. එකක් ‘සයිබෝගේ පොතය.’ මෙය සයිබෝ මලවරයාගේ අත්පොත් පිටපත විය හැකි ය. එය ද වන්නම් ගැන ලියැවුණකි. ඊශ්වරාදි රංග නමින් සංගීත පොතක් ගැන මෙම ලිපියෙහි සඳහන් වෙතත් එහි තොරතුරු දැන ගන්නට නැත. ගජමන්නෝනා කිවිඳියගේ කවි ගැන ද මෙම ලිපියෙහි සඳහන් වේ. මෙබඳු කරුණුවලින් පැහැදිලි වන්නේ මහවළතැන්නේ බණ්ඩාර නොයෙකුත් භාෂා සාහිත්‍යයන්හි හසල බොහෝ අසූපිරු තැන් ඇතිව සිටි වියතකු බවයි.

ඔහු විසින් සිය ලිපියට ඇතුළත් කරන ලද වන්නම් ආදියට දුන් නිදසුන්වලින් වැඩි කොටසක් ප්‍රශස්ති ගණයටත්, තවත් කොටසක් විරහ ගීත ගණයටත් අයත් වන බව සඳහන් කළ යුතු ය. මහනුවර – මාතර සාහිත්‍ය යුගවල දී උච්ච තරංගයට නැඟී ගිය රතී සාහිත්‍යයේ ආභාසය මෙම නිදසුන්වලින් පෙනේ. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා කෙළිලොල්, කවිරස විඳුමට ප්‍රිය කළ රසිකයකු බව සුප්‍රකට ය. යුගයෙහි ජීවත් වූ කවීන් එතුමා පිනවීම සඳහාත්, එතුමාගෙන් වරප්‍රසාද ලබා ගැනීම සඳහාත් පබැඳූ ප්‍රශස්තිවලට වියෝගාලාප, එකතුකොට ඇත්තේ යථාර්ථය සමතික්‍රමණය කරමිනි. බොහෝ විට ප්‍රිය වල්ලභාවක කියන විරහ ගීත ස්වරූපයෙන් එම ප්‍රබන්ධ ලියැවුණු බව පැහැදිලි ය. අලංකාර අනුශාසකයන් විසින් වර්ණිත ශෘංගාරය මෙම පබඳවල මුල් රසයයි. විප්‍රලම්භ ශෘංගාරය උද්දීපනය වෙයි. මානාත්මක, පූර්වානුගරාග, ප්‍රවාස, කරුණාත්මක යන විප්‍රලම්භ ශෘංගාරයේ සිවු වැදෑරුම් භෙ ද එම කවිවලින් පිළිබිඹු වන්නේ ය.

මහවළතැන්නේ බණ්ඩාරගේ උඩරට සංගීත ලිපිය පිළිබඳ ව වැදගත් සඳහන් කිහිපයක් ඇත්තේ ය. විද්‍යෝදය විශ්වවිද්‍යාලයාධිපතිව වැඩ විසූ පණ්ඩිත වැලිවිටියේ සෝරත නායක මාහිමියන් වහන්සේ සම්පාදනය කළ එළුසඳැස් ලකුණ සංජීවනී ව්‍යාඛ්‍යාවෙහි (1935) ද, ජේ. ඊ. සේදරමන් නාට්‍ය උපදේශකවරයා ලියූ නෘත්‍ය චින්තාමණි (1947) පොතෙහි ද, ආචාර්ය පුංචිබණ්ඩාර සන්නස්ගල සම්පාදනය කළ සිංහල සාහිත්‍ය වංශයෙහි (1961) ද, ආචාර්ය ප.බ.ජි. හේවාවසම් ගේ මාතර යුගයේ සාහිත්‍යධරයන් හා සාහිත්‍ය නිබන්ධනයෙහි (1966) ද සී. ද. ඇස්. කුලතිලකගේ දහඅට වන්නම (1982) නම් කෘතියෙහි ද, මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘බයිලා කපිරිඤ්ඤා’ විමර්ශනයක් (1985) නම් කෘතියෙහි ද, ස්වර්ණ ශ්‍රී බණ්ඩාරගේ ‘සුදු මුතු කුඩ යට’ (1993) නම් ගීත සමුච්චයේ ගීතය පිළිබඳ සටහනෙහි ද මහවළතැන්නේ බණ්ඩාරගේ ලිපිය ගැන අවධානය යොමු කොට ඇත්තේ ය.

මහවළතැන්නේ බණ්ඩාර සිය ලිපියෙහි මරඟන රැඟුම, ජයසිරි මහ බෝ මැඩ සිදු වූවක් හැටියට සඳහන් කොට ඇතත් ඒ එසේ නොවන නිසා ද, අජපල් නුග රුක මුල සිදු වූ නිසා ද, නිවැරැදි කොට අනුවාදයෙහි දක්වන ලදී. මහවළතැන්නේ බණ්ඩාර සිය ලිපියේ අවසානයේ දී ලක්දිව භූත විද්‍යා, මිථ්‍යා විශ්වාස බලි තොවිල් ආදිය සම්බන්ධයෙන් වෙනත් ලිපියක් සපයන බව සඳහන් කොට ඇත්තේ ය. එහෙත් එබඳු ලිපියක් සැපැයුණේ ද පළ වුණේ ද යන්න ගැන කිසිවක් දැන ගන්නට නැත. ලංකාවේ භූත විද්‍යාව හා මායාකර්ම පිළිබඳ ව ඉංග්‍රීසි බසින් සැපැයුණු ලිපියක් රාජකීය ආසියාතික සංගමයේ සංග්‍රහයෙහි 1865-66 වර්ෂත්‍ය් කාණ්ඩ IV අංක 13 දරන කලාපයෙහි පළවී ඇත. මෙම ලිපිය ලියන ලද්දේ දන්දිරිස් ද සිල්වා ගුණවර්ධන විසිනි.

මහවළතැන්නේ බණ්ඩාරගේ ලිපියෙහි සංග්‍රහකොට ඇති සංගීත භාණ්ඩ හැත්තෑ පහකි. එහෙත් සක්සින්නම්, නාගසින්නම් යන නම් දෙක දෙවරක් සඳහන් වී ඇත. එබැවින් නාම ලේඛනය හැත්තෑතුන යනුවෙන් සංශෝධනය විය යුතුය. විරිත් ලේඛනයෙහි වම් තොහොල් ගී දැක්වී ඇතත් දකුණු තොහොල් ගී සඳහන් නොලබයි. පන්තේරු ගැන ද මෙහි කිසි ම සඳහනක් නැත. අඩරට ලක්ෂ්‍ය සංගීතයේ මෙන් ම ප්‍රායෝගික සංගීතයේ ද ඡන්දස් ආදී ශාස්ත්‍රයන්හි ද දැනුමක් ඇතිව සිටි මහවළතැන්නේ බණ්ඩාර ගැයුම්, වැයුම්, නැටුම් ද ප්‍රගුණ කළ කලා රසිකයකු වූ බව ඔහුගේ ලිපියෙන් අනාවරණය වන්නේ ය. වන්නම් කලා සම්ප්‍රදාය ගැන ලියැවුණු පූර්වතම ප්‍රාමාණික ලිපිය වශයෙන් සැලකිය හැකි මහවළතැන්නේ බණ්ඩාරගේ උඩරට සංගීතය, නම් ලිපිය බෙහෙවින් වැදගත් වන්නකි. මානව සංගීත විද්‍යා පර්යේෂකයනටත්, පොදු ශාස්ත්‍ර රසිකයනටත් මූලාශ්‍රයන් වෙනුවෙන් පරිශීලනය කටයුත්තක් වන බැවිනි. නොයෙකුත් වාද විවාදවලට තුඩු දුන් වන්නම් උපත පිළිබඳ ගැටලු විසඳා ගැනීමට බලවත් පිටිබලයක් මෙම ලිපියෙන් සැලසෙන වග පැසසුම් මුවින් පළවිය යුත්තේ ය.

දහඅට වන්නම් පිළිබඳ ව ලියැවී ඇති කලින් සඳහන් කළ පොත් හැරුණු විට උප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයකු වූ ඇස්. ඇල්. බී. කපුකොටුව සම්පාදනය කළ සිංහල වන්නම් (ක්‍රි.ව. 1958) යන කෘතිය ද, ටිබෙට් ජාතික එස්. මහින්ද කවි හිමියන් විසින් අලුතින් ප්‍රබන්ධ කරන ලද දහඅට වන්නම (ක්‍රි.ව. 1960) යන කෘතිය ද මෙහිලා සඳහන් කළ යුත්තේ එබඳු කෘතිවලින් උඩරට නැටුම් හා වන්නම් කලාවේ නවෝදයටත්, ප්‍රගතියටත් ලැබුණු අනුබලය වෙසෙසීමෙනි. විෂය පිළිබඳ ලියැවුණු තවත් ග්‍රන්ථ කිහිපයක් සුලභව පවත්නා බව පැවසිය යුතු ය.

සමෝධානය

වන්නම් පාදක කොට ගෙන සිංහල සංස්කෘතියට එක් වූ කලාත්මක දායාද කිහිපයකි. එයින් කොහොඹා යක් කංකාරිය හා සූවිසි විවරණ නැටුම මුල් තැන් ගනී. මෙම කලා අංග දෙක ම තුන්යම් රැය පුරා රඟ දැක්වෙන්නේ ය. නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරනු ලබන රංග භූමිකාවලින් සමන්විත වන්නේ ය. ප්‍රධානත්වය ලැබෙන්නේ ගායනයටයි. නර්ථනයට හා වාදනයට ලැබෙන තැන අඩු ය. සමස්තයක් වශයෙන් ගත්විට ගැටබෙර වාදනය පෙරමුණෙන් සිටී. දවුල්, තම්මැට්ටම, උඩැක්කිය, තාලම්පට ද වයනු ලැබේ. වන්නමෙන් ප්‍රභවය ලැබූ පන්තේරු නැටුම ඊට ම ආවේණික වූ ගැයුම්, වැයුම්, නැටුම්වලින් සුන්දර වූ සුසංයෝගයකි. පන්සල්වල පැවැත්වෙන පුද නැටුමක් වන සූවිසි විවරණ රංගනයේ දී පන්තේරුව ප්‍රධාන තැන දරයි. ගායන ශෛලිය පිරිත් දෙසුම් හා බලි ගැයුම්වල නාදමාලාවන්ගේ ආභාසයෙන් සකස් කර ගන්නා ලද්දකි.

මානව සංගීත විද්‍යාත්මකව විශ්ලේෂණය කරනවිට වන්නම් සංගීතය ජන සංගීත ක්‍ෂේත්‍රයට අයත් වන්නකි. ජන සංගීතයෙහි වාද්‍ය භාණ්ඩ සතු භූමිකාව ලබන්නේ දෙවැනි තැනකි. එහෙත් ඒ සිත් බඳවනසුලු ය. ඇඳගන්නා වූ අවධානය ද අල්ප ය. බොහෝ ජන සංගීත කණ්ඩායම් අතර කේවල වාi සංගීත ආකෘතීන් සාපේක්ෂව ලබන්නේ අල්ප වූ පෙළඹවීමකි.

මරියා ලීව් සංග්‍රහ කළ ජනශ්‍රැති කෝෂ ග්‍රන්ථය දක්වන අයුරින් වාචික කලා අංගයක් ලෙස සංගීතය සතු පොදු ලක්ෂණ සංගීතමය කලා අංගයක් සේ ජන ගීතයෙහි ද විද්‍යාමාන වෙයි. සංගීතමය මට්ටමෙන් ද ආකෘතිය හා අන්තර්ගතය සංවර්ධිත සංගීතයේ අනම්‍යශීලීතාව හා එක්ව ගන්නා බවක් ද නොපෙනේ. ජනගීතයේ ප්‍රබන්ධය මෙන් ම විරිත ද සුනම්‍යතාවක් හා විවිධත්වයක් ගන්නේ ය. එහි ගති ලක්‍ෂණ තීරණය කරන්නේ මෙම පදනම මත පිහිටා ය.

ගායනයට ප්‍රධාන තැන ලැබෙන වන්නම් රංග ශෛලියේ ඉහත දැක්වුණු ලක්‍ෂණ පෙනේ. වන්නම නැටුමට යොදා ගන්නා ලද්දේ පසුව ය. ගැටබෙරය එයට සහාය වාදනය සපයයි. තානම් තිත් ආදිය මත පිහිටා පැවැත්වෙන වන්නම් සංගීතයේ නාද මාලාවන්ගේ ස්වර සංධ්වනිය හා ස්වර සංවරතාව කෙරෙහි සියුම් ලෙස යොමු වන වගක් දක්නට නොලැබෙතියි සංගීතවේදීහු පවසති.

කෙසේ වෙතත් වන්නම් සම්ප්‍රදායේ භාවිත වන ගීත ප්‍රබන්ධ, වෘත්ත විශේෂ, නාද මාලා, තාල රටා සම්බන්ධයෙන් විද්‍යාත්මක පර්යේෂණයක් පැවැත්වීමට කාලය එළඹ ඇතැයි සිතමි. එය කළ යුත්තේ හුදෙක් ශාස්ත්‍රොන්නතිකාමී අභිලාෂයෙන් ද, ජාතික සංස්කෘතික දායාදයකට අනාගත ප්‍රවර්ධනය පතමින් ද වන්නේ ය. ඒ සඳහා නවීනතම හා තාක්‍ෂණික ඥානය හා උපකරණ උපයෝගී කර ගැනීමෙනි. ක්‍ෂේත්‍ර පර්යේෂණ සහ රසායනාගාර පර්යේෂණ ද පැවැත්වීමෙනි. මෙම වැදගත් කාර්යභාරය ඉතා ඉක්මනින් කළ යුත්තක් යැයි සඳහන් කරනු කැමැත්තෙමි.

ඉමාෂි ප්‍රකාශන – එළිදැක්වූ ග්‍රන්ථයෙන් උපුටා ගැනුනි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here