බංග්ලාදේශ නව රජයේ දිවුරුම් දීමේ උත්සවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහභාගීවීමට නියමිතව තිබේ.
එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධර්මපාල වීරක්කොඩි මහතා විසින් මේ බව බංග්ලාදේශ මාධ්‍ය වෙත තහවුරු කර ඇත.
බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙසින් තේරී පත්වූ තාරික් රහ්මාන්ගේ දිවුරුම් දීම සහ අභිනව රජයේ දිවුරුම් දීමේ උත්සවය එළැඹෙන අඟහරුවාදා (17) ඩකාහිදී පැවැත්වීමට නියමිතව ඇත.
මෙම අවස්ථාවට ඉන්දියාව නියෝජනය කරමින් ලෝක් සභා කථානායක ඕම් බිර්ලා, විදේශ ලේකම් වික්‍රම් මිස්රි ඇතුළු ඉන්දීය දූත පිරිසක් ඇතුළුව කලාපිය රටවල නියෝජිතයන් සහභාගිවීමට නියමිත බව සඳහන්ය.
පසුගියාදා පැවති බංග්ලාදේශ මහ මැතිවරණයෙන් BNP පක්ෂය ප්‍රමුඛ සන්ධානය පාර්ලිමේන්තු ආසන 300න් 212ක් දිනාගැනීමට සමත්විය.
ඒ අනුව එම පක්ෂයේ නායක, හිටපු අගමැතිනි කලීසා සියා පුත් තාරික් රහ්මාන් එරට අග්‍රාමාත්‍යවරයා ලෙස තේරීපත්විය.
2024 වසරේ බංග්ලාදේශයේ පැවති දැවැන්ත විරෝධතා මාලාවෙන් අනතුරුව එරට පැවැත්වූ පළමු මහ මැතිවරණය මෙය විය.
නව අග්‍රාමාත්‍යවරයකු තෝරා පත්කර ගැනීම මෙන්ම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා ජනතා අනුමැතිය ලබා ගැනීමද මෙම මැතිවරණයේ ප්‍රධාන අරමුණු විය.
Saru News










