බංග්ලාදේශය ලෝක කුසලාන T20 තරගාවලියෙන් ඉවතට 

0
10

2026 පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් බංග්ලාදේශය ඉවත් කළ බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (24) නිල වශයෙන් නිවේදනය කළේ ය.

ඒ අනුව බංග්ලාදේශය වෙනුවට කැඳවා ඇත්තේ ස්කොට්ලන්තයයි.

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක මුස්තෆිසුර් රහමන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමෙන් ඉවත් කිරීම මෙම ගැටලුවේ ආරම්භයයි.

ඉන් අනතුරුව ආරක්ෂක හේතූන් මත බව පවසමින් බංග්ලාදේශය මෙවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියාවේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කළේ ය. .

ඔවුන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටියේ ඉන්දියාවෙන් පිටත වෙනත් රටකදී තමන්ට ඊට සහභාගී වීමට අවසර දෙන ලෙසයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මණ්ඩල සාමාජිකයන් අතර පැවැති සාකච්ඡාවකින් සහ ඡන්ද විමසීමකින් අනතුරුව, එම ආයතනය බංග්ලාදේශයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය. .

ඊට ප්‍රතිචාර ලෙස බංග්ලාදේශය පැවසුවේ, ඉන්දියාවේදී තරග නොකිරීමේ තම ස්ථාවරයේද වෙනසක් නොමැති බවයි.

ඒ  අනුව, 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ නියමිත කාල සටහනට අනුව සහභාගී වීම බංග්ලාදේශය ප්‍රතික්ෂේප කර ඇති බැවින්, ශ්‍රේණිගතකිරීම් සලකා බලමින් ස්කොට්ලන්තයට එම අවස්ථාව ලබා දෙන බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද නිවේදනය කළේ ය. .

මේ අතර, තම රජය සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව 2026 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම පිළිබඳව අවසන් තීරණයට එලැඹෙන බවට පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති මොහ්සින් නක්වි ප්‍රකාශ කර ඇතැයි විදෙස් වාර්තා පවසයි.

ඒ, බංග්ලාදේශය මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කිරීමෙන් අනතුරුවයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඉන්දියාවට පක්ෂව ද්විත්ව ආකාරයේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ යැයි පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරයා චෝදනා කළ බවට විදෙස් වාර්තා  වැඩිදුරටත් සඳහන් කළේ ය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here