බංග්ලාදේශය පළමු කඩයිම පහසුවෙන් පනියි

0
6

ආසියානු කුසලාන විස්සයි – 20 ක්‍රිකට් තරගාවලිය

බංග්ලාදේශ නායක ලිටන් ඩස් ගේ නායකත්වයේ ඉනිමත්, පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් 2025 ආසියානු කුසලාන විස්සයි – 20 තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායම මුහුණ දුන් පළමු තරගය වූ හොංකොන් කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලැබීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.

පෙරේදා (11දා) අබුඩාබි හිදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායමේ නායක ලිටන් ඩස්ගේ ඇරයුමින් යුතුව පළමුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි හොංකොන් කණ්ඩායමට නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 143ක් ලබාගැනීමට හැකියාව ලැබිණි.

ඒ අනුව ලකුණු 144ක පහසු ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ ක්‍රීඩකයෝ පන්දු වාර 17යි පන්දු 04ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 144ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත්විය.

හොංකොන් කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී නිසකත් ඛාන් ලකුණු 42ක්, සීෂාන් අලී ලකුණු 30ක්, යසීම් මුර්තාසා ලකුණු 28ක් සහ බාබර් හයාට් ලකුණු 14ක් ලැබීය.

පන්දු යැවීමේදී තම්ෂිම් හසන් ලකුණු 21කට කඩුලු 2ක්, රිෂාඩ් හුසේන් ලකුණු 31කට කඩුලු 2ක් සහ තෂ්කින් අහමඩ් ලකුණු 38කට කඩුලු 2ක් බිඳහෙළීය.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී නායකත්වයේ ඉනිමක් දියත් කළ ලිටන් ඩස් පන්දු 39කින් ලකුණු 59ක් ලබාගැනීමට සමත්වූ අතර, ඔහුගේ ඉනිමට හයේ පහර 1ක් සහ හතරේ පහර 6ක් ඇතුළත්ව තිබිණි. ඊට අමතරව තව්හිද් හිරිඩෝයි ලකුණු 35ක්, ෆර්විස් හුසේන් ලකුණු 19ක් සහ තන්ෂිඩ් හසන් ලකුණු 14ක් ලැබීය.

පන්දු යැවීමේදී අතීක් ඉක්බාල් ලකුණු 14කට කඩුලු 2ක් සහ ආයුෂ් ශුක්ලා ලකුණු 32කට 1 කඩුල්ලක් දවාලීය.

තරගයේ වීරයා ලෙස ලිටන් ඩාස් සම්මාන ලැබීය.

සිසිර ඉන්ද්‍රජිත්

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here