දඩයක් ගහන්නේ අධිකාරියට ලාභ උපයන්න නෙවෙයි.
මේ නීතිය රට පුරාම ක්‍රියාත්මක වෙන්න ඕන. එහෙම නැත්තං පෞද්ගලික බස්වල කොන්දොස්තරලා මාෆියාවක් පවත්වාගෙන යනවා.
මෙය ක්‍රියාත්මක වුණා කියලා මගීන්ට කිසිම අසාධාරණයක් සිද්ධ වෙන්නේ නෑ…
බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ වලංගු ටිකට්පත් පරීක්ෂා කර බලා යම් හෙයකින් වලංගු ටිකට් පතක් නොමැති අයෙකු වෙතොත් දඩමුදලක් අය කිරීමේ ක්‍රමවේදයක් ඉකුත් ඔක්තෝබර් පළවෙනිදා සිට ක්‍රියාත්මක විණි.
මේ දඩගැසීමේ තත්ත්වය ලංකාව පුරා සියලුම පෞද්ගලික බස්රථවලදී ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තවමත් නැත. ඊට එකම හේතුව පළාත් සභා නවය තුළ ක්‍රියාත්මක වන මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී නවයට අදාළව මගී ප්‍රවාහන ප්‍රඥප්ති නවයක් ඇති නිසාය. බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සිය බලය ක්‍රියාත්මක කරන්නේ 1992 අංක 01 දරන මගී ප්‍රවාහන ප්‍රඥප්තිය අනුවය.
එහි සඳහන් පරිදි, බලය පැවරෙන්නේ මේ පරිදිය.
“1993 අංක 3 දරන බස්නාහිර පළාතේ මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා සංශෝධන ප්‍රඥප්තියට අනුව 34 අ (1) මේ ප්‍රඥප්තිය යටතේ නිකුත් කරන ලද ප්‍රවාහන සේවා අවසර පත්‍රයක අධිකාරිය යටතේ පාවිච්චි කරනු ලබන යම් බස් රථයක (අ) කොන්දොස්තරවරයකුගෙන් ගමන සඳහා ප්‍රවේශපත්‍රයක් ලබාගැනීම පැහැර හරින හෝ ප්‍රතික්ෂේප කරන හෝ, (ආ). ගමන සඳහා ප්‍රවේශපත්‍රයක් ලබාගෙන ගමනේ අවසානය දක්වා එය ළඟ තබා නොගන්නා හෝ ඒ බස් රථයේ කොන්දොස්තරවරයා විසින් හෝ පළාත් අධිකාරියේ බලයලත් නිලධාරියකු විසින් යම් ප්‍රවේශපත්‍රයක් පෙන්විය යුතු යයි හෝ භාරදිය යුතු යැයි ඉල්ලා සිටි විට එසේ කිරීම පැහැර හරින හෝ ප්‍රතික්ෂේප කරන ඒ බස් රථයේ යම් මගියකු මේ ප්‍රඥප්තිය යටතේ වරදක් කරන අතර මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියේ වරදකරු කරනු ලැබූ විට රුපියල් දෙසීයකට නොවැඩි දඩයකට යටත් විය යුතුය. 2.(1) වන උපවගන්තියේ විධිවිධානවල කුමක් සඳහන් ඇතද යම් මගියෙකු විසින් පළාත් අධිකාරියේ බලයලත් යම් නිලධරයකු වෙත රුපියල් සියයක දඩයක් සහ ඒ ගමන සඳහා තමාගේ අයවිය යුතු ගාස්තුව මෙන් දෙගුණයක් ගෙවනු ලබන්නේ නම් ඒ මගියාට විරුද්ධව ඒ උප වගන්තිය යටතේ වූ වරදක් සම්බන්ධයෙන් කිසිම නඩුවක් පැවරීම හෝ පවත්වාගෙන යෑම කළ නොහැකිය….”
මෙම නෛතික බලය ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කළේ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහණ අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහ මහතාය. ප්‍රඥප්තිය සකස් කොට වසර තිස් තුනකට ආසන්න කාලයක් ගතවුණද, එම බලය නෛතිකව ක්‍රියාත්මක නොකළේ ඇයි ද යන්න ගැටලුවකි.
“ප්‍රඥප්තියේ ඇතැම් තීරණ වරින්වර ප්‍රවාහන අධිකාරිය විසින් ගෙන තිබුණා . නමුත් විවිධ අවස්ථාවලදී මේවායෙහි ගැටලුකාරී තත්ත්වයන් ඇතිවෙලා එලෙසම යටපත් වෙලා තිබෙනවා.
මම පත්වෙලා ආවේ 2024 දෙසැම්බර් මාසයේ. මගේ එකම අරමුණ වුණේ අක්‍රමිකතාවයන් සහිත මේ අධිකාරිය ජනතාවට සමීප කරවීමයි.
ඒ සඳහා මාස හයක කාලයක් මම කළේ වරින් වර බස් හිමියන් සමගත්, සේවක පිරිස් සමගත්, ජනතාව සමගත් සාකච්ඡා පැවැත්වීමයි. සාකච්ඡා පැවතීම පමණක් නෙවෙයි ඔවුන් තුළ විශ්වාසයක් ගොඩනැගෙන පරිදි කටයුතු කළා. මේ හැම දෙනාගේම අදහස් විමසුවා. ඔවුන්ගේ අදහස්වලටත් ගරු කරලා තමයි මම මේවා ක්‍රියාත්මක කළේ.
පෞද්ගලික බස් රථයක ගමන් ගන්නා මගියාගේ මූලික පරම අයිතිය තමයි වලංගු ටිකට් පත. යම් සේවාවකට අපි මුදලක් ගෙවනවා නම් ඊට අදාළ ලදුපතක් අපට හිමි විය යුතුයි. බස් රථයේ ගමන් ගන්නා විට නම් ගමන් ගන්නා දුරට අදාළ වලංගු ටිකට් පතක් මගියා සතු විය යුතුයි.
මගියකුගේ ගමන් මගක සුරක්ෂිතතාවය ආරක්ෂා කිරීම අධිකාරියේ වගකීමක් වෙනවා. එහෙම නම් මේ මගියා අදාළ බස් රථයේ ගමන් ගත් බවට සාක්ෂියක් ඔහු හෝ ඇය සතු විය යුතුමයි.
මගියකු බස් රථයට ගොඩ වුණ විගස තමන්ගේ ගමනාන්තය දක්වා වලංගු මුදල කොන්දොස්තරවරයා අතට ලබාදෙන මොහොතේ කොන්දොස්තරයා විසින් ඊට අදාළ වලංගු ටිකට් පතක් ලබා දිය යුතුයි. එසේ නොවන හැම අවස්ථාවකදීම කොන්දොස්තරවරයාට මගියාගේ ගෙවූ මුදල පිළිබඳ වගකීම අහෝසි වෙලා යනවා. හදිසියේ මගියා බස් රථයෙන් බහින විට ඇදගෙන වැටුණොත්, ඒ අවස්ථාවේ බස් රථය නතර නොකර දිගටම ධාවනයක් කළහොත් මගියා අසරණ වෙනවා. මේ වගේ අවස්ථා ඕනේ තරම් මේ රටේ සිද්ධ වෙලා තියෙනවා.
තව දෙයක් මගියකු ගමන් මල්ලක් කිසියම් බස් රථයක අමතක කර දමා ගියහොත් නැවත එම බස් රථය සොයා ගැනීම පහසු වන්නේ නෑ. වලංගු ටිකට් පතක් මගියා ලබාගෙන තිබුණේ නම් ඒ අවස්ථාවේදී ගමන්මල්ල සොයා දීමේ හැකියාව අධිකාරියට තිබෙනවා.
ඒ විතරක් නෙමෙයි වෙනත් හදිසි අනතුරකදී පවා අදාළ බස් රථයේ ගමන් ගත් මගියෙකුට අනතුරට අදාළ රක්ෂණාවරණයක් ලබා ගැනීමේ අවස්ථාව හිමිවන්නේ වලංගු ටිකට් පතක් තිබුණහොත් පමණයි. එසේ නොවන කිසිම අවස්ථාවක කිසිදු මගියෙක් රක්ෂණාවරණයකට යටත් වන්නේ නැහැ. අපි හැම වෙලාවෙම ජනතාවගේ පැත්තේ හිටගෙන තමයි තීරණ ගන්නේ. මෙයත් එවැනි ක්‍රියාමාර්ගයක් පමණයි. නමුත් මින් ලැබෙන ප්‍රතිලාභ සියල්ල ජනතාවටයි…”
මෙම තත්ත්වය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමේ අයිතිය ඇත්තේ ඒ ඒ පළාත්වල මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියටය.
ශ්‍රී ලංකාවේ පෞද්ගලික බස් සේවාව 20 වන සියවසේ මුල් භාගයේ සිට ක්‍රියාත්මක වෙයි. මුල් කාලයේ දී, මෙම සේවාවන් නියාමනය නොකළ අතර, එමඟින් අක්‍රමිකතා සහ ආරක්ෂක ගැටලු ඇති ව තිබිණි. 1958 දී බස් සේවා ජනසතු කිරීම ඇතුළුව කර්මාන්තය නියාමනය කිරීමට එවකට රජය පියවර ගෙන තිබිණි.
ඉන් පසුව ක්‍රමිකව පෞද්ගලික බස්රථ සේවාව දීපව්‍යාප්තව ක්‍රියාත්මක විය.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (SLTB) සංකීර්ණ ඉතිහාසයක් ඇති අතර එය 1958 දී ලංකා ගමනාගමන මණ්ඩලය (CTB) ලෙස හැඳින්විණි. එහි උච්චතම අවස්ථාව වන විට, එය බස් රථ 7,000 ක් පමණ සහ සේවකයින් 50,000 කට වඩා සිටි ලොව විශාලතම සර්ව බස් සමාගම විය. කෙසේ වෙතත්, 1979 දී පෞද්ගලීකරණයත් සමග එය පරිහානියට පත් විය.
අද වන විට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පෞද්ගලික බස් ක්‍රියාකරුවන් සමග ක්‍රියාත්මක වන අතර, නාගරික සහ ග්‍රාමීය මාර්ග දෙකෙහිම මගී සේවාවන් සපයයි.
දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන පෞද්ගලික බස් රථ ප්‍රමාණය දාහතරදහස් දෙසිය හැත්තෑ දෙකක් බව ප්‍රවාහන සංඛ්‍යා දත්ත අනාවරණය කරයි.
මෙයට දශකයකට පමණ පෙරදී මෙම සංඛ්‍යාව දාහත් දහස ඉක්මවා තිබිණි. විවිධ හේතූන් මත දැනට ප්‍රවාහනයේ යෙදෙන්නේ දහතුන් දහසත් දහ හතර දහසත් අතර ප්‍රමාණයකි.
ලංකාවේ පළාත් නවය තුළ ජනතා සේවය සපයන පෞද්ගලික බස් රථ සේවාවන්හි ගමන් ගන්නා මගීන් අතුරින් කිහිපදෙනකු දැක්වූ අදහස් මේ පරිදිය.
“මොන බස් ගැනත් කතා කරන්න තියෙන්නේ එකම දේමයි. ඒ හැමදෙනාම වැඩ කරන්නේ ඒගොල්ලන්ගේ හිතුමනාපයට. මිනිස්සු ගැන නම් හිතන්නෙම නැති තරම්. ගාටන ගෑටිල්ල දැක්කහම කරන්න දෙයක් නැති නිසා යනවා. ඒ ගැන ප්‍රශ්න කරන්නත් බෑ අපේ ඇඟට ගොඩ වෙනවා. මනුස්සකම් කියන දේවල් බොහොමයක් රියදුරන් කොන්දොස්තරයන් ළඟ ගෑවිලාවත් නෑ. වලංගු ටිකට් පතක් ගැන හොයලා බලන එක නම් වටිනවා මොකද වෙලාවකට අපි ගමන් කරන ගමනට සරිලන මුදල නෙවෙයි අපෙන් ගන්නේ ඊට වැඩිපුරත් ගන්නවා.”
සබරගමුව පළාතේ කෑගල්ල වරකාපොල පෞද්ගලික බස් රථයක ගමන් ගත් මගියෙකු වූ වයස අවුරුදු 55ක් වන සෙනරත් යාපා බණ්ඩාර මහතා එසේ කීය.
වලංගු ටිකට් පතක් ඇද්ද යන්න පරීක්ෂා කරන කාලය අතරතුර කොටුව හෝමාගම බස් රථයක ගමන් ගත් මගියකු වූ වයස අවුරුදු 43ක් වන චිත්‍රාංගනී වාකිෂ්ඨ මහත්මිය මෙසේ කීවාය.
“ ඔය වගේ ටිකට් චෙක් කරන වැඩ කොච්චරක් නම් වෙනවද ටික කාලයකට පස්සේ ඕක නතර වෙනවා. ඔය හැමදෙනාම එකතුවෙලා මගීන්ගෙන් කීයක් හරි කඩාගන්න පුළුවන් නම් ඒක කරාවි.
නීතියක් විදිහට මේවා හරියට ක්‍රියාත්මක වෙනවා නම්, ඒ හැම දේකටම අපි උදව් කරනවා. මං දන්න කාලෙකදි නම් පටන් ගත්ත වැඩක් දිගටම කළේ නැහැ. වලංගු ටිකට්පත් පරීක්ෂා කරන එක හොඳයි තමයි.
මොකද කොන්දොස්තරලගෙන් ප්‍රශ්නයක් ඇහුවත් ගොඩක් දෙනෙක්, හිත රිදෙන්න කතා කරනවා මිසක් කවදාවත් යහපත් විදිහට කතා කරන්න ඒ අය දන්නෙම නැති තරම්. මෙන්න මේවටත් නීති ගෙන එනව නම් හොඳයි. කෙටියෙන්ම කියනව නම් මිනිස්සුත් එක්ක කතාබහ කරන එකත් පුරුදු කරන්න වෙනවා. එහෙම නැතුව මේ රටේ ගමනාගමනය හොඳ තත්ත්වයකට ගෙනියන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ.
පෞද්ගලික බස් රථවලට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි රණ්ඩු කර කර හරි, වෙලාව කකා තමන්ට ඕනෙ විදිහට පාරෙ ගමන් කරන එක. කොයිතරම් වෙලාවට ගමන් කරනවා කිව්වත් මම හිතන්නේ ඒක නම් වෙන්නේ නෑ. පුංචි ගමනක් යන්නත් අපිට දවසක් වෙන් කරන්න ඕනේ පාරෙ බස් එකේ යනවා නම්…”
මධ්‍යම පළාතේ පෞද්ගලික බස් රථවල ගමන් ගන්නා මහනුවර දිගන බස් රථයේ ගමන් ගත් අවුරුදු දාහතක් වන කනික දහම් රාජනායක සිසුවා මෙසේ අදහස් දැක්වීය.
“වලංගු ටිකට් පතක් තියෙනවද කියලා හොයලා බලනවා නම් ඒක ලොකු දෙයක්. මොකද බොහෝ වෙලාවට අපිට ඉතුරු සල්ලි ලැබෙන්නේ නෑ. ආපහු ඉල්ලන්නත් බෑ ඇයි දෙන්නෙ නැතිවෙයි කියලා හිතුවද කියලා වගේ කතා තමයි අහන්නේ. ඉස්කෝලේ ළමයින්ට නම් කිසිම ගෞරවයක් දක්වන්නේ නැහැ. වැඩිපුරම පුරුදු වෙලා තියෙන්නෙ කෑ ගහන්න. කනක් ඇහෙන්නෙ නැති වෙන්න මහා ඝෝෂාකාරී ශබ්දයකින් සින්දු දානවා. මෙන්න මේවටත් මොකක් හරි ප්‍රමිතියක් හදන්න ඕනේ.
අපිත් කැමතියි බොහොම නිදහස් විදිහට මග තොට ඉක්මනින් යන්න තියෙනවා නම්.
නමුත් මේ බස්වල නිදහසේ කාලය කකා යන්න නම් පුළුවන්.
උවමනා වෙලාවට ගමනක් යන්න හරිම අමාරුයි. මේ බස් රථ හෙමින් යන්නේ කියලා දුර බස් එකකට නගින්න දෙන්නෙත් නැහැ. ඒ වෙලාවට ලොකු රණ්ඩු ඇති කරගන්නවා දුර බස්වලට නැගපු අපිත් බැණුම් අහන්න ඕන එතකොට. මේවා කියන්නේ කිසිම බලධාරියෙක් නැහැ.
පැමිණිලි කරන්න කියලා අංක තිබුණට ඒවට කතා කරාට ගොඩක් වෙලාවට කතා කරන්න කෙනෙක් නෑ දුරකථනය නාද වෙනවා විතරයි. මට නම් දැනෙන විදිහට මොන බස් රථ උනත් කිසියම් නියාමනයකට ලක් කරලා ජනතා හිතවාදී විදිහට හදන්න සෑහෙන කාලයක් යාවි.”
ප්‍රවාහන, මහාමාර්ග, නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ සම්බන්ධයෙන් කියා සිටියේ මෙවැන්නකි.
“අපේ එකම අභිප්‍රාය මගියාට යහපතක් සැලසීමයි. ඒ ක්‍රියාදාමය තුළ නීතිය හරිහැටි ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය සියලු කටයුතු අපි සැලසුම් කරලා තියෙනවා. දීර්ඝ කාලයක් පරිහානියට පත්වෙච්ච ආයතන නැවත යථා තත්ත්වයට ගැනීම පහසු කාරියක් නෙවෙයි.
දැන් බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වූ මගීන් සතුව වලංගු ටිකට් පතක් තිබේද යන්න සොයා බැලීමත්, නීතිමය ක්‍රියාමාර්ගය සෙසු පළාත්වලටත් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පියවර ඉදිරියේදී ගන්න සූදානම්. නමුත් ඒවාට කෙටි කාලයක් ගතවේවි. මොකද පළාත් මට්ටමෙන් ඇති ගැටලු වෙන් වෙන් වශයෙන් හඳුනාගත යුතුව තිබෙනවා… මගීන්ගේ ආරක්ෂාව අපි ප්‍රමුඛ කොට සලකනවා. ඒ අනුව ඔවුන්ට උපරිම සේවාවක් ලබාදෙන්න අවශ්‍ය කටයුතු ඉදිරියේදී ගන්නා බව මතක් කරන්න කැමතියි. මගීන්ගෙන් ලැබෙන බොහෝ චෝදනා සම්බන්ධයෙන් සොයා බලා ඒවාට අවශ්‍ය දිගු කාලීන විසඳුම් ඉදිරියේදී ලබා දෙන්න අපි සූදානම්…”
සමන්ති වීරසේකර
Saru FM Media











