පෞද්ගලික ප්‍රතිරූපය ඉහළ නැංවීමට පොලිස් සේවා ගන්න බෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

0
9


මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල වැඩි වශයෙන් කතාබහට ලක් වන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ දුවා දරුවන් ඇගයීමේ අතිදැවැන්ත උත්සවයක් පැවැත්වූ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරියකගේ එම උත්සවය සම්බන්ධයෙන් පොලිස් ආරක්ෂාව ලබාදීම පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා අද (19) දහවල් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ කිසියම් අයෙකුට හෝ ආයතනයකට වාණිජ අරමුණක් මත මුදල් ගෙවා අදාළ ක්‍රියාපටිපාටිය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන් පොලිස් නිලරථ සහ සේවා ලබාගත හැකි බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා පොලිසිය විසින් පොදු කටයුතු සඳහා යම් මුදල් ගෙවීමක් මත පොලිස් වාහන, පොලිස් නිලධාරින් ලබාදීම සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

එම පොදු කටයුතු ලෙස කිසියම් අයෙකුට සිනමා නිර්මාණයක් සඳහා පොලිස් නිල රථ හෝ නිලධාරීන් ලබා ගැනීමට අවශ්‍ය වේ නම්, ඒ සඳහා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වෙත ඉල්ලීම් ලිපි ඉදිරිපත් කර අනුමැතිය ලබාගත යුතු බව බුද්ධික මනතුංග මහතා පවසනවා.

සංගීත සංදර්ශනයක් හෝ උත්සවයක් හෝ එවැනි ක්‍රියාවලියක් සඳහා ද සම්පූර්ණ අධ්‍යයනයකින් අනතුරුව මුදල් ගෙවීමකින් ශ්‍රී ලංකා පොලිසියට අයත් රථ වාහන ලබාගැනීමේ ක්‍රමවේදයක් පවතිනු ඇති.

ඒ අනුව මෙම 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගුරුවරිය ද බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන දරුවන් 8000ක් සහ දෙමාපියන් 35000ක් පමණ සහභාගී වන ඇගයීම් උත්සවයක් වෙනුවෙන් පොලිස් ආරක්ෂාව ඉල්ලා ලිපියක් යොමු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

නමුත් මෙම සිදුවීමෙන් පෙනී යන්නේ අදාළ ගුරුවරිය තම පෞද්ගලික ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීම සඳහා පොලිස් සේවා යොදා ගෙන ඇති බවත් එසේ සිදු කිරීමට කිසිදු නීතිමය අවසරයක් නොලැබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

එබැවින් මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් මේ වනවිටත් (අප්‍රේල් මස 19) අරඹා ඇති බවයි ශ්‍රී ලංකා පොලිසිය පැවසුවේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here