පොහොර හිඟයක් නෑ… ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා සහන මිලට පොහොර සහ වැඩි කළ පොහොර සහනාධාර ගොවියාට – නාමල් කරුණාරත්න – Saru News | සිංහල

0
6

රට තුළ දැනට පවතින පොහොර තත්වය පිළිබඳව ගොවි ජනතාව අනියත බියක් ඇති කර ගත යුතු නැති බවත්, අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි පොහොර තොග මේ වනවිට රට තුළ පවතින බවත් කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද (11) මොරගොල්ලගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පොහොර බෙදා හැරීම් සම්බන්ධව නිරීක්ෂණයකට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම සහ පශුසම්පත් නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න සඳහන් කළේ මහ කන්නයේ වී වගාවට අවශ්‍ය මඩ පොහොර (TSP) සහ MOP පොහොර අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් රට තුළ පවතින බවය. පසුගිය යල කන්නයේදී ටොන් 13,000ක් පමණ භාවිත වුවද, දැනට රට තුළ MOP පොහොර ටොන් 38,000ක් රට තුළ පවතින බව ඔහු අනාවරණය කළේය. යූරියා සම්බන්ධයෙන් පැවති සුළු හිඟය මගහරවා ගැනීම සඳහා අලුතින් ටොන් 25,000ක යූරියා පොහොර නැවක් දිවයිනට ලගා වූ අතර රටතුළ පවතින පොහොර තොග ගොවිජන සේවා මධ්‍යස්ථාන මට්ටමින් බෙදා හරිමින් පවතින බවද ඔහු සඳහන් කළේය.

පැවති යුද තත්වය හමුවේ ලෝක වෙළඳපොළේ පොහොර මිළ ඉහළ යාමත් සමග නව පොහොර මිටියක සිල්ලර මිල රුපියල් 17,000ක් පමණ වනවිට, රජයේ මැදිහත් වීමෙන් එම පොහොර මිටියක් රුපියල් 10,200ක සහන මිලකට ගොවීන්ට ලබා දීමට කටයුතු කර තිබේ.

පොහොර සඳහා ගොවීන්ගේ මූල්‍ය බර සැහැල්ලු කිරීම සඳහා රජය විසින් පොහොර සහනාධාරය ද ඉහළ නංවා ඇත. හෙක්ටයාර දෙකක් සඳහා මීට පෙර ලබා දුන් රුපියල් 30,000ක පොහොර සහනාධාරය නව ආණ්ඩුව පත්වීමත් සමග රුපියල් 50,000 දක්වා වැඩි කළ බවත්, මේ වනවිට එම සහනාධාරය රුපියල් 60,000 දක්වා දෙගුණයකින් වැඩි කර ඇති බවත් කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න අවධාරණය කළේය.

පැවති යුද තත්වයන් හමුවේ ජනතාව පීඩාවට පත්ව සිටින මෙවන් මොහොතක, ගොවි ජනතාවට ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දීමට රජය කැපවී සිටින බව නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here