Saturday, May 3, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් පොහොර සැපයුම හා මිල ස්ථාවරව පවත්වා ගැනීමට පොහොර සමාගම් එකඟයි

පොහොර සැපයුම හා මිල ස්ථාවරව පවත්වා ගැනීමට පොහොර සමාගම් එකඟයි

0
3


Fertilizer companies agree to maintain stable fertilizer supply and prices

යල කන්නය සඳහා අවශ්‍ය සියලුම පොහොර වර්ග ප්‍රමාණවත් ලෙස ගබඩා කර ඇති බවත්, ලෝක වෙළඳපොළේ මිල ඉහළ යාමක් සිදු වුවද දේශීය වෙළඳපොළේ පොහොර මිල ගණන් පෙර පැවති අයුරින්ම පවත්වාගෙන යාමට පියවර ගන්නා බවත් කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය නිවේදනය කරයි.

අමාත්‍යාංශ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ පොහොර සමාගම් සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව,


ලෝක වෙළඳපොළේ පොහොර මිල ඉහළ ගියද, TSP සහ යූරියා ඇතුළු ප්‍රධාන පොහොර වර්ග සඳහා පෙර පැවති මිල ගණන් යටතේම අඛණ්ඩව සැපයීමට එකඟතාවය ලබාගෙන ඇති බවයි.
මේ අතර, රාජ්‍ය පොහොර සංස්ථාවේ සභාපති තිලක් චන්ද්‍රකුමාර සේතුගේ මහතා සඳහන් කළේ, යල කන්නයට අවශ්‍ය ප්‍රමාණවත් පොහොර තොග රට තුළ පවතින බව ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් තහවුරු කර ඇති බවයි.
වර්තමානයේ රාජ්‍ය පොහොර සංස්ථාව සතුව TSP පොහොර මෙට්‍රික් ටොන් 600ක් පවතින අතර, රට තුළ පවතින මුළු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3,200කට ආසන්න වන බව ඔහු වැඩිදුරටත් පැවසීය. MOP පොහොර ද යල කන්නයට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඇති අතර, රාජ්‍ය පොහොර සංස්ථාව සතුව මෙට්‍රික් ටොන් 15,000ක් සහ මුළු රටේම මෙට්‍රික් ටොන් 69,000කට ආසන්න ප්‍රමාණයක් තිබෙන බව ද සභාපතිවරයා අවධාරණය කළේය.
තවද, රට තුළ යූරියා පොහොර මෙට්‍රික් ටොන් 60,000ක් පවතින අතර, රාජ්‍ය පොහොර සංස්ථාව සතුව මෙට්‍රික් ටොන් 4,000ක් ඇති බවත්,


ඊට අමතරව තවත් මෙට්‍රික් ටොන් 5,000ක් ඉදිරි සතියේදී ලංකාවට ගෙන ඒමට නියමිත බවත් සභාපතිවරයා පැවසීය.
පොහොර හිඟයක් පවතින බැවින් මිල ඉහළ යන බවට සමාජයේ පැතිර යන ව්‍යාජ ප්‍රචාරයන්ට රැවටී නොයන ලෙස ගොවි ප්‍රජාවගෙන් සභාපතිවරයා ඉල්ලා සිටියේය. එවැනි ව්‍යාජ පුවත් නොසලකා හරින ලෙස ද ඔහු උපදෙස් දුන්නේය.
පොහොර සැපයුම් ක්‍රියාවලිය කාර්යක්ෂමව හා විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාමට අමාත්‍යාංශය සහ රාජ්‍ය පොහොර සංස්ථාව කැපවී සිටින බවත්, ගොවි ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම අරමුණු කරගෙන මෙම ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් අවසාන වශයෙන් ප්‍රකාශ කෙරිණි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here