අවුරුදු දෙසීයක් කියන්නේ වැඩිම වුනොත් පරම්පරා හතරක් වෙයි. එහෙම පරම්පරා තුන හතරක කාලයක් විතරක් රාජධානියක් විදියට තිබුන තැනක් තමයි පොලොන්නරුව. ලංකා ඉතිහාසය, ලෝක ඉතිහාසය එක්ක බලද්දි අවුරුදු දෙසීයක් කියන්නේ ලොකු කාලයක් නෙමෙයි. පොලොන්නරුව ඒ සුළු කාලය ඇතුලත අපේ ඉතිහාසය වෙනුවෙන් සාක්ෂි දරන ජීවමාන සාක්කිකාරයෙක් විදිහට පෙනී ඉන්නවා. පොලොන්නරුවේ ගියාම බලන්න තැන් ගොඩක් හමුවෙනවා. එයින් කිහිපයක් ගැන කෙටි විස්තරයක් ඔයාලට ගේන්නයි අපේ මේ සූදානම.
1. පොලොන්නරුව වටදාගෙය
වටදාගෙය කියන්නේ පොලොන්නරුවේ නටබුන් අතර තියෙන වටිනාකමින් වැඩිම තැනක්. එතැන පැරණි වටදාගෙයක හැඩහුරුකම තාමත් හොඳට ආරක්ෂා වෙලා තියෙනවා. හතර දිශාවට තියෙන බුදුපිළිම හතරෙන් දැනට හොඳට තියෙන්නේ දෙකයි. වටේ තියෙන මුරගල්, සඳකඩපහන් ආදියත් එක්කම කදිමෙට මේ තැන ඉතුරු වෙලා තියෙනවා. චෛත්‍යයේ ආරක්ෂාවට ඒ වටා ඉදිකෙරන විශාල ගොඩනැගිල්ල වටදාගෙය කියලා හඳුන්වනවා. ලංකාවේ හොඳින් ඉතිරි වී ඇති වටදාගෙවල් අතර මේ පොලොන්නරු වටදාගේ මුල් තැනක් ගන්නවා.
2. හැටදාගෙය
වටදාගෙයට ඉස්සරහින් තියෙන හැටදාගෙය නිශ්ශංකමල්ල රජතුමගේ වැඩක් කියලා තමයි තියෙන්නේ. ඒ ආසන්නයේම නිශ්ශංකමල්ල රජුගේ ලොකු සෙල් ලිපියක් තියෙනවා. ඒකෙන් රාජ පාලනය ගැන තොරතුරු දැනගන්න හැකියාව තියෙනවා. පැය හැටකින් වැඩ නිම කළ නිසා මේක හැටදාගෙය කියලා හඳුන්වනවා කියලා තමයි විද්වතුන් කියන්නේ. මේක පෙර කලදී දැව වහලයක් සහිතව ඇතැම්විටක තට්ටු ගොඩනැගිල්ලක් පරිදි තියෙන්නට ඇති කියලත් විශ්වාස කරනවා. මේ ස්ථානය දළදා වහන්සේ වැඩමවා තිබූ ධාතු මන්දිරයක් කියලත් විශ්වාසයක් තියෙනවා.
3. රන්කොත් වෙහෙර
මිට කලකට පෙර වල් වැදුන ස්ථූපයක් ලෙස තිබු රන්කොත් වෙහෙර දැන් මැනවින් ගඩොලින් නිමකර හදා තියෙනවා. මේ වෙහෙරත් තමුන් කළාය කියලා නිශ්ශංකමල්ල රජු සෙල්ලිපි වල ලියලා තියෙනවා. ඒත් රන්කොත් වෙහෙර පරාක්‍රමබාහු රජතුමා පටන් අරගෙන නිශ්ශංකමල්ල රජතුමා නිමකරන්න ඇතිය කියල ඉතිහාසය ගැන දන්න අය කියලා තියෙනවා. අතීතයේදී රන්වන් කොතක් තිබූ නිසයි මෙයට රන් කොත් වෙහෙර කියලා නම වැටිලා තියෙන්නෙ. අනුරාධපුර චෛත්‍ය කර්මාන්ත වගේ හදන්න උත්සාහ කළත් පොලොන්නරු යුගයේ චෛත්‍ය වල තියෙන උඩ කොටස පැතලි ස්වභාවය රන්කොත් වෙහෙරේ දැනටත් පේන්න තියෙනවා.
4. තිවංක පිළිම ගෙය
නටබුන් බලන්න යන ප්‍රධාන පාරෙන් කිලෝමීටරයක් දෙකක් ඈතින් තිබුනත් පැරණි කලාව ගැන උනන්දු අය යායුතුම තැනක් තමයි තිවංක පිළිම ගෙය. තිවංක පිළිම ගේ ලංකාවේ පැරණිතම විහාර සිතුවම් තවමත් ආරක්ෂා වී ඇති දුර්ලභ ස්ථානයක්. මේ තිවංක පිළිම ගේ තුල ඇති සිතුවම් යුග දෙකකට අයිති වෙන බවත් සඳහන් වෙනවා. පල්ලව ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිවුන මෙය ටිකක් ඈතින් බැලුවොත් හින්දු ස්වභාවයේ ගොඩනැගිල්ලක් කියලාත් දැනෙනවා. පිටත බිත්තිවල ඇති මූර්ති වල දෙවිදේවතාවුන්, නිඝන්ඨයින්, වාමන රූප සහ සිංහයින් තවමත් දැකගන්නට තියෙනවා. සිතුවම් වල ආරක්ෂාව සඳහා පිළිම ගෙය තුල ඡායාරූප ගන්නට දෙන්නෙ නැහැ. තුන් තැනකින් නැමී ගිය බුදු පිළිමයක් තිබූ නිසා තිවංක පිළිම ගෙය කියා හඳුන්වන මේ පිළිම ගෙය දැන් වහලයක් ගහලා හොඳට ආරක්ෂා කරන්න කටයුතු යොදලා තියෙනවා.
5. පොලොන්නරු කිරි වෙහෙර
කිරි වෙහෙර ඉතාම මෑතක් වනතුරුත් එදා තිබුන විදිහටම කළුපාට පසුබිමින් අපිට දකින්නට තිබුනා. ඒත් මෑතකදී ඒකට සුදු පාට ගාලා තියෙනවා. දැන් අර ඒ අවට තිබුන නටබුන් එක්ක තිබුන තුලිතතාවය නැති වෙලා ගිහින් කියලා ඒක දැක්කාම හිතෙනවා. වන්දනාමාන කරන බැතිමතුන්ට රුචි විදියට දැන් නිර්මාණය වෙලා තියෙන කිරි වෙහෙර සෑය ගල්විහාරය බලන්න නැවැත්තුවාම ඒ එක්කම වගේ අනෙක් පසින් කදිමෙට පේන්න තියෙනවා.
6. ගල්විහාරය
පොලොන්නරුවට ගියොත් බැලිය යුතුම තැනක් තමයි ගල්විහාරය. අනෙක් සිද්ධස්ථාන කෙසේ වෙතත් බෞද්ධයින් ගල් විහාරය නම් ඉතාම පූජනීය තැනක් විදියට සලකනවා. පිහිටි ගලේම නිම වූ කදිම බුද්ධ ප්‍රථිමා කිහිපයක් ගල් විහාරයේ තිබෙනවා. අනෙක් සියළුම ගොඩනැගිලි ආදිය ගඩොලින් නිම වූ පොලොන්නරුවේ මේ ගල් විහාර පිළිම තනි කළුගලින් නිමවා තියෙනවා.
7. පරාක්‍රම මාලිගය සහ රාජ සභාව
පරාක්‍රමබාහු රජතුමාගේ මාලිගය පේන විදියට තට්ටු කිහිපයකින් සමන්විත වෙලා තියෙනවා. පොලොන්නරු යුගයෙන් පස්සේ ලංකාවට කඩා වැදුන දකුණු ඉන්දීය කැරළිකාරයෝ මේ ලස්සන මාලිගාව කඩා බිඳලා දාල තියෙනවා. ඒ වුනත් මීටර ගණනාවක් උසට තවමත් මේ මාලිගාවේ නටබුන් වූ ගඩොල් බිත්ති ආරක්ෂා වෙලා තියෙනවා. පොලව මට්ටමින් උස වේදිකාවක කණු මත පිහිටුවා තියෙන ගල් කණු පිහිටුවාලූ ස්ථානය පුරාතනයේ පරාක්‍රමබාහු රජුගේ රාජ සභාව යැයි සැලකෙනවා. ඒ තැනත් වටේ තිබෙන බිත්ති ආදියේ කැටයම් බොහොම හොදට ආරක්ෂා වෙලා තියෙනවා.
8. දීප උයන
දීප උයන කියලා අද පොලොන්නරුවේ ලස්සන උද්‍යානයක් හදලා තියනවා. මීට වසර දාහකට විතර ඉස්සරත් මේ දැන් තියෙන දීප උයනට පිටුපසින් කදිම උයනක් තිබිලා තියෙනවා. දැනටත් ඒ උයනේ උද්‍යානයේ නාන තටාකයක සහ පොකුණු වල නටබුන් ඉතිරි වෙලා තියෙනවා. ඒ ආසන්නයේ තිබෙන නටබුන් අනුව ඒ නිශ්ශංකමල්ල රජුගේ මාලිගය කියලා පුරාවිද්‍යාඥයින් විශ්වාස කරනවා.
9. පොලොන්නරු කෞතුකාගාරය
පොලොන්නරුවේ තිබෙන කෞතුකාගාරය පොලොන්නරු යුගය ගැන ලොකු විස්තරයක් තිබෙන තැනක්. අදාළ ප්‍රදර්ශන භාණ්ඩ පුරාවස්තු මගින් පොලොන්නරුව ගැන හොඳ අවබෝධයක් ඒක බලන අයට ලැබෙනවා. පරාක්‍රම සමුද්‍රය ආසන්නයේ දීප උයනට ටිකක් මෙහාට වෙන්න තමයි පොලොන්නරුව කෞතුකාගාරය පිහිටලා තියෙන්නේ. ඒකේ තියෙන විස්තර ආදිය හොඳින් පැහැදිලි කරලා දෙන්නත් කට්ටිය ඉන්නවා. නිකම්ම නටබුන් බලනවාට වඩා අවබෝධයක් අරගන්න ඕනි නම් කෞතුකාගාරය නරඹන එක වටිනා වැඩක්.
10. ලංකාතිලක පිළිම ගෙය
පොලොන්නරු නටබුන් අතර කිරිවෙහෙරට යාබදව තියෙන ගඩොලින් තැනූ ලංකාතිලක පිළිම ගෙය සුවිශාල එකක්. සාමාන්‍යයෙන් දැනට තිබෙන මහල් ගොඩනැගිල්ලක මහල් තුනක විතර උසට මේ පිළිම ගෙය ගොඩනැගිලා තියෙනවා. දැනටත් මේ පිළිම ගේ තිබුනු බුදුපිලිම වහන්සේගේ නටබුන් ඉතුරු වෙලා තියෙනවා.
මේ කියන වැදගත් නටබුන් ස්ථාන විතරක් නෙමෙයි තවත් බලන්න බොහෝ බොහෝ වටිනා නටබුන් ගොඩක් පොලොන්නරුවේ තියෙනවා. එදා රජවරු හැදූ වැව් කර්මාන්ත සුළු නඩත්තුවකින් අද දවසේ පවා පොලොන්නරුව නගරයට සහ ගොවිතැන් වලට අවශ්‍ය ජලය සපයනවා. වැවක බැහැල නාලා, නටබුන් ටිකක් බලලා ගල්විහාරේ වැඳලා එන්න දවසක් දෙකක් පොලොන්නරුවට වෙන් කරන එක කිසිසේත්ම පාඩු වැඩක් නම් නෙමෙයි.
The post පොලොන්නරු ගිහින් බලන්න ඕනිම දේවල් 10ක් appeared first on Lifie.LK.
Saru FM Media