මහමග දණගස්වා පහර දී කුඩු චෝදනාවක් දමා රිමාන්ඩ් කරලා
බස් රථ හිමියකුට ලක්‍ෂ 10ක් වන්දි ගෙවීමට නියෝග
සාධාරණ හේතුවක් නොමැතිව පුද්ගලික බස් රථ හිමිකරුවකු අත්අඩංගුවට ගෙන මහමග දණගස්වා අමානුෂික ලෙස පහරදී පොලිසියට ගෙන ගොස් රඳවා තබාගෙන හෙරොයින් සන්තකයේ තබාගත් බවට අසත්‍ය චෝදනා නගා අධිකරණයට ඉදිරිපත් කොට රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගත් කොට්ටාව පොලිසියේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් හයදෙනකුට පෙත්සම්කරුට රුපියල් ලක්‍ෂ 10ක වන්දියක් ගෙවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (13දා) නියෝග කළේය.
වගඋත්තරකරුවන්ගේ එකී අයුතු ක්‍රියා කලාපය නිසා විතානගේ සුනිල් නමැති පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කළ යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා හා මේනකා විජේසුන්දර යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල වගඋත්තරකාර පොලිස් නිලධාරීන් හයදෙනා එක්ව ඔවුන්ගේ පුද්ගලික මුදලින් එම වන්දිය ගෙවිය යුතු බවට ද නියෝග කළේය. කොට්ටාව පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කළ එල්. පී. බී. සමරසිංහ, පොලිස් පරීක්‍ෂක සිරිල් පෙරේරා, උප පොලිස් පරීක්‍ෂක ප්‍රේමසිරි, පොලිස් කොස්තාපල්වරුන් වන නන්දන පියල්, සම්පත් හා චන්ද්‍රා නිරෝෂන් යන පොලිස් නිලධාරීන් හයදෙනා පෙත්සම්කරුට කෲර වධබන්ධනයට ලක්නොවී ජීවත් වීමට ඇති මූලික අයිතිවාසිකම උල්ලංඝනය කර ඇති බවට නිගමනය කළ විනිසුරු මඬුල්ල එකී නියෝගය කළේය.
කොට්ටාව පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන පෙත්සම්කාර පුද්ගලික බස් රථ හිමිකරු 2016.07.09 වැනිදා සිය මිතුරකු මුණගැසීමට ගොස් රාත්‍රී 10.00 ට පමණ ආපසු නිවස බලා එමින් සිටියදී මාර්ගයේ සිටි පොලිස් පරීක්‍ෂක සිරිල් පෙරේරා නමැත්තා ඔහුට බැණවැදී නිල පිස්තෝලය හිසට තබා මරණීය තර්ජනය කර ඇත. එහි සිටි පොලිස් කොස්තාපල් සම්පත් හා නිරෝෂන් තමන්ට පහරදී දණගැස්සූ බවත් පෙත්සම්කරු සිය පෙත්සම මගින් අධිකරණයට පෙන්වාදී තිබිණි. පසුව තමාව කොට්ටාව පොලිසියට රැගෙන ගොස් සිරමැදිරියට දමා තිබියදී එහි පැමිණි සිය මව බිරිඳ හා බිරිඳගේ සොහොයුරා තමන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටියද පොලිසියේ පහරදීමෙන් මුහුණ, කට, පපුව හා අත් පාවලින් ලේ ගලමින් සිටි තමා මුදාහැරීම පොලිසිය ප්‍රතික්‍ෂේප කළ බවත් එමගින් පෙත්සම්කරු පෙන්වාදී තිබිණි. පසුදින හෙරොයින් ග්‍රෑම් 550 ක් සන්තකයේ තබාගත් බවට අසත්‍ය චෝදනා නගා හෝමාගම පොලිසියට ඉදිරිපත් කළ තමාව රක්‍ෂිත බන්ධනාගාර ගත කළ බවත් පොලිසියේ පහරදීමෙන් තුවාල ලබා ඇති බව තමා සිය නීතිඥවරයාට දැන්වූ පසු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයකු වෙත ඉදිරිපත් කරන ලෙසට මහෙස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළ බවත් ඔහු පෙත්සම මගින් පෙන්වා දී ඇත. අධිකරණය කළ එකී නියෝගය බන්ධනාගාර නිලධාරීන් ඉටු නොකිරීම පිළිබඳව සිය නීතිඥවරයා ජූලි 18 වැනිදා අධිකරණයට දැනුම් දීම නිසා වහාම තමාව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කරන ලෙසට මහෙස්ත්‍රාත්වරයා නැවත නියෝග කළ බවත් පෙත්සමෙන් පැවසේ.
අධිකරණය හමුවට ඉදිරිපත් වූ අධිකරණ වෛද්‍ය වාර්තා අනුව පෙත්සම්කරු අමානුෂික ලෙස පහරකෑමට හා කෲර වධහිංසාවට ලක්ව ඇති බවට මෙන්ම ඔහු මත්ලෝලියකු නොවන බවට පැහැදිලි වන බව සෙසු විනිසුරු දෙපළගේ එකඟතාව ඇතිව තමන් විසින් ලියා සකස් කළ සිය තීන්දුව මගින් විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය කියා සිටියාය. එකී වධහිංසාවලට පෙත්සම්කරු ලක්වී ඇත්තේ පොලිස් භාරයේ සිටියදී බවට තහවුරු වන බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටී විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය පෙත්සම්කරු නිසි වේලාවට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයකු වෙත ඉදිරිපත් කිරීමට වගඋත්තරකරුවන් අසමත් වී ඇති බවද පැවැසුවාය.
පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් පරිදි නීතිඥ චරිත් මිනිපුරආරච්චි, සබ්ර් හුසේන් යන නීතිඥ මණ්ඩලය සමග නීතිඥ රසික දිසානායක මහතා පෙනී සිටියේය. රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ රිස්නි පාඩොස් මෙනෙවිය සමග අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ වරුණිකා හෙට්ටිගේ මෙනෙවිය නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියාය.
ඒ. ජේ. ඒ. අබේනායක
Saru FM Media