උසාවියේදී ගණේමුල්ලේ සංජීවට වෙඩි තැබූ මාරක පිස්තෝලය මිනීමරුවා වෙත ප්‍රවාහනය කළ ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට ගැනීමේ පුවත පිටුපස දිග කතාවක් තිබේ. මේ කතාව ආරක්ෂක හේතුන් මත හෝ පොලිස් ක්‍රමෝපාය හේතුන් මත තවමත් සම්පූර්ණයෙන් හෙළිදරව් වී නැත. ඉහත සඳහන් සැකකාරිය අත්අඩංගුවට ගන්නා ලද්දේ නේපාල පොලිසිය සහ ශ්‍රී ලංකාවේ පොලිසිය එකතු වී කළ ඒකාබද්ධ මෙහෙයුමකිනි. පිටරට ගොස් මිනීමරුවන් මෙරටට කුදලාගෙන ඒම පිළිබඳ පළපුරුද්දක් ඇති සුප්‍රසිද්ධ පොලිස් නිලධාරියකු වූ රොහාන් ඕලුගල ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීමට සම්බන්ධ විය. පොලිස් පරීක්ෂක ගිහාන් ද සිල්වා නම් තවත් එඩිතර නිලදරුවකු ද ඊට සහය විය. නන්නාඳුනන රටකදී කෙනකු අත්අඩංගුවට ගැනීම ඉතා දුෂ්කරය. ඒ සඳහා එසේ අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයා දැක හඳුනාගෙන තිබිය යුතුය. එහෙත් ඉහත සඳහන් සැකකාරිය රොහාන් ඕලුගල හෝ නේපාල පොලිසිය කිසිකලෙකත් දැක තිබුණේ නැත. එබැවින් මෙවැනි අත්අඩංගුවට ගැනීම් කිරීමට සිදුවන්නේ අන්ධකාරයේ අතපත ගානවාක් මෙනි. මීට පෙර රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එක් නිලධාරියකු ඉන්දුනීසියාවට ගොස් කෙහෙල්බද්දර පද්මේ නමැති අපරාධකරු ඇතුළු පිරිසක් මෙරටට ගෙනැවිත් තිබිණ. කෙහෙල්බද්දර පද්මේ යනු ශ්‍රී ලංකාවේ ම කුඩු නිෂ්පාදනය කරන ප්‍රමුඛ පෙළේ කුඩු නිෂ්පාදකයෙක් වෙයි. ශ්‍රී ලංකාවට පිටරටින් එන කුඩු තොග කොපමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තත් මෙරට කුඩු සැපයුම අඩු නොවන්නේ කෙහෙල්බද්දර පද්මේ වැනි නිෂ්පාදකයන්ගේ කුඩු සැපයුම නිසාය. ඒ නිසා පද්මේ ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමෙන් රොහාන් ඕලුගල මෙරටට ලොකු සේවයක් කළේය.
ගණේමුල්ලේ සංජීවට වෙඩි තැබීමෙන් පසු වෙඩික්කරුවා මෙන්ම ඉෂාරා සෙව්වන්දි ද අතුරුදන් වූවාය. එහෙත් පැය 24ක් ඇතුළත තුවක්කුකරුවා සොයා ගැනීමට පොලිසියට හැකි විය. එහෙත් මිනීමරු ආයුධය ප්‍රවාහනය කළ සැකකාරිය සොයාගැනීමට බැරි විය. අන්තිමේදී ඇය ඉන්දියාව හරහා ඩුබායි රාජ්‍යයට පැනගොස් ඇති බවට උපකල්පනය කරන ලදී. ස්වල්ප දිනකට පසු පොලිසිය විසින් මේ උපකල්පනය සම්පූර්ණ ඇත්තක් ලෙස සමාජගත කරන ලදී. එය උපක්‍රමික කාරණයකි. අපගේ වැටහීම පරිදි සෙව්වන්දි පලාගියේ ඩුබායි නගරයට නොව ආසියාවේ වෙනත් ගමනාන්තයකට බව ශ්‍රී ලංකා පොලිසිය දැන සිටියේය. පොලිසිය ඩුබායි රාජ්‍යය ගැන අවධානයෙන් සිටින බැවින් නේපාල ගමනාන්තය පොලිසිය විසින් නොසලකා හරින්නට ඇතැයි සෙව්වන්දි ඇතුළු පිරිස සිතන්නට ඇති. නේපාලයට යෑමට නම් ඉන්දියාවට යායුතුය. ඉන්දියාවෙන් දේශසීමා තරණය කොට නේපාලයට යෑමට පුළුවන. ඉන්දියානු බෝඩරය සහ නේපාලය අතර යන එන්නන් පිළිබඳ ඒ තරම් පිරික්සනු නොලැබේ. නේපාලය යනු ඉන්දියාවේ ළඟම අසල්වැසියා වන අතර ගොඩබිම්වලින් පමණක් වටවී තිබෙන, මුහුදු මාර්ගයකින් ළඟාවිය නොහැකි රටකි. කෙසේ හෝ සෙව්වන්දි නේපාලයට පැනගොස් ඇති බව එරට පොලිසියේ බුද්ධි අංශ හෙළි කරගෙන තිබිණ. නේපාලයට වෙනත් රටක පුද්ගලයකු ගියවිට සාගරයට ඉඳිකටුවක් වැටුණා හා සමානය. මේ අනුව ඉෂාරා සෙව්වන්දි සෙවීම කොපමණ සංකීර්ණ කාරණයක් වන්නට ඇති ද යන්න සිතා ගැනීමට පුළුවන. කෙසේ හෝ දෙරටේ ම පොලිසි විසින් කරන ලද මේ අත්අඩංගුවට ගැනීම අනෙක් රටවලටත් වැදගත් අත්දැකීමක් බවට පත්වෙයි. උදාහරණයක් වශයෙන් ජාත්‍යන්තර අපරාධකරුවන් වෙනත් රටවලදී අත්අඩංගුවට ගැනීම මෙතෙක් කල් සිදුකරන ලද්දේ ඊශ්‍රායලය, ඇමරිකාව වැනි දියුණු රටවල් පමණි. එහෙත් එම හැකියාව ම තමන්ට ද ඇති බව නේපාලය සහ ශ්‍රී ලංකාව ඔප්පු කර තිබේ.
මෙයට පෙර ද රොහාන් ඕලුගලගේ මැදිහත්වීමෙන් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපි අපගේ ප්‍රශංසාව කතුවැකියක් මගින් වාර්තා කර තැබුවෙමු. ලංකාවේ නිලධාරීන් මෙවැනි වැටලීම් සඳහා පිටරටවලට පිටත්ව යන්නේ සිය පවුලේ අයට පවා ගමනාන්තය ගැන හෙළිකිරීමෙන් තොරවය. උදාහරණයක් වශයෙන් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්දුනීසියාවට යන අවස්ථාවේදී රොහාන් ඕලුගල සිය බිරියට පවසා තිබුණේ තමන් නිල කටයුත්තක් සඳහා ජපානයට යන බවය. මෙවැනි නිලදරුවන් අප ජාතියක් වශයෙන්, රටක් වශයෙන් ආරක්ෂා කරගත යුතුය. ආරක්ෂා කළ යුතුය. මන්ද ඒ මේ රටේ අනාගත පරපුර වෙනුවෙනි. මේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපි නැවත වතාවක් නේපාල පොලිසියට සහ ශ්‍රී ලංකාවේ පොලිසියට ස්තුතිය පුද කරමු. මේ රටේ වර්තමාන ආණ්ඩුව අපරාධ මර්දනය සඳහා වෙසෙස් උත්සාහයක් ගන්නා බව පෙනෙයි. ඒ උත්සාහයට ජය වේවා!
Saru FM Media