Wednesday, May 21, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් පොලිස් පරීක්ෂකවරියකට එරෙහි නඩුවට එන්න එපැයි කොට්ටාවේ ටීචර්ගේ ගෙදරට ඇවිත් මරණීය තර්ජන

පොලිස් පරීක්ෂකවරියකට එරෙහි නඩුවට එන්න එපැයි කොට්ටාවේ ටීචර්ගේ ගෙදරට ඇවිත් මරණීය තර්ජන

0
2


death-threats-were-made-to-a-teachers-house-in-kottawa-while-a-case-was-being-filed-against-a-police-inspector

පොලිස් පරීක්ෂකවරියකට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවට ඉදිරිපත් නොවන ලෙස එම පොලිස් පරීක්ෂකවරිය සහ ඇගේ සැමියා වන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පැමිණිලිකාරියගේ නිවසට ගොස් මරණීය තර්ජන එල්ල කර ඇතැයි කොට්ටාව පොලිසිය සඳහන් කරයි.

පන්නිපිටිය රුක්මලේ පදිංචි හිටපු පෙර පාසල් ගුරු උපදේශිකාවක් විසින් මෙම පැමිණිල්ල මැයි මස 18 වන දින කොට්ටාව පොලිසියේ මෙහෙයුම් කාර්යාලයට ඉදිරිපත් කර ඇත.
පොලිස් ප්‍රකාශයට අනුව, පොලිස් පරීක්ෂකවරිය විසින් පැමිණිලිකාර හිටපු පෙරපාසල් ගුරු උපදේශිකාවට අපහාසයක් වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ පෝස්ටුවක් පළ කිරීම සම්බන්ධයෙන් පැමිණිලිකාරිය විසින් 31983/24 යටතේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනුකර ඇත. මෙම නඩුව මැයි මස 23 වෙනි දින නැවත විභාගයට ගැනීමට නියමිතව ඇත.


පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ, එලෙස නඩුව පවතිද්දී මැයි මස 17 වෙනි දින රාත්‍රි කාලයේදී පොලිස් පරීක්ෂකවරිය සහ ඇගේ සැමියා වන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සුදු පැහැති මෝටර් රථයකින් පැමිණිලිකාරියගේ නිවසට පැමිණ ඇති බවයි.
ඔවුන්ගේ තර්ජන හේතුවෙන් පැමිණිලිකාරිය ආරක්ෂාව පතා ඇගේ කුඩා දියණියන් දෙදෙනා සමඟ වෙනත් නිවසක නැවතී සිටි බවද පොලිසිය සඳහන් කරයි. පැමිණිලිකාරිය නිවසෙන් බැහැරව සිටි අවස්ථාවේ, ඇගේ නැන්දණිය (ස්වාමිපුරුෂයාගේ මව), නෑනා දෙදෙනෙක් සහ ඥාති දියණියක් පමණක් නිවසේ සිට ඇත.
පැමිණිල්ලට අනුව, පොලිස් යුවළ නිවසේ සිටි අයට ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත් සහ විවාහ සහතිකය පෙන්වා, ජංගම දුරකථනයෙන් ඡායාරූප පෙන්වමින් පැමිණිලිකාරියට මැයි 23 වෙනි දින නඩුවට නොපැමිණෙන ලෙසත්, එම නඩුව වහාම ඉල්ලා අස් කර ගන්නා ලෙසත් බල කර ඇත.
තවද, එම නඩුව ඉදිරියට පවත්වාගෙන ගියහොත් පැමිණිලිකාරියගේ දරුවන් දෙදෙනාටද හිරිහැර කරන බවත්, විදේශගතව සිටින ඇගේ ස්වාමිපුරුෂයාට ශ්‍රී ලංකාවට පැමිණීමට බාධා කරන බවත්,


පැමිණිලිකාරියට බරපතල ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවන බවත් හෝ ඇය මරා දමන බවටත් තර්ජනය කර ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.
මෙම සිද්ධිය “වින්දිතයන් සහ සාක්කිකරුවන් සුරැකීමේ පනත” යටතේ වින්දිතයන්ට සහ සාක්කිකරුවන්ට බලපෑම් සිදු කිරීමක් ලෙස පැමිණිල්ලේ සඳහන් කර ඇත.
පැමිණිලිකාරිය තවදුරටත් සඳහන් කර ඇත්තේ, පොලිස් පරීක්ෂකවරිය විසින් පැමිණිලිකාරියගේ ජාතික හැඳුනුම්පත සොරාගෙන එහි ඡායාරූපය භාවිතා කරමින් ෆේස්බුක් (මුහුණු පොත) හරහා ඇගේ කීර්ති නාමයට හානිවන සහ අපහාසාත්මක ආකාරයේ දැන්වීමක් පළ කිරීම සම්බන්ධයෙන් මෙන්ම මරණීය තර්ජන කිරීම සම්බන්ධයෙන් ද පොලිස්පති සහන මැදිරියට, පොලිස් කොමිෂන් සභාවට සහ මානව හිමිකම් කොමිෂන් සභාවටද මීට පෙර අවස්ථා කිහිපයකදීම පැමිණිලි කර ඇති බවයි.
මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතාගෙන් විමසූ විට, කොට්ටාව පොලිසියට මෙම පැමිණිල්ල ලැබී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් හෙතෙම තහවුරු කළේය.
කොට්ටාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන්ද සොයිසා මහතාගේ උපදෙස් මත මෙම විමර්ශන සිදු කෙරෙන බවද සඳහන් විය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here