හදිසි කල්තැබීමේ විවාදයක් ඉල්ලති
ජාතික පොලිස් කොමිසමේ විෂය පථයට අයත් පොලිස් ස්ථානාධිපතිවරුන් මාරු කිරීමේ බලය විශේෂ ගැසට් නිවේදනයක් මගින් පොලිස්පතිවරයා වෙත පැවරීමට ගන්නා ක්‍රියාමාර්ගයට විරෝධය පළ කරමින් විපක්ෂය පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා) හදිසි කල්තැබීමේ විවාදයක් ඉල්ලා සිටියේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු විස්සකට වැඩි පිරිසක් අසුන්වලින් නැගිට එම ඉල්ලීම කළහ.
ඉන් පසුව ඊට අදාළ යෝජනාව පත්කළ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලදි. එහිදී මන්ත්‍රීවරයා මෙසේ කීය.
“1991 දී පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත කළ පොලිස් කොමිසම ශක්තිමත්, ස්වාධීන කොමිසමක් බවට පත් කිරීම 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදු කරනු ලැබිණ. 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් එය නැවතත් ශක්තිමත් කරන ලදි. පොලිස් කොමිසමේ විෂය පථයට අයත් ස්ථානාධිපතිවරුන්ගේ මාරුවීම් විශේෂ ගැසට් නිවේදනයක් මගින් පොලිස්පති වෙත පැවරීමට කටයුතු කරන බව මාධ්‍ය මගින් වාර්තා කර ඇත. පොලිස් කොමිසමේ ස්වාධීනත්වය තහවුරු කිරීමට පාර්ලිමේන්තුව මැදිහත් විය යුතු යැයි අපි යෝජනා කරනවා.
එහිදී මෙම යෝජනාව කල්තැබීමේ විවාදයක් ලෙස පැවැත්වීම සම්බන්ධයෙන් කථානායකවරයා සභාවේ එකඟත්වය විමසීය.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා- ඒ සම්බන්ධයෙන් අපිට විවාද කරන්න පුළුවන්. ඕනේ නම් විවාද නොකර යෝජනාව පරද්දන්නත් පුළුවන්. නමුත් අපි කැමැතියි මෙය විවාද කරන්න. ඊට අවස්ථාව ලබා දෙන්නම්. පක්ෂ නායක රැස්වීමක් කැඳවා හෙට අපි මේ විවාදය කරමු. අද සවස විශේෂයෙන් මත්ද්‍රව්‍ය මර්දනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවකට මහජන ආරක්ෂක ඇමැතිතුමා සම්බන්ධ වෙනවා. ඊට එම නිලධාරීන් ද පැමිණ සිටිනවා. ඒ සඳහා අපි කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවමු.
දයාසිරි ජයසේකර මහතා- අපි මෙය හදිසි යෝජනාවක් ලෙස ගෙනාවේ හෙට පොලිස් කොමිසම රැස්වෙනවා. අපි දන්නේ නෑ එතැනදී කුමක් සිදුවෙයිද කියලා. ඒ තරම් බලපෑමක් ඔවුන්ට තිබෙනවා පොලිස්පතිට දෙන්න කියලා. මෙය වැදගත් කාරණයක්. පොලිසිය තමයි මත්ද්‍රව්‍ය අල්ලන්නේ.
මේ අතර ජාතික පොලිස් කොමිසමේ බලය පොලිස්පතිවරයාගේ අතට ගෙන ස්ථානාධිපතිවරුන් මාරුකිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව කරගෙන යන ඒකාධිපති වැඩපිළිවෙළට දැඩි විරෝධය පළ කරන බව විපක්ෂය පාර්ලිමේන්තුවේදී ඊයේ පෙරවරුවේ ද කියා සිටියේය. විපක්ෂනායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අදහස් පළකරමින් මේ බව කියා සිටි අතර එහිදී දැක්වූ අදහස් මෙසේය.
ගයන්ත කරුණාතිලක මහතා- මේ දිනවල වාර්තා පළ වෙනවා පොලිස් කොමිසමේ බලතල විශේෂයෙන් නිලධාරීන් මාරු කිරීම ඇතුළු කාරණා පිටතට ගැනීමේ උත්සාහයක් තිබෙන බව. ඒ පිළිබඳව ආණ්ඩු පක්ෂයේ ස්ථාවරය දැන ගන්න අවශ්‍යයි.
දයාසිරි ජයසේකර මහතා- මේ පොලිස් කොමිසම ස්ථාපිත කරන්නේ 1991දී. එතැන් සිට මේක දිගින් දිගටම ක්‍රියාත්මක වෙනවා. ස්ථානාධිපතිවරුන් මාරු කිරීම සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න බලය තිබෙන්නේ පොලිස් කොමිසමට. කිසිම හේතුවක් නැතුව ස්ථානාධිපතිවරුන් 32 ක් මාරු කරලා තිබෙනවා. සීනියර් ඩීඅයිජීලා මාරු කරලා කිසිම හේතුවක් නැතිව.
කථානායක – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කාරක සභාවට මෙය යොමු කරලා මේ ප්‍රශ්නය විසඳගන්න ඕනා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා. මේ ස්වාධීන කොමිෂන් සභා පත් කරන්නේ ස්වාධීනත්වය, අපක්ෂපාතීත්වය, කාර්යක්ෂමතාව ශක්තිමත් කරන්නයි. නිර්දේශපාලනය තුළින් මේ රටේ යහපත් රාජ්‍යකරණයක යෙදෙන්නයි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් සංවරණ සහ තුලන ක්‍රමවේදය තුළ මේ රටේ පොලිස් සේවාව අපක්ෂපාතීව, ස්වාධීනව ක්‍රියාත්මක කිරීමට පොලිස් කොමිසමට අයිතිය ලබාදුන්නා. දැන් මේ වන විට මේ දැන් සිදු කරන මාරුකිරීම් පොලිස්පතිගේ තනි අතකට පැවරිලා තිබෙනවා. අපේ රට පොලිස් රාජ්‍යයක් නොවෙයි. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. පොලිස් කොමිසම ආණ්ඩුවේ රූකඩයක්, පඹයෙක් කරගන්න බෑ. පොලිස් කොමිසම සතු බලතල පොලිස්පතිවරයාගේ තනි අතට ගැනීම ගැන විපක්ෂයේ පොදු විරෝධතාවය පළ කරනවා.
චමින්ද විජේසිරි මහතා- ගයන්ත කරුණාතිලක මහතා ඇහුවේ මේ ගැන ආණ්ඩුවට යම් පැහැදිලි කිරීමක් කරන්න කියලයි. ඒත් කථානායකතුමා කිව්වේ කුමක්ද? ඔබතුමාලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවත් විකෘති කළා. ඒකට නොවෙයි ජනවරම දුන්නේ.
සුජීව සේනසිංහ මහතා- මේ ආණ්ඩුවේ සිටින අය නීතිය, ස්වාධීනත්වය වෙනුවෙන් සටන් කළ අය. විශේෂයෙන්ම ජනාධිපතිතුමා. නමුත් දැන් වෙන දේ බලන්න. මේ නිලධාරීන් පත් කිරීම ගත්තොත් අල්ලස් කොමිසමට, පොලිසියට කරන පත්කිරීම් ආණ්ඩුව තමන්ගේ අතට අරගෙන කටයුතු කරන්නේ. ඒකාධිපති වියරුවකින් ක්‍රියාත්මක වන ආණ්ඩුවක් ලෙස තමයි අප මෙය දකින්නේ. මේ ස්වාධීන කොමිෂන් සභා අපි ගෙනාවේ ඉතා අමාරුවෙන් සටන් කරලා. ජනතා අප්‍රසාදය එනවිට බලහත්කාරයෙන් පොලිසිය, හමුදාව පාවිච්චි කරලා ආණ්ඩු කරන්න දෙන්න නොවෙයි මේ කොමිෂන් සභා ගෙනාවේ. අප සමග සිටි සටන් සගයන් වන අනුර කුමාර දිසානායක ඇතුළු අය දැන් මේ කරන දේ ඉතාම බරපතළයි.
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා- ඔය ස්ථානාධිපතිවරුන් පත් කිරීම කර තිබෙන්නේ පොලිස් කොමිසමයි.
විපක්ෂය- නෑ… නෑ… නෑ.
පොලිස් කොමිසම තමයි ඔය මාරුවීම් කරලා තිබෙන්නේ, ප්‍රශ්නය තිබෙන්නේ කාටහරි අසාධාරණයක් වෙනවා නම් ඒ ගැන අභියාචනයක් කරන්න තැනක් නෑ.
දයාසිරි ජයසේකර මහතා- සභාව නොමග අරින්න එපා. ඔය කිසිම මාරුකිරීමක් පොලිස් කොමිසම කරලා නෑ.
රංජිත් මද්දුම බණ්ඩාර මහතා- පොලිස් සේවයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න තමයි පොලිස් කොමිසම පත්කළේ. ජනාධිපතිතුමා පසුගියදා කළුතර තිබුණු පොලිස් උත්සවයකදී පොලිස් කොමිසමට තර්ජනය කර තිබෙනවා. අදිමදි කරන්න එපා කියලා. ඒකාධිපතිවාදයට යන්නයි මේ හදන්නේ. මමත් හිටපු පොලිස් ඇමැතිවරයෙක්. අපි මේවාට ඇඟිලි ගහලා නෑ. ඒ නිසා මම ඉල්ලනවා ස්වාධීන කොමිෂන්වල බලය එලෙසම තියන්න කියලා. කොමිසමට පිටින් පොලිස්පති විසින් මාරුවීම් කර තිබෙනවා.
සුජීව සේනසිංහ මහතා- පොලිස් කොමිසමට බලතල තිබෙනවා කියලා නලින්ද ඇමැතිතුමාත් දැන් පිළිගත්තා. ඒකත් ගැසට් එකක් ගහලා කොමිසමේ සියලුම ස්ථාන මාරු පොලිස්පතිට භාර දෙන්න යන්නේ.
නලින්ද ජයතිස්ස මහතා- කොමිසම විසින් කැමැත්තෙන් එම බලය පවරනවා නම් එතනදී කාටහරි සිදුවන අසාධාරණයකට එරෙහිව අභියාචනා කරන්න කොමිසමකුත් තිබෙනවා. ඒ නිසා කවුරුත් ඒකට බයවෙන්න එපා. පොලිස් නිලධාරීන්ට අසාධාරණයක් නොවන ලෙසට අභියාචනා කරන්න පුළුවන් ලෙස තමයි මේ කටයුතු සිදු වෙන්නේ.
අදාළ විවාදය විපක්ෂයේ එකඟතාව ඇතිව ලබන සිකුරාදා (10දා) පස්වරු 3.30 සිට 5.30 දක්වා පවත්වන බව කථානායකවරයා පසුව නිවේදනය කළේය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන
Saru FM Media