රතු වරෙන්තු පනවන්නත් සූදානම්
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියට ගොස් මෙරටට නැවත නොපැමිණ රජයට කෝටි පහකට ආසන්න මුදලක් පාඩු කළ බව කියන සිද්ධියට අදාළ ක්‍රීඩකයන් දස දෙනකුට ඊයේ (17දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විදෙස් ගමන් තහනමක් පැනවීමට නියෝග කළේය.
සිද්ධියට අදාළ සැකකරුවන් දස දෙනාට රතු වරෙන්තු නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට දන්වා සිටියාය.
2022 වර්ෂයේදී එංගලන්තයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියට සහභාගිවීමට ගොස් එම තරගාවලියට සහභාගි නොවී ලංකාවට නැවත නොපැමිණ රජයට කෝටි පහකට ආසන්න මුදලක පාඩුවක් සිදුකළ බව කියන ක්‍රීඩකයන් දස දෙනකු සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන බව ක්‍රීඩා වැරදි විමර්ශන ඒකකය අධිකරණයට දන්වා සිටියාය.
ක්‍රීඩා ජනරාල් අධ්‍යක්ෂක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙහි විමර්ශන කටයුතු සිදු කරන බව විමර්ශන නිලධාරියා අධිකරණයට දන්වා සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ විමර්ශන නිලධාරියා සඳහන් කර සිටියේ තරගවලට සහභාගී නොවී සිදුකර ඇති මෙම දූෂණ චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩා දූෂණ වැළැක්වීම පනතේ 2019 අංක 24 පනතේ 5 සහ 6 වගන්ති යටතේ චෝදනා ගොනු කර ඇති බවයි.
එසේ විදෙස් ගමන් තහනම් පනවනු ලැබුවේ 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගි වූ අසේල ද සිල්වා, චමිලා දිලානි, එස්. චතුරංග, වයි. නික්ලස්, අශේන් රශ්මික, එස්. මලින්ත, ශ්‍රියන්තිකා ප්‍රනාන්දු, සංජීව රාජකරුණ, ජීවන්ත විමුක්ති කුමාර යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ය.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වූ ක්‍රීඩා වැරදි විමර්ශන විශේෂ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුපුන් විදානගේ සඳහන් කර සිටියේ, 2022 වර්ෂයේ ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩකාවන් 116 දෙනෙක් එම තරග සඳහා සහභාගී වූ බවයි.
ක්‍රීඩා වැරදි විමර්ශන විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුපුන් විදානගේ
“ස්වාමීනි, 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය පැවැත්වුණේ එංගලන්තයේ බර්මින් හෑම්වල. ඒකට ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩකාවන් 116 දෙනෙක් ගියා. ඒ සඳහා ක්‍රිකට් සමාගමෙන් කෝටියක් සහ ඉතුරු මුදල් රජයෙන් වියදම් කර තිබෙනවා. සාමාන්‍යයෙන් කෝටි පහකට ආසන්න මුදලක් මේ සඳහා වියදම් වී තිබෙන බවයි සඳහන් වන්නේ, ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 116ක්, පුහුණු අය 28ක් නිලධාරීන් 11 ක්, වෛද්‍ය නිලධාරීන් 4ක් මල්ලව පොර තරග සඳහා ක්‍රීඩකයන් 6 දෙනෙක්, ජූඩෝ සඳහා ක්‍රීඩකයන් 5 දෙනෙක්, බොක්ෂින් සඳහා ක්‍රීඩකයන් 8 දෙනෙක් සහ චොලිබෝල් සඳහා ක්‍රීඩකයන් 4 දෙනෙක් වශයෙන් එංගලන්තයට යවා තිබෙනවා.
“මෙම යවන ලද පිරිස අතරින් මල්ලව පොර සඳහා සහභාගි වූ ක්‍රීඩකයන් 3ක් ද, ජූඩෝ තරගයකට සහභාගි වූ ක්‍රීඩකයන් 2ක් ද, බොක්ෂින් සඳහා ගිය ක්‍රීඩකයන් 2ක් සහ වොලිබෝල් සඳහා ගිය ක්‍රීඩකයන් දෙන්නෙක් පලා ගොස් නැවත ලංකාවට පැමිණ නැහැ. මෙම ක්‍රීඩකයන් දහදෙනා සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.”
ස්වාමීනි රජයට විශාල පාඩුවක් කරමින් මොවුන් එම තරගවලටද සහභාගි නොවී එංගලන්තයේ සිටින බවටයි වාර්තා වන්නේ.
ස්වාමීනි මෙම සැකකරුවන්ට විදෙස් ගමන් තහනමක් පනවන ලෙස ඉල්ලා සිටින අතර රතු නිවේදන නිකුත් කිරීමටද බලාපොරොත්තු වන බව අධිකරණයට දන්වා සිටිනවා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ සැකකරුවන්ට විදෙස් ගමන් තහනමක් පැනවීමට නියෝග කෙරිණි.
ඒ. ජේ. ඒ. අබේනායක
සංස්කරණය – සුසිල් ජයකොඩි
Saru FM Media