පෙම්වතා වද දෙනවද?

0
11


කසුන් එක්ක ඉඳල මට දැන් එපාවෙලා තියෙන්නෙ”

අමා එහෙම කිව්වෙ පාරමිට. කසුන් එක්ක අමා යාලුවෙලා දැන් අවුරුද්දක් විතර ඇති. පොඩි පොඩි රණ්ඩු නොතිබ්බ නෙවි. ඒ උනාට ඉතින් මේ මෑතක ඉඳල සතියකට පාරක් විතර ඔහොම කතාවක් අහන්න වෙන බව පාරමී දැන් අත්දැකීමෙන් වගේ දන්නවා.

“ඇයි එහෙම කිව්වේ”

“මල වදයක් වෙලා තියෙන්නෙ අනේ මට එයාව”

මේක ඉතින් අමාට විතරක් නෙවෙයි අපේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්නේ. ඉතින් අන්න ඒ නිසාමයි මම හිතුවෙ ඔයාට පෙම්වතා වද දෙනවනම් ඒ ඇයි කියල පොඩ්ඩක් හොයල බලල තේරුම්ගන්න.

සමහරවිට එයාට මේ සම්බන්ධෙන් ගැලවෙන්න ඕන වෙලා වෙන්නත් පුලුවන්.

කෙනෙක් ඉතින් ගොඩක් වෙලාවට තව කෙනෙක්ට ඉන්න එක එපා කරනවනම් ඒකට බොහෝ වෙලාවට හේතුව වෙන්නෙ ඒ මනුස්සයට තවදුරටත් ඒ සබඳතාවයේ ඉන්න ඕන නැහැයි කියන එකනෙ. සමහරවිට ඔයාගෙ එයාටත් එහෙම ද දන්නෙ නෑ.

හැබැයි දැන් තමන් මුල්වෙලා “අනේ මේ සම්බන්ධෙ මට තවදුරටත් කන්ටිනිව් කරන්න බෑ” කියල කියන එක තමන් වරදකරු වීම බව දන්න නිසා ඔයාට වදදීලා, තුරුම්පු ටික අතට දීලා මිනිහගෙ ගැලවීමේ මාර්ගය ඔයාටම කියල හදාගන්න බලාගෙන ඉන්න කෙනෙක් වෙන්නත් පුලුවන්.

ඉතින් පොඩ්ඩක් හොඳට හිතල බලන්න මේ මනුස්සය මට වද දීලා ලබාගන්න හදන දේ මොකක්ද කියන එක ගැන.

ඔයාට වද දිදී ඉන්න කෙනෙක්නම්, උන්දැ එහෙම වද දෙන්නෙ ඔයාගෙන් ගැලවෙන්න බලාගෙනනම් ආයෙ ඉතින් අමුතුවෙන් කරන්න ඕන මොකද්ද කියල මම කියන්න ඕන නෑනෙ නේද?

ඇත්තටම ඉතින් එයා වදයක් වෙලා නම් අපි මොනවද කරන්න ඕන?

ඔක්කොම ප්‍රශ්න විසඳන්න ඉතින් කතාබස් කරල ඉන්න ඕනනෙ නේද? ඉතින් ඒක තමයි පලවෙනි පියවර. කොල්ල නෙවෙයි ඉතින් කවුරු උනත් මල වදයක් වීගෙන එනවනම් මුලින්ම ඒ අදාල පුද්ගලය එක්ක කතා බහ කරල වදයක් වෙන්න එපා කියන එක කියන්න ඕන.

වදයක් වෙන්න එපා කියලම මුලින් කියන්න ඕන නෑ. ඒ උනාට ඉතින් පොඩ්ඩ පොඩ්ඩ අගවන්න එයා නිසා තමන් ඉන්නෙ කරදරෙන් වග.

සමහර දේවල් තියෙනවනෙ අපි විසින් පෙන්නලම දෙන්න ඕන දේවල්. ඉතින් එහෙම දේවල් “අනේ එයාගෙ හිත රිදේවි” කියල හිතල නොපෙන්වා ඉන්න එපා. පෙන්නල දෙන්න. මොකද වැරදි හදාගන්න වැරැද්ද ඒ මනුස්සය දකින්න ඕනනෙ.

ඒ නිසා එයාගෙ යම් කිසි චර්‍යාවක්, ක්‍රියාවක් ඔයාව පොඩි හෝ අපහසුතාවයකට පත් කරනවනම් ආදරේ නිසා ඒ අපහසුතාවය විඳින්න හිතන්න එපා. කරුණාකරලා ඔයා ඉන්නෙ අපහසුතාවයෙන් බව පෙන්නල දෙන්න. එයාට ඒක තේරුම් ගන්න පුලුවන් නම් තේරුම් ගනිවී. නැත්තම් යාවි. ඒත් ඔයා එයා නිසා මුලු ජීවිත කාලෙම දුකෙන් අපහසුවෙන් ඉන්න හිතන්න එපා.

ආදරේ කියල තමන්ගෙ හිතේ සැනසීම නැතිකරගන්න එපා.

සබඳතාවයකදි මේක හරි වැදගත්. ගොඩක් සබඳතාවල ගැටලුව වෙලා තියෙන්නෙ මේ සීමාවන් පනවන්නෙ නැතිකම නිසා හැම එකාම හැම දෙයක් අස්සෙම රිංගන්න යන එකනෙ. අමතක කරන්න එපා සබඳතාවයක් ඇතුලෙ උනත් තමන්ට තමන් වෙන්න ඉඩක් තියෙන්නම ඕන.

මේ සීමාවන් ඔයාලා දෙන්නටම අපහසුවක් ඇති නොකරන සීමාවන් වෙන්නත් වගබලාගන්න. මේ සීමාවන් ඇතුලෙ ඔයාලා දෙන්නටම ඉඩ ලැබේවි ඔයාලා විසින් කල යුතු දේ, නොකල යුතු දේ මොනවද කියල තේරුම්ගන්න. එකිනෙකාගේ සිතුම් පැතුම් තේරුම් ගන්නෙ නැතුව එකිනෙකාට වදයක් නොවී ඉන්න බැරි බව ඉතින් තේරෙනවනෙ?

මෙහෙමයි එයා මල වාතයක් කියල ඉඩ ලැබිච්ච පලවෙනි වතාවෙම මිනිහගෙ ඔලුව කන්න හෝ, මනුස්සයව අතාරින්න යන්න එපා. ඕනම ප්‍රශ්නයක් හරියාකාරව තේරුම් අරගෙන හරි උත්තරයක් දෙන්න ඉතින් ටික කාලයක් යනවනෙ. ඒකට ඉවසීම වගේම කැපවීමත් වැදගත්. සමහර වෙලාවට එයා මේ විදියට හැසිරෙන්න එයාගෙ මනසට බාහිරව හෝ අභ්‍යන්තරව ඇති උන යම් බලපෑමක් නිසා වෙන්නත් පුලුවන්. ඉතින් ඒ දේ හොඳින් තේරුම් අරගෙන, එයාව ආයෙ හොඳ මාර්ගෙට එක්කගෙන එන්න පොඩි කැපකිරීමක් කරන්න ඔයාට ආදරේ වෙනුවෙන් පුලුවන් වෙන්නත් ඕන.

ඔයාගෙ වැරදි අඩුපාඩු එයාට වගේම, එයාගෙ වැරදි අඩුපාඩු පේන්නෙ ඔයාටනෙ. ඉතින් හොඳම දේ ඔය දෙන්නා එකිනෙකා එක්ක, තමන් අනිකගෙ දකින අඩුපාඩු කතා බහ කරන්න.

එතකොට ඔයාට පුලුවන් එයාට කියල දෙන්න ඔයාව අපහසුතාවයකට පත් කරන එයාගෙ හැසිරීම් මොනවද කියල. තරහගන්නෙ නැතුව, බැණගන්නෙ නැතුව එකිනෙකාගෙ වැරදි අඩුපාඩු, අනෙකා විසින් තවකෙක්ව අපහසුතාවයට පත් කරන දේවල් ගැන මේ විදියට කතාබස් කරල විසඳගන්න පුලුවන් වීම අපූරුයි.

මෙතනදි ප්‍රශ්නෙට උත්තර හොයාගන්න ඔයා එයාව වගේම එයාගෙ සිතුවිලි ක්‍රියාකරන විදිය තේරුම්ගන්න එක වැදගත්. සමහරවිට එයා මුල ඉඳලම පුරුදු වෙලා ඇත්තෙ අනුන්ට වද දිදී ජීවත් වෙන්න පුලුවන්. එහෙම නැත්තම් එයා මෙහෙම වෙනස් වෙලා තියෙන්නෙ වෙන කෙනෙක් විසින් කරන බලපෑමක් නිසා වෙන්නත් පුලුවන්. ඒත් ඉතින් ඔයාට ඒකෙන් ඔයාගෙ සැනසීම නැති කරගන්න බැහැනේ.

ඒ නිසා එයාගෙ ඔලුව වැඩ කරන්නෙ මොන විදියටද කියල පොඩ්ඩක් හොයල බලන එක, එයාගෙ හිතන විදිය තේරුම්ගන්න එක මේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න එක පහසු කරනවා.

ඕනම සබඳතාවයක අත්තිවාරය වෙන්නෙ තේරුම් ගැනීම, සවන් දීම සහ කැපවීම.

ඉතින් මේ වගේ වදකාරී පෙම්වතෙක් ඉන්න වෙලාවක උනත් මේ තුන හරියට තේරුම් අරගෙන, එයාගෙ ප්‍රශ්නෙට සවන් දීලා, එයාව වෙනස් කරගන්න පුලුවන්ද කියල බලන එක කරන්න උත්සහ කරන්න.

මොකද සමහරවෙලාවට අපි කෙන්ද කන්ද කරගන්නත් පුලුවන්නේ.

ඉතින් ඉවසන්න. ඉවසීමෙන් සැනසීම ලැබෙන බව ඇත්තක් වුනත් ඉවසීමත් පමණට වඩා නොකරන්නත් වගබලාගන්න!



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here