පුරෝගාමී සාහිත්‍යවේදී සමන් තිලකසිරි නැවත කියවීම

0
1

කෑගලු විද්‍යාලයෙන් බිහිවූ විශිෂ්ට ලේඛකයන් අතර දිවංගත සමන් තිලකසිරිට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ඔහු ලියූ ‘මල් ඔංචිල්ලා’ ළමා පොතට 1979 දී ජාතික ළමා වර්ෂ සාහිත්‍ය සම්මානය ද 1981 රාජ්‍ය ළමා සාහිත්‍ය සම්මානය ද හිමි විය. එමෙන්ම මෙරට මුල්ම ළමා සාහිත්‍ය සම්මානය සහ පළමු ත්‍යාගය ඔහු ලි ‘පාසල් ළමා ගී’ පොතට 1969 දී හිමිවූ අතර 1970 දෙසැම්බර් 11 වැනිදා අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය අතින් ඔහුට එම සම්මානය පිරිනැමිණි. සිංහල භාෂාවෙන් පළවූ පුවත්පත් කලාව විෂය පිළිබඳව හා පත්තරයක් එළිදක්වන්න මාධ්‍යවේදීන් කරන මහා සටන පිළිබඳව පළමු ග්‍රන්ථය ලියුවේද ඔහු විසිනි. 1962 වසරේදී ‘පුවත්පත් කලාව’ ග්‍රන්ථය ලියුවේ සමන් තිලකසිරි වියතාණන් විසිනි. එතුමන් දීර්ඝ කාලයක් ටයිම්ස් මන්දිරයෙන් එළි දැක්වූ ‘ලංකාදීප’ හා රසවාහිනි නියෝජ්‍ය කර්තෘවරයකු ලෙස ද කටයුතු කළේය. එවක ඔහු අලුත් පරපුරට අතහිත දුන් පත්තරකාරයකු ද වූයේය. ග්‍රන්ථ රාශියක් ලියූ ඔහුගේ ‘වැකි හුරුව’, ‘පුංචි මැණිකේ’ (ඉතිහාස ජනකතා), ‘පාසල් ළමා ගී’ ඇතුළු කෘති 4 ක් වත්මන් හා අනාගත පරපුර උදෙසා නව මුද්‍රණ ලෙස ඔක්තොම්බර් 5 වැනිදා උදේ 9.00 ට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ එළි මහන් වේදිකාවේදී සිදුවේ. පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි, තිලකරත්න කුරුවිට බණ්ඩාර එහි ප්‍රධාන ආරාධිතයන් වෙති. කවි ගීත කිහිපයක් ද එහිදී අසන්නට ලැබෙයි. සමන්ගේ දියණිය දුලානි තිලකසිරි සේනානායක, පුන්සර හා සජිත පුතුන් දෙපළගේ ද දායකත්වයෙන් මෙම ග්‍රන්ථ එළිදැක්වීම සිදුවෙයි.

මේ සමග පළවන්නේ සමන් තිලකසිරි පිළිබඳව කෘතහස්ත සාහිත්‍යවේදී කලා කීර්ති ඩබ්ලිව්.ඒ. අබේසිංහ තබා ඇති පුංචි සටහනකි.

සමන් තිලකසිරි 1928 අගෝස්තු මස 11 වැනි දින කෑගල්ලේ, දේවාලෙගම, නවගමුවේ උපත ලැබීය. පියා හේනක ආරච්චිල්ලාගේ අප්පුහාමි වන අතර, මව වූයේ බමුණු ආරච්චිල්ලාගේ ටිකිරි මැණිකේය.

පුරෝගාමී සාහිත්‍යකරුවකු හැටියට සමන් තිලකසිරිගේ වැදගත්ම සම්ප්‍රදානය සිදුවූයේ ළමා සාහිත්‍යයටය. එහිදු ළමා කවි සහ ගීත කලාවටය. ඔහු විසින් ලියා පළකරන ලද ළමා කව් ගී නිර්මාණ අතර විශේෂයෙන් කැපී පෙනෙන කෘතියක් හැටියට “සෙංකඩගල ඩෙං කුටුකුටු’ නමැති නිර්මාණ සංග්‍රහය ගෙනහැර දැක්විය හැකිය. ශ්‍රී ලංකාවේ මහ පෙරහැර හැටියට මුළු මහත් ලෝකයේම සම්භාවනාවට ලක්ව ඇති වාර්ෂිකව පැවැත්වෙන නුවර සිරි දළදා පෙරහැර ගැන දුවක හා මවක අතර සිදුවන සංවාදයක විලාසයෙන් ලිය වුණු එකී ගීතාත්මක නිර්මාණය සුවිශේෂ කෘතියකි. කවියාගේ නිර්මාණ කුසලතා පිළිබඳ සුළු ඉඟියක් හැටියට එකී නිර්මාණයෙහි මැද භාගයෙහි පැනෙන ගී කඩක් ඇද දක්වනු රිසියෙමි.

“පෙරහැර යන්නට පාරෙන් ඉඩකඩ
ගන්නයි ඒ කස පිපිරෙන්නේ
කසය ඇදී යන මානේ නොසිටම
කවුරුත් අයිනට වී ඉන්නේ

“පන්දම යන විට කස පිපිරෙන විට
පණිවිඩයකි ඉන් පැවසෙන්නේ
අන්න අන්න පොඩි දුවේ බලන්නකො
පෙරහැර ටික ටික ළං වන්නේ”

මුළු කාව්‍යය පුරාම දැකිය හැක්කේ එම සරල සුගම කව් – ගී නිර්මාණ රීතියමැයි.

ළමා කව් – ගී රචකයකුද, ළමා සාහිත්‍ය නිබන්ධකයකු ද හැටියට අපගේ සාහිත්‍ය ඉතිහාසය මත නොමැකෙන මුද්‍රාවක් තැබූ සමන් තිලකසිරි සූරීහු ප්‍රවීණ වෘත්තීය පුවත්පත් කලාවේදියකු හැටියට ද සිදුකළ සේවාව අනුස්මරණීය වෙයි.

දෙදහස වසරේ ජනවාරි මාසයේ පස්වැනි දින සිය දිවිසැරිය නිමාකළ මෙම පුරෝගාමී සාහිත්‍යකරුගේ නිර්මාණ සම්පත්තිය අනාගත පරපුරට දායාද කිරීම ජාතික වගකීමක් බැව් සඳහන් කරනු කැමැත්තෙමි. මෙම ප්‍රතිභාමත් නිර්මාණකරුගේ යශෝඝෝෂය අප දීපයෙහි චිරාත් කාලයක් පවතීවා යනු මගේ ප්‍රාර්ථනයයි.

කලාකීර්ති
ආචාර්ය ඩබ්ලිව්. ඒ. අබේසිංහ

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here