පුද්ගල සංවරය,රටට සිහිපත් කළ විනයධර භික්ෂු අනතුර

0
2

රටක් කම්පා කළ මැල්සිරිපුර ඛේදවාචකය

මෑත ඉතිහාසයේ ලොව බෞද්ධ ජනතාවගේ හද ප්‍රබල කම්පනයට පත් වූයේ අරන්තලාවේදී සිදුකළ භික්ෂු සමූල ඝාතනයයි.

අම්පාර දිස්ත්‍රික්කයේ අරන්තලාවේදී බහුතරයක් කුඩා සාමණේර භික්ෂූන් වහන්සේලා සමග භික්ෂූන් වහන්සේලා තිසිතුන් දෙනකු සහ සිවිල් වැසියන් සිව්දෙනකු ඝාතනය වූයේ 1987 ජූනි 2 වැනිදායි. මේ අතීතය යළිත් සිහි වූයේ, භික්ෂූන් වහන්සේලා හත් දෙනකු අපවත් වෙමින් සිදුවූ හදිසි අනතුර නිසායි.

කුමන අන්දමක විග්‍රහයක් වුවත්, එය පොදුජන මනස කලඹවාලූ තවත් මහා අනතුරක්. එය අදට නිමාවී දවස් හතරක්.

කුරුණෑගල පන්සියගම නා උයන ආරණ්‍ය සේනාසනය ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරවත් ප්‍රකට භාවනා මධ්‍යස්ථානයකි.

නාඋයනේ ආරණ්‍ය සේනාසනයට ගිය ඕනෑම අයෙකුට දැනෙන්නේ වෙනම ලෝකයකට ගියා වගේ හැඟීමක්. එය මුසාවක් නොවේ. දෙස් විදෙස් යෝගී ශාස්තෘවරුන් භාවනා කරන දසුන් මේ ආරණ්‍ය සේනාසනයේදී දැකගන්න පුළුවන්… ගිහි පින්වතුන්ද නැවතී භාවනා කිරීමට නිරන්තරයෙන් මෙම ස්ථානයට පැමිණෙනවා. නාඋයන ආරණ්‍ය සේනාසනය කියන්නේ ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවට අයත් වියක්ත, විශාරද, බහුශ්‍රැත, සුපේශල, ශික්ෂාකාමී, ධර්මධර, විනයධර භික්ෂූන් වහන්සේලා වැඩ වාසය කරන ශ්‍රී ලංකාවේ එකවර එකම ස්ථානයක් තුළදී වැඩිම උපසම්පදා භික්ෂූන් වහන්සේලා පිරිසක් වස් සමාදන් වන ආරණ්‍ය සේනාසනයයි.

මේ පුණ්‍ය භූමිය තුළ ඉකුත් 24 වැනිදා රාත්‍රියේ සිදුවූ අනතුර ගැන කතා කළහොත් එය නොසිතූ නොපැතූ මොහොතක සිදුවූ හදිසි අනතුරක්.

රාත්‍රි 9.00ට පමණ භික්ෂූන් වහන්සේ රැගත් ඩක්කුව කඳු මුදුනට ළඟාවීමට ආසන්න වෙමින් තිබියදී එයට යොදා තිබූ ආධාරක කම්බියක් කැඩී යෑම හේතුවෙන් උන්වහන්සේලා සමගම ඩක්කුව පහළට ඇදී ගොස් අනතුරට ලක්වී තිබුණා. ආරණ්‍ය සේනාසනයේ ඉහළ කොටසේ වනයේ මැද කන්ද ප්‍රදේශයේ වැඩ සිටි ස්වාමීන් වහන්සේලා විනය කර්මයක් සිදු කරන්න ආරණ්‍ය සේනාසනයේ පහළ ප්‍රදේශයට වැඩම කරලා. ඒ විනය කර්මය අවසන් වෙනකොට රෑ බෝ වුණ නිසා නැවත තමන් වහන්සේලාගේ කුටි සෙනසුන් බලා මැද කන්දට වැඩම කරන්න පිටත් වෙලා. රාත්‍රිය නිසාත් කඩිනමින් ගමන් කළ යුතු නිසාත් ආරණ්‍ය සේනාසනයේ තියන කේබල් ඩක්කුව භාවිතයෙන් වැඩම කරමින් සිටියදී යි අනතුරුව සිදුවී තිබෙන්නේ. ඩක්කුව ඉහළට ගමන් කිරීම සඳහා ඇදී යන කේබලය කැඩී යෑමෙන් අවාසනාවන්ත ලෙස ඩක්කුවෙහි වැඩම කළ ඒ පින්වන්ත අතිපූජනීය දහතුන් නමක් පමණ වන එම ආර්ය මහා සංඝරත්නය දරුණු ලෙස අනතුරට ලක්වුණා.

ඒ අතරින් ස්වාමීන් වහන්සේලා හත්නමක් අපවත් වූවා. රුමේනියාවේ ධම්මරංසි හිමි (47), රුසියාවේ ධම්මරක්ඛිත හිමි (34), ඉන්දියාවේ ධම්මගවේෂී හිමි (34), නාවලපිටිය උත්තරනන්ද හිමි (27), උඩවලවේ සත්තසුමන හිමි (41), නුගේගොඩ විපස්සී හිමි (37), මල්වානේගම සමිද්ධ හිමි (47) අපවත් වූ හිමිවරුන් අතර වනවා.

තවත් හය නමක් පමණ බරපතළ තුවාල ලබා රෝහල් ගත කරලා තිබුණා. තුවාල ලබා ප්‍රතිකාර ලබන හිමිවරුන් වන්නේ, ගල්නෑවේ පඤ්ඤාදීප හිමි (36), රාජගිරියේ ලෝකනිති හිමි (39), පොකුණුවිට තමරසමාහිත හිමි (26), උණපානේ චන්ද්‍රසිරි හිමි (35), පන්නිපිටියේ ඉන්ද්‍රභාෂිත හිමි, අනින්වත්තේ සරණංකර හිමි යන ස්වාමීන් වහන්සේලායි.

ඩක්කුව පහළට ඇද වැටෙන අවස්ථාවේ හිමිවරු දෙනමක් ඩක්කුවෙන් ඉවතට පැනීම නිසා දිවි ගලවාගෙන ඇති නමුත් උන්වහන්සේ ද තුවාල ලබා තිබුණා.

ප්‍රතිකාර ලබමින් සිටින භික්ෂූන් වහන්සේලා මේ මොහොතේත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

නා උයනේ සිදුවූ හදිසි අනතුරින් අපවත්වී වදාළ ස්වාමීන්වහන්සේලා හත් නමගෙන් විදේශීය හිමිවරුන් තුන්දෙනා වහන්සේගේ ආදාහන කටයුතු ද ශ්‍රී ලංකාව තුළම සිදුකිරීමට කටයුතු සූදානම් කරන බව අනතුර සිදුවී පැය විසි හතරක් ඇතුළත බුද්ධශාසන සහ ආගමික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

නාවිමන ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානයේ අධිපති පූජ්‍ය අඟුල්ගමුවේ අරියනන්ද නායක හිමිපාණන් වහන්සේ විසින් අපවත්වී වදාළ විදේශීය ස්වාමීන්වහන්සේලා තුන්නමගේ ආදාහන පූජෝත්සවය ලංකාව තුළම සිදුකරන්නට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලා ඇති බවද හෙතෙම දන්වා සිටියා. ඒ සම්බන්ධව නියෝජ්‍ය විදේශ අමාත්‍ය අරුන් ප්‍රේමචන්ද්‍ර අදාළ තානාපති කාර්යාල සමග සම්බන්ධ වී කටයුතු සම්පාදනය කිරීමේ වගකීම භාරගෙන ඇතැයි ද ඇමැතිවරයා කියා සිටියා.

නමුත් ඒ ඒ රටවල වෙසෙන භික්ෂූන් වහන්සේලා අපවත් වූ භික්ෂූන් වහන්සේලාගේ දේහයන් ඒ රටවලට ගෙන්වා ගැනීමට අවශ්‍ය බව ශ්‍රී ලංකාවට දන්වා තිබුණා.

අපවත් වූ හිමිවරුන්ගේ දේහයන් පිළිබඳ අධිකරණ තීන්දුව මත අපවත් වූ ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා සිව් දෙනමගේ ආදාහන කටයුතුයි, සෙනසුන්ගම විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විය යුතු බවට ද මෙය ලියන සිකුරාදා පස්වරුව වන විටත් යෝජනා වී තිබුණා.

කයින් මනසින් සංවරව හැසිරෙන විනයධර භික්ෂු දර භික්ෂූන් වහන්සේ නමකට ලබාදිය යුතු අති ගෞරව පූර්වකව රජය හැටියට කරන්න හැකි ඉහළම මැදිහත්වීම කරන්නට අපි කටයුතු කරනවා යැයිද අපවත්වී වදාළ සියලු දෙනා වහන්සේ වෙනුවෙන් නැවත වරක් ශෝකය සංවේගය පල කරනවා යැයි ද, ඒ වගේම අනතුරට ලක් වෙලා ප්‍රතිකාර ලබමින් සිටින ගරුතර ස්වාමීන්වහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.”කියමින් සුනිල් සෙනවි ඇමැතිවරයා ප්‍රකාශයක්ද නිකුත් කොට තිබුණා.

මේ සම්බන්ධයෙන් රාමඤ්ඤ නිකායේ මහානායක මකුලෑවේ විමල ස්වාමීන් වහන්සේ කරුණු දක්වමින් ප්‍රකාශ කොට සිටියේ, බුද්ධ දේශනයට අනුව නොහිතන මොහොතක තමන්ගේ ආයුෂ අවසන් වූ සිදුවීමක් ලෙස මෙය දැකිය හැකි බවයි. එහෙත් ආරක්ෂාව පිළිබඳව අවධානය නිති යොමු කළ යුතු බවද උන්වහන්සේ අවධාරණය කළහ.

ජීවිතයේ අනියත බව ජීවිතයේ අල්පේච්ඡ බව ධ්‍යානයට සම වදිමින් සිහිකළ මේ ස්වාමීන් වහන්සේලා මරුණානුස්සතිය පිළිබඳව ගැඹුරු අවබෝධයකින් පසු වූ පිරිසක් බව ආරණ්‍ය සෙනසුනෙහි වැඩ විසූ සෙසු භික්ෂූන් වහන්සේලාගේ ද අදහස වුණා.

මේ සම්බන්ධයෙන් සටහනක් තබමින්, ඉංජිනේරුවරයකු වූ ඊ. එම්. ඩබ්ලිව්. පී. බණ්ඩාර මහතා මුහුණු පොතෙහි මෙලෙස සටහනක් තබා තිබුණා. එය යම් තරමකට සංක්ෂිප්ත කරමින් මෙසේ දක්වන්නට සිතුවා.

“ඩක්කුවේ රැගෙන යා හැකි ධාරිතාව කිලෝ 500 කියලා ලියලම තියනවා. එතකොට මෙතන 13දෙනෙක් ඩක්කුවේ ගියා කියන්නේ එක්කෙනෙක් කිලෝ 50 වුණත් කිලෝ 650ක්. එතකොට එතනම ඩක්කුවට දරන්න පුළුවන් උපරිම බර පැටවිලනේ.

ඒ වගේම මේ ඩක්කුව සෑහෙන පරණ එකක්. ඒ වගේමයි නඩත්කුව, නඩත්තු කිරිල්ලත් සෑහෙන අවම මට්ටමක තමා තිබිලා තියෙන්නේ. ඊටත් වඩා මේකේ තිරිංග පද්ධතියකුත් නැති තරම්. ඒ වගේම ප්‍රධාන කේබලය කැඩුනාම ආරක්ෂාවට තියෙන්න ඕන අමතර කේබලයකුත් මේ ඩක්කුවේ නැහැ.

හැබැයි මේ ඩක්කුව දවසකට සෑහෙන වතාවක් පාවිච්චි වෙනවා. ප්‍රධාන වශයෙන්ම කන්ද උඩ භාවනායෝගීව ඉන්න ස්වාමීන්වහන්සේලාට දානය අරන් යන්නේ මේ ඩක්කුවේ.

දවසක් මම නාඋයනේ ආරණ්‍ය සේනාසනයට ගිය වතාවක මේ ඩක්කුවේ අවදානම ගැන ඔතන උන්න දායක මහත්තයෙක්ගෙන් ඇහුවා. ඒ මහත්තයා ගත් කටටම කීවා “රහසින් වත් පවක් නොකරන අපේ පින්වත් ස්වාමීන්වහන්සේලාට එහෙම කරදරයක් වෙන්නේ නෑ අපේ මහත්තයෝ” කියලා.

ඇත්තටම ඒක තමා ශ්‍රද්ධාවෙන් ඔද්දල් වුණ ශ්‍රද්ධාකාමී මනසක හැසිරීම. මට හිතෙනවා ඒ නිසාම වෙන්න ඇති නාඋයනේ ආරණ්‍ය සේනාසනයට උපකාර කරන දහස් ගණන් දායකයන්ගේ ඇස් මේ අවදානම දැක්කත් අන්ධ වතක් සැපිරුවේ. නාඋයනේ ආරණ්‍ය සේනාසනයේ දායකයන්ට මෙකක safety cable car එකකින් මේ ඩක්කුව replace කරනව කියන එක මහ දෙයක් නෙමෙයි. හැබැයි අවාසනාවකට ඒක මෙවැනි ව්‍යසනයක් වෙනකන් වුණේ නැහැ.

ඒ නිසා මිත්‍රවරුනි, මතක තියාගන්න රහතන්වහන්සේ නමක් වුණත් safety ගැන අනිවාරයෙන් ම සැලකිලිමත් වෙන්නම ඕන. ඒ වගේම, උන්වහන්සේලාගේ safety ගැන කැපකරු මහත්වරු ඊටත් වඩා සැලකිලිමත් වෙන්න ඕන…..”

අක්කර පන්දහසක පමණ වපසරියක පිහිටා තිබෙන මෙම ආරාණ්‍ය සේනාසනය සැබැවින්ම නිවුණු නිහඬ ධ්‍යානයට සමවැදීය හැකි පරිසරයක්. නිරන්තරවම සවනත වැකෙන්නේ රැහැයියන්ගේ හඬය. ගහකින් කොළයක් බිමට වැටෙන හඬ පවා ඇසෙන තරමට නිහඬ වූ පරිසරයක වැඩ විසූ මේ භික්ෂූන් වහන්සේලා මනස සුවපත් කොට විසූ පිරිසක් බව නැවත නැවතත් සිහිපත් කළ හැකිය. බුද්ධ දේශනයට අනුව උන්වහන්සේලා මේ මුහුණ දුන්නේ උන්වහන්සේලාගේම කර්ම ඵලයකට බව අපිද සිහිපත් කරගනිමු.

සමන්ති වීරසේකර

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here