පුංචි බබාලට හැදෙන උණ වලිප්පුව ගැන කරුණු

0
12


දරුවෙකුට අසනීප වෙනව කියන්නෙ දෙමව්පියන්ට හරිම හිත් වේදනාවක් ඇතිවෙන වගේම වැඩ රාජකාරි මහා ගොඩක් හිසමත පැටවෙන වැඩක්. දරුවගෙ බෙහෙත්, කෑම බීම, අනෙක් උවමනා එපාකම් වගේම පහසුව ගැනත් බලන්න ඕනනේ. ඒ අතරේ දරුවාට ඇතිවෙන්න පුළුවන් අතුරු ආබාධ සහ ඒවගේ බරපතලකම ගැනත් දැනගෙනම ඉන්න ඕන. ඒක නිසාමයි අපි මේ ලිපිය ලියන්න හිතුවේ. කුඩා දරුවන්ට වැළඳෙන උණ වලිප්පුව, එහෙමත් නැත්තම් අපිට හුරුපුරුදු වචනයෙන් කිව්වොත් ෆිට් එක කියල කියන්නෙ කිසිසේත්ම ප්‍රසන්න අත්දැකීමක්නම් නෙමෙයි. විශේෂයෙන්ම මේ අත්දැකීම පළමු වතාවට විඳින දෙමව්පිය යුවළකට. ඒක නිසාම මේ ෆිට් එක කියන වචනයවත් වයස අවුරුදු 5ට අඩු පුංචි ළමයි ඉන්න තැන්වල ඇහෙන්නවත් කියන්න හොඳ නැහැ කියලත් සමාජයේ මතයක් තියෙනව. ඉතින් අපි බලමු මොකක්ද මේ උණ වලිප්පුව සහ ඒ තත්ත්වය ඇතිවුණ වෙලාවට ක්‍රියාකරන්න අවශ්‍ය ආකාරය ගැන මේ විස්තරය කියවල.

 

1. උණ කියන්නේ මොකක්ද?

උණ ගැනනම් අපි මීට කලින් සවිස්තරාත්මකව කතාකළා. ඒ ලිපිය මෙතනින් බලාගන්න පුළුවන්. 

පොඩි දරුවෙකුට උණ හැදුන වෙලාවක දෙමව්පියන් කරන්න ඕන මොනවද?

සරලවම කිව්වොත් උණ කියල කියන්නෙ ආසාදන රෝගයක් හෝ වෙනත් හේතුවක් නිසා ශරීරයේ උෂ්ණත්වය සම්මත මට්ටමට වඩා ඉහළ යෑම. සාමාන්‍යයෙන් මනුස්ස ශරීරයේ සම්මත උෂ්ණත්වය විදිහට සැලකෙන්නේ සෙල්සියස් අංශක 37ක හෝ ෆැරන්හයිට් අංශක 98.6ක උෂ්ණත්වය. ඊට වඩා වැඩි සෑම අවස්ථාවකම හැබැයි උණ රෝගී තත්ත්වයක් කියල සැළකෙන්නේ නැහැ. විවිධ පාරිසරීය සාධක වගේම දිනචර්යාවේ වෙනස්කම් නිසාත් උෂ්ණත්වය පොඩි අගයකින් එහෙ මෙහෙ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සාමාන්‍ය වැඩුණු මිනිසෙකුගේ ශරීර උෂ්ණත්වයට වඩා පුංචි දරුවෙකුගේ ශරීර උෂ්ණත්වය තරමක් ඉහළයි. ඒ කියන්නෙ සාමාන්‍යයෙන් ෆැරන්හයිට් අංශක 97.9ත් 100.4ත් වගේ අගයක් තුළ පුංචි දරුවෙකුගේ ශරීර උෂ්ණත්වය පවතින්න පුළුවන්. ඒ නිසා හරියටම උණ රෝගී තත්ත්වයක් කියල කියන්නෙ ෆැරන්හයිට් අංශක 100.4 ට වඩා ඉහළ අගයක උෂ්ණත්වයක් ශරීරයේ පැවතුනොත් තමයි. 

මේ විදිහට උණ වැඩිවුණ අවස්ථාවක සිදු කරන්න අවශ්‍ය සියලු දේ අපි කලින් ලිපියෙන් කතා කරලා තියෙනවා.

 

2. උණ වලිප්පුව

උණ ගැන ලියවුණු කලින් ලිපියේ විස්තරාත්මකව අඩංගු නොවෙන හැබැයි අවදානමක් ඇති කාරණයක් තමයි මේ උණ වලිප්පුව කියල කියන්නෙ. කලිනුත් කිව්ව වගේ අපේ සමාජයේ මේ රෝගය ප්‍රසිද්ධ ෆිට් එක කියලයි. සාමාන්‍යයෙන් වයස මාස 4ත් අවුරුදු 6ත් අතරතුර වයසේ පුංචි දරුවන්ට තමයි මේ උණ වලිප්පුව කියන තත්ත්වය ඇතිවෙන්නේ. ශරීරයේ උෂ්ණත්වය අධිකව වැඩිවීමත් එක්ක කලාතුරකින් ඇතිවෙන තත්ත්වයක් තමයි මේ උණ වලිප්පුව. ඇත්තටම මේක රෝගී තත්ත්වයක් නෙමෙයි. ශරීරයේ උෂ්ණත්වය ඉහළ යාමට මොළය දක්වන ප්‍රතික්‍රියාවක්. මේ විදිහට වලිප්පු තත්ත්වයක් සාමාන්‍යයෙන් විනාඩියකට අඩු කාලයක ඉඳලා උපරිම විනාඩි 10-15 ක් දක්වා පවතින්න පුළුවන්. 

 

3. උණ වලිප්පුවේ ප්‍රධාන වර්ග

 මේ උණ වලිප්පුවේ ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා.

  • සරල උණ වලිප්පුව

සරල උණ වලිප්පුවේදී මුළු ශරීරයම ගැහෙන්න පටන් ගන්නවා. වලිප්පු තත්ත්වය උපරිම විනාඩි 15ක් වගේ කාලයකදී නවතිනවා වගේම පැය 24ක් ඇතුළත එක් වරක් පමණයි සාමාන්‍යයෙන් ඇතිවෙන්නේ.

 

  • සංකීර්ණ උණ වලිප්පුව

මේ සංකීර්ණ උණ වලිප්පුවේදී ශරීරයේ එක කොටසක් පමණක් ගැහෙනවා දකින්න පුළුවන්. වලිප්පු තත්ත්වය විනාඩි 15කට වඩා වැඩි කාලයක් රැඳෙනවා වගේම පැය 24ක් ඇතුළත කීපවාරයක් ඇතිවෙන්න පුළුවන්.

 

4. රෝග ලක්ෂණ

අපි කලින් කිව්වනේ ඇත්තටම මේ උණ වලිප්පුව කියන්නෙ රෝගයක් නෙමෙයි කියල. ඉතින් රෝග ලක්ෂණ කිව්වට ඇත්තටම මේ කියන්න යන්නෙ උණ වලිප්පුව එහෙමත් නැත්තම් ෆිට් එක හැදුනහම දකින්න පුළුවන් පොදු ලක්ෂණ.

  • ඇස් උඩ යෑම.
  • අතපය රිද්මයානුකූලව ගැස්සීම.
  • දතකට පූට්ටු වීම.
  • ඇඟ දරදඬු වීම.
  • කටින් සෙම දැමීම.
  • මළ/ මුත්‍රා පිටවීම.

 

5. ප්‍රථමාධාර

මේ අවස්ථාවේ කලබල නොවී දරුවාට අවශ්‍ය ප්‍රථමාධාර ලබාදීම ඉතාම වැදගත්. සීතල වතුරෙන් තෙමීම, ඉහළට සිටින සේ එසවීම, කටට යම් යම් දෑ ඇතුළු කිරීම වගේ දේවල් කරන්න එපා. ඒවා ඉතාම අනතුරුදායකයි.

  • වලිප්පු තත්ත්වය සමනය වනතුරු දරුවා වම් ඇලයට හරවා තබන්න. කටින් පිටවෙන සෙම නැවත පෙනහළු කරා ගමන් කිරීම වැළැක්වීමටයි මේ පියවර අනුගමනය කරන්නෙ.
  • වලිප්පු තත්ත්වය සමනය වුණු වහාම දරුවා ලඟම වෛද්‍ය මධ්‍යස්ථානය වෙත රැගෙන යන්න. විනාඩි 5ට වඩා වලිප්පු තත්ත්වය පවතින්නේනම් වම් ඇලයටම තබාගෙන වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න රැගෙන යන්න. 

 

6. භාරකරුගේ කාර්යයභාරය

කලිනුත් කිව්වනේ මේ වගේ අවස්ථාවකදී මව්පියන් හෝ දරුවාගේ භාරකරු කළබල නොවී සිහි බුද්ධියෙන් කටයුතු කිරීමයි වැදගත් කියල. මොකද උණ වලිප්පුව කියන්නෙ රෝගී තත්ත්වයක් නොවුණට වලිප්පුව සෑදී ඇදවැටෙන අවස්ථාවේ දරුවාට හානියක් වෙන්න පුළුවන්. ඒ වගේම වලිප්පුව අවස්ථාවේ ගන්න වැරදි පියවරක් නිසාත් හානි ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා මුල්ම වැදගත් කාරණය තමයි ෆිට් එක හැදීම වළක්වාගන්න එක වගේම උණ රෝගයෙන් පෙළෙන දරුවෙකු නිතරම දැඩි අවධානයෙන් රැකබලාගන්න එක.

ඊළඟ ලොකුම කාර්යය තමයි දරුවාට උණ වලිප්පුව ඇතිවුන අවස්ථාවේදී කලබල නොවී අවශ්‍ය කටයුතු සිදුකරන එක. ඒ වගේම ඒ අවස්ථාවේ නොකළයුතු දෑ සිහියේ තබාගෙන ක්‍රියාකරන එක. 

 

7. වළක්වාගත හැකි ක්‍රම

මේ උණ වලිප්පුව ඇතිවෙන්නේ තද උණ තත්ත්වයක් යටතේ. ඉතින් වලිප්පුව ඇතිවීම වළක්වන්න නම් කරන්න ඕන උණ ඇතිවීම හෝ උණ වැඩිවීම වැළැක්වීමයි. උණ වැළඳිලා පළමු පැය 48, ඒ කියන්නෙ මුල් දින දෙක තුළ තමයි මේ උණ වලිප්පු තත්ත්වය ඇතිවීමේ වැඩි අවදානමක් තියෙන්නේ. ඉතින් එවැනි උණ තත්ත්වයක් පවතින විට දියර වර්ග පානයට ලබාදීම, ඇඟ සිසිල් කිරීම වගේ ක්‍රියාවන්ගෙන් උණ තත්ත්වය පාලනය කරන්න පුළුවන්. මේ සියළු කරුණු අපි කලින් ලිපියෙන් කතා කරල තියෙනවා. 

ඊට අමතරව නිතර වැළඳෙන උණ තත්ත්වයන් මඟහරවා ගන්න දරුවාට ප්‍රතිශක්තිය වැඩෙන ආහාරපාන ලබාදෙන්න, නියමිත කාලයට ප්‍රතිශක්තිකරණ එන්නත් එහෙම ලබාදෙන්නත් අමතක කරන්න එපා. 

 

The post පුංචි බබාලට හැදෙන උණ වලිප්පුව ගැන කරුණු appeared first on Lifie.LK.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here