Tuesday, May 6, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් පුංචි ඡන්දෙට දින 03 යි – අද (4) රෑ සිට නිහඬ කාලය

පුංචි ඡන්දෙට දින 03 යි – අද (4) රෑ සිට නිහඬ කාලය

0
6


3-days-until-the-by-election-silence-period-from-tonight-4

මේ මස 6 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ සියලූ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැහැදිලි කළේ, නිහඬ කාලය ආරම්භ වූ පසු කිසිදු අපේක්ෂකයෙකුට පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව කිසිදු ප්‍රචාරක කටයුත්තක් සිදු කිරීමට අවස්ථාව නොමැති බවයි.

මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව ඉහළ යමින්

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අඛණ්ඩව පැමිණිලි ලැබෙමින් පවතින අතර, ඒ සම්බන්ධයෙන් නිසි කටයුතු සිදු කරමින් සිටින බව කොමිෂන් සභාව පවසයි.

රජයේ සේවා අත්හිටුවීම

පළාත් පාලන ඡන්ද විමසීම හේතුවෙන් ලබන මැයි 6 වනදා සහ 7 වනදා යන දෙදින පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සහ පළාත් කාර්යාලවල එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් ක්‍රියාත්මක නොවන බව දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

එමෙන්ම, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ද මැයි 6 සහ 7 යන දිනවලදී විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවාවන් සැපයීම සීමා කිරීමට තීරණය කර ඇත. එක්දින සේවය සඳහා ක්‍රියාත්මක වූ පැය 24 සේවාව එම දිනවලදී ක්‍රියාත්මක නොවන බව ද මහජනතාව දැනුවත් කර තිබේ.


මත්පැන් අලෙවිසැල් වැසීම

සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අනුමත බලපත්‍ර සහිත ස්ථාන හැර දිවයිනේ අනෙකුත් සියලූම සුරා සැල් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන ලබන මැයි 6 වනදා වසා දැමෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

සංචාරක සංවර්ධන අධිකාරිය විසින් අනුමත කරන ලද බලපත්‍ර ඇති ස්ථාන හැර අනෙකුත් සියලුම සිල්ලර මත්පැන් අලෙවිසැල් මැයි 6 වැනිදා වසා දමන බවද දෙපාර්තමේන්තුව පවසයි. පළාත් පාලන මැතිවරණය හේතුවෙන් මෙසේ මත්පැන් අලෙවිසැල් වසා තැබීමට කටයුතු කරන බව පැහැදිලි කර ඇත.

නිහඬ කාලය – නිදහස් තීරණ ගැනීමේ අවස්ථාව

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක මැතිවරණ නිහඬ කාලය තුළ ඡන්ද දායකයාට තම කොට්ඨාසයට පත් කර ගන්නා මහජන නියෝජිතයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නිදහස් පරිසරයක් නිර්මාණය කරදෙන ලෙස සියලුම අපේක්‍ෂකයින්ගෙන් ඉල්ලා සිටින බව නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා වූ ජනතා ක්‍රියාකාරී බලකාය (පැෆ්රල්) කියා සිටී.


මැතිවරණ නිරීක්ෂණ කටයුතු

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ, සිය සංවිධානයේ මැතිවරණ නිරීක්‍ෂණ කටයුතු සඳහා නිලධාරීන් 3,000කට ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා යෙදවීමට සැලසුම් කර ඇති බවයි. මෙම නිරීක්‍ෂකයින් මැතිවරණයේ සාධාරණත්වය සහ නිදහස සුරැකීම සඳහා වගකීමක් ඉටු කරනු ඇති බව ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයා වියට්නාමයේ සිට ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතයි

මැයි 6 වැනිදා වියට්නාමයේ ඇරැඹෙන ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාරම්භක අවස්ථාවට සහභාගී වී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නැවත ලංකාවට පැමිණෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර ඇත.

“වියට්නාමයේ ජාත්‍යන්තර වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙසයි මම යන්නේ. හය වෙනිදා උදේ අටට ඒ අවස්ථාව තිබෙනවා. එදා ලංකාවේ ඡන්ද විමසීමයි. ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාරම්භක අවස්ථාව අවසන් වන විට මෙහි වේලාවෙන් දහය පමණ වනු ඇත. වියට්නාම් ගමන සඳහා ගමන් පහසුකම් සලසන ලෙස ඔවුන් එකඟතාව පළ කළා. මම එහි සිට ඡන්දය ප්‍රකාශ කිරීමට එනවා,” යනුවෙන් රූපවාහිනී සාකච්ඡාවකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේය.


මැතිවරණ නීති උල්ලංඝනය – අපේක්ෂකයින් අත්අඩංගුවට

පළාත් පාලන ඡන්ද විමසීමට ඉදිරිපත්වී සිටින තවත් අපේක්ෂකයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ පෙරවරු 6 සිට අද පෙරවරු 6 දක්වා කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ඇතුළු පැමිණිලි සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත.

ගෙවුණු පැය 24 තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මැතිවරණයට අදාළව අපරාධමය පැමිණිලි 08ක් සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධ පැමිණිලි 27ක් ලැබී ඇත. එම පැමිණිලිවලට අදාළව අපේක්ෂකයින් 05 දෙනෙකු සහ දේශපාලන පක්ෂ ආධාරකරුවන් 22 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ දක්වා පොලීසිය විසින් අපේක්ෂකයින් 43 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 233ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here