බෙදාහැරීමේ ජාලයත් සම්පූර්ණයෙන් අල්ලයි
කොළඹට ගේන්න සැලසුම් කළේ ගාලු පාරෙන්
අතිශය සුන්දර වූ කිරින්ද මුහුදු තීරය අපට ඓතිහාසික වටිනාකමක් තිබෙන වෙරළ තීරයන්ගෙන් එකකි. ඒ පුරාවෘත්තවල සඳහන් වන ආකාරයට කාවන්තිස්ස රජු විසින් සිය දියණිය වූ විහාරමහා දේවිය මහ මුහුදට බිලිදීමෙන් පසු ඇය නිරුපද්‍රිතව මේ මුහුදු තීරයෙන් රුහුණු දේශයට ගොඩබට නිසාය.
මේ ඓතිහාසික වෙරළ තීරය ලක්ෂ සංඛ්‍යාත රටවැසියන්ගේ නොමද ගෞරවයට පාත්‍ර වූ ස්ථානයක් බවට පත්ව ඇත්තේ මේ විහාරමහා දේවියගේ පුරාවෘත්තයත් සමගය. මේ මුහුදු තීරය නැරඹීමට එන එහි සුන්දරත්වය විඳ ගැනීමට එන ජනතාව අති විශාලය.
එහෙත් අද වනවිට ඒ සුන්දර කිරින්ද වෙරළ තීරය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ පාරාදීසයක් බවට පත්වී හමාරය.
විදේශගතව සැඟවී සිටින මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය තොග පිටින් එවන එක් මුහුදු තීරයක් බවට කිරින්ද පත්ව තිබෙයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා දකුණු පළාත භාරව පත්වීමත් සමගම රට තුළට මත්ද්‍රව්‍ය තොග පිටින් ඇතුළුවන ප්‍රධාන මුහුදු තීරයන් අවට දැඩි ආරක්ෂාවක් යෙදවීමට කටයුතු කළේය.
ඒ ආරක්ෂක වැඩපිළිවෙළවල් නිසා පසුගිය කාලය පුරාවටම මේ ප්‍රදේශවලින් මත්ද්‍රව්‍ය ටොන් ගණනින් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් සමත් වූහ.
මේ දිනවල පාතාල මැරයන්ට මෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ගේ ප්‍රධානම හතුරා බවට පත්ව සිටින්නේ පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ රොහාන් ඕලුගල මහතාය. මෙරට පාතාල නමගිය අපරාධකාරයන් රැසක් විදේශ රටවලට ගොස් කුදලාගෙන ඒමට මූලිකත්වය ගෙන කටයුතු කළ ඕලුගල මහතා මේ වනවිට රටේ අතිශය ජනප්‍රියම පොලිස් නිලධාරියා වී හමාරය.
ඒ නිසාම රොහාන් ඕලුගලගේ ජංගම දුරකථනය වෙත හතර දිග්බාගයෙන්ම තොරතුරු ගලා එන්නට විය. මත්ද්‍රව්‍ය ජාවාරම්වලටත් පාතාල අපරාධකාරයන්ටත් එරෙහිව සිටින නීතිගරුක පුරවැසියන්ගෙන් මෙන්ම විවිධ අපරාධකාරයන්ගෙන් පවා ඕලුගලට තොරතුරු ගලාගෙන ආවේය.
ඕලුගලට ඔත්තුවක්
එවැනි ඉතාම වැදගත් තොරතුරක් මීට දින කීපයකට උඩදී රොහාන් ඕලුගලගේ ජංගම දුරකථනයට ලැබී තිබිණි. රොහාන් ඕලුගලට දුරකථනයෙන් කතාකර තිබුණේ තිස්සමහාරාම ප්‍රදේශයේ බහුදින යාත්‍රා ධීවරයකු විසින්ය.
මේ ධීවරයා රොහාන් ඕලුගලගේ ඔත්තුකරුවකු ලෙස කලක් කටයුතු කළ අයකු නිසා ඔහු ලබාදෙන තොරතුරු විශ්වාසවන්ත විය.
“සර්… දවස් ගාණක මුහුදු රස්සාව කරලා ඊයේ තමයි මම ගොඩබිමට ආවෙ. මුහුද මැද්දෙදී අපට ලොකු ටෝලර් එකක් හම්බ වුණා. ඒක ලංකාවෙ එකක් නෙවෙයි. හැබැයි අපේ පළාතෙන් ගිය පොඩි බෝට්ටුවකුත් එතන තිබුණා. මොකක් හරි ලොකු බිස්නස් එකක් එතන වෙන බව මට තේරුණා.
මම දන්න කොල්ලෙක් හිටියා එක බෝට්ටුවක. මට මේ ගැන ලොකු සැකයක් ආවා. ගොඩබිමට ඇවිත් මම ටිකක් මේ ගැන විපරම් කරලා බැලුවා. බඩු ලෝඩ් එකක් තව දවස් දෙක තුනකින් ගොඩට එන්න තියන බව තමයි මට දැනගන්න ලැබුණෙ. සර් මේ ගැන ටිකක් හොයලා බලන්න.
අපි කාලයක් තිස්සේ මුහුදු රස්සාව කරන මිනිස්සු. ඔය දහදුරා වැඩ කරලා අපිට සල්ලි හම්බ කරලා වැඩක් නැහැ සර්. අපි මේවට විරුද්ධයි. ඒකයි මම සර්ට මේ ගැන කියන්නෙ මගේ ජීවිතේ ගියත් කමක් නැහැ කියලා…”
ධීවරයා ලබාදුන් තොරතුර අතිශය වැදගත් එකක් විය. රොහාන් ඕලුගල එතැන් සිට මේ කර්තව්‍යයට අත ගැසුවේය. රොහාන් ඕලුගල කලක් වැලිගම පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කරද්දී දැන හඳුනාගත් ඔත්තුකරුවන් රැසක් මේ ප්‍රදේශවල ජීවත් වූහ.
ඔවුන්ගේ මාර්ගයෙන් මේ තොරතුර ගැන රොහාන් ඕලුගල විපරම් කරන්නට වුණේය. දින කීපයක මෙහෙයුමකින් පසුව ඉතාම වැදගත් තොරතුරු රැසක් හෙළිකරගන්නට රොහාන් ඕලුගල සමත් වුණේය.
දැඩි වෙහෙසකර ක්‍රියාවලියකින් පසු සොයාගත් සියලු තොරතුරු තම උසස් නිලධාරීන් වෙත ලබාදී අවශ්‍ය උපදෙස් ලබාගන්නට රොහාන් ඕලුගල මහතා කටයුතු කළේය.
ඒ අනුව බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න යන මහත්වරුන් දැනුවත් කළ රොහාන් ඕලුගල මෙම මත්ද්‍රව්‍ය තොගය වැටලීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා ගත්තේය.
මේ සියලු තොරතුරු පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ලබාදීමට ද උසස් පොලිස් නිලධාරීන් කටයුතු කළෝය. ඒ අනුව පොලිස්පතිවරයා ඍජුවම රොහාන් ඕලුගලට කතා කර මෙහෙයුම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර දුන්නේය. තමන් අනාවරණය කරගත් සියලු තොරතුරු නොසඟවා පොලිස්පතිවරයා වෙත ලබා දෙන්නට රොහාන් ඕලුගල කටයුතු කර තිබුණේය.
“සර් මේ බඩු ඩුබායි රන් මල්ලිගෙ… මිනිහා තමයි දැන් ලංකාවට මත්ද්‍රව්‍ය එවන මේන් ඩීලර්. මේ බෝට්ටුවෙ අයිස් මත්ද්‍රව්‍ය ලොකු ප්‍රමාණයක් තියනවා. මේ බඩු රන්මල්ලිටයි අංගොඩ ප්‍රියංකරටයි අයිති ඒවා. මේක බාන්න සෙට් කරලා තියෙන්නෙ කිරින්ද මුහුදු වෙරළෙ. බොහෝවිට 11වැනිදා රෑ හරි 12 වැනිදා පාන්දර හරි බඩු ටික බානවා. අපි හොඳ ඔපරේෂන් එකක් දැම්මොත් බඩුත් එක්කම ඩ්‍රග්ස් ඩීලර්ස්ලා ටිකක් ගන්න පුළුවන්.”
රොහාන් ඕලුගල පොලිස්පතිවරයාට සියලු තොරතුරු ලබා දුන්නේය.
“අපි මේ හැම දෙයක්ම බොහොම රහසිගතව කරන්න ඕනෙ. මොකද මේ ඩ්‍රග්ස් ඩීලර්ස්ලාගෙ ඉන්ෆෝමන්ස්ලා හැම තැනම ඉන්නවා. පොලිසිය ඇතුළෙත් ඉන්නවා. ඒ නිසා මේ වැඩේ කිසි කෙනෙක්ට නොදැනෙන විදිහට කරන්න ඕනෙ”
මෙහෙයුම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදුන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාව ද මෙම මෙහෙයුමට සම්බන්ධ කර ගත්තේය.
පසුගිය දිනවල දකුණු පළාතේ සිදුකළ මහා පරිමාණ මත්ද්‍රව්‍ය වැටලීම් රැසකට නායකත්වය දී හසල දැනුමක් ලබා ගෙන සිටි කිත්සිරි ජයලත් මහතා ද මෙම මෙහෙයුම සඳහා සිය පූර්ණ දායකත්වය ලබාදීමට ඉදිරිපත් වුණේය.
දින කීපයක් තිස්සේ මෙහෙයුම සඳහා අවශ්‍ය කරන සියලු කටයුතු පිළිබඳව රොහාන් ඕලුගල සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා අතර දුරකථනයෙන් සාකච්ඡා පැවතුණේය.
ඒ සියලු සාකච්ඡා ඉතාම රහසිගත අන්දමින් සිදු කෙරිණි.
“මේ ඔපරේෂන් එක ක්‍රියාත්මක වෙනකල් මේක අපි දෙන්න අතරේ විතරක් තියාගන්න ඕනෙ. මොකද මේ පළාත්වල ඉන්න සමහර දූෂිත නිලධාරීන් ගැන කිසිම විශ්වාසයක් නැහැ. මේ වගේ වැදගත් තොරතුරක් ලැබිලත් අපට මේ වැඩේ හරියට කරගන්න බැරි වුණොත් වැඩක් නැහැ. ඒ නිසා හැමදේම අපි රහසිගතව කරන්න ඕනෙ.”
කිත්සිරි ජයලත් මහතා ඇතිවී තිබෙන තත්ත්වය පැහැදිලි කර රොහාන් ඕලුගලට උපදෙස් ලබා දුන්නේය.
“සල්ලිවලට ඕනෙ දෙයක් කරන්න පුළුවන්. මිනිස්සු විතරක් නෙවෙයි අපි අතරේ ඉන්න සමහර පොලිස් නිලධාරීනුත් ඉන්නවා. ඒ නිසා හැමදේම කල්පනාවෙන් කරන්න ඕනෙ.”
කිත්සිරි ජයලත් මහතා මත්ද්‍රව්‍ය මෙහෙයුම සඳහා අවශ්‍ය සියලු කටයුතු නොපිරිහෙලා ඉටු කිරීමට සැලසුම් කළේය.
ඒකාබද්ධ රහසිගත මෙහෙයුම

මෙම මෙහෙයුමේ විශේෂත්වය වූයේ පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සහ තංගල්ල කොට්ඨාසයේ නිලධාරීන් එකම කණ්ඩායමක් ලෙස සම්බන්ධ වී මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමය.
“සර්… මේ ඉන්ෆොමේෂන් එක හරියටම හරි. 12 වැනිදා පාන්දර වෙනකොට බඩු කිරින්දට ගොඩ බානවා. අපි හරි ප්ලෑන් එකකට වැඩ කළොත් ඩ්‍රග්ස් ඩීලර්ස්ලා එක්කම බඩු ටිකත් ගන්න පුළුවන්.”
රොහාන් ඕලුගල දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාට කීවේය. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝග මත තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිපුන දෙහිගම මහතා ඇතුළු උසස් නිලධාරීන්ගෙන් සැදුම්ලත් විශේෂ කණ්ඩායමක් කැඳවා තංගල්ල ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.
තංගල්ල කොට්ඨාසයේ මාර්ග බාධක යොදා සැක කටයුතු වාහන පරීක්ෂා කර ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට කිත්සිරි ජයලත් මහතා තම සහෝදර නිලධාරීන්ට උපදෙස් ලබා දුන්න ද පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමග ක්‍රියාත්මක කර තිබෙන මත්ද්‍රව්‍ය මෙහෙයුම ගැන කිසිවක් හෙළි නොකිරීමට වගබලා ගත්තේය.
ඒ වනවිට මෙහෙයුම සඳහා පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද තිස්සමහාරාමයට පැමිණ සිටියහ.
කිත්සිරි ජයලත් මහතා දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස පත්වීමෙන් පසු ප්‍රදේශය පුරා රාත්‍රියේ මෙන්ම අලුයම් කාලයේ හදිසි මාර්ග බාධක මෙහෙයුම්, වාහන පරීක්ෂා කිරීම්, පාමුර සංචාර ඇතුළු ආරක්ෂක මෙහෙයුම් රැසක් ගෙන තිබුණේය.
ඒ අනුව තංගල්ල දිස්ත්‍රික්කය තුළ පමණක් මුහුදු තීරය ආශ්‍රිතව සහ ඒ අවට දෛනිකව මාර්ග බාධක සියයකට අධික ප්‍රමාණයක් යෙදවීමට කටයුතු කර තිබිණි.
ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවෙන් පසු 11 වැනිදා දහවල් සිට තංගල්ල පොලිස් කොට්ඨාසය තුළ පමණක් හදිසි මාර්ග බාධක 190ක් ක්‍රියාත්මක කිරීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිපුන දෙනිගම මහතා කටයුතු කළේය.
11 වැනිදා රාත්‍රිය වනවිට මෙහෙයුම සඳහා සියල්ල සූදානමක් කර තිබුණේය. තිස්සමහාරාම කිරින්ද ප්‍රදේශයට පැමිණි රොහාන් ඕලුගල මහතා ඇතුළු නිලධාරීන් ආරක්ෂිත ස්ථානවල රැකවල්ලාගෙන සිටියහ.
මේ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා නිරතුරුවම රොහාන් ඕලුගල සමග දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙමින් අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.
අන්තිම ඔත්තුව

“සර්…. මට දැන් අන්තිම ඉන්ෆොමේෂන් එකත් ආවා. බඩු ටික බාන්නේ කිරින්ද ඇඳගල වෙරළට… අයිස් මත්ද්‍රව්‍ය ලොට් එකක් ඇවිත් තියෙන්නේ. මේ බඩු තිස්සමහාරාම මුහුදට ආසන්න ගැඹුරු මුහුදේදී අපේ බෝට්ටුවකට පටවලා තියනවා. එතන ඉඳලා ඒ බෝට්ටුව කිරින්දට කිලෝමීටරයක් විතර ආසන්නයට ඇවිත් අයිස් ලොට් පැක්කරලා තියන පාර්සල් මුහුදට දානවා.
ඒ පාර්සල් එකකට එකක් කඹවල බැඳලා තමයි මුහුදට දාන්නේ. එතන ඉඳලා මේ ඩ්‍රග්ස් ඩීලර්ස්ලගේ කෙනෙක් මේ කඹයත් ඇඳගෙන ගොඩබිමට පීනලා එනවා. එතකොට කාටත් නොදැනෙන්න අයිස් ටික පාර්සල් කරපු මලු ටික ගොඩට එනවා. රොහන් ඕලුගල තමන්ට ලැබුණු අවසන් තොරතුරත් කිත්සිරි ජයලත් මහතාට ලබා දුන්නේය. 11 වැනිදා මධ්‍යම රාත්‍රිය ගෙවී යමින් තිබුණේය. කිරින්ද මුහුද නිශ්චලය. ඝන අන්ධකාරය මුළු පළාතම ගිලගෙන හමාරය. අන්ධකාරය මැදින් රොහාන් ඕලුගල ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් පාගමනින්ම කිරින්ද ඇඳගල වැල්ල දෙසට ගමන් කරන්නට වූහ.
මුහුදින් රැගෙන එන මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල් පටවාගෙන යෑමට ජාවාරම්කරුවන් පිරිසක් සැදී පැහැදී සිටින බවට ද තොරතුරක් ලැබී තිබුණේය. ඒ අනුව ඒ තොරතුරු කිත්සිරි ජයලත් මහතා වෙත ලබා දෙන්නට ඕලුගල පියවර ගත්තේය. “අපි වෙනම ටීම් එකක් දාලා බඩු ගෙනියන්න ඇවිත් හැංගිලා ඉන්න ඩ්‍රග්ස් ඩීලර්ස්ලා ටික අල්ලගමු. එසේ කියූ කිත්සිරි ජයලත් මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිපුන දෙනිගම මහතාට උපදෙස් දී කුඩා පොලිස් කණ්ඩායම් යොදවා කිරින්ද ඇඳගල මුහුදු වෙරළ අවට සැක කටයුතු අන්දමින් නතර කර ගෙන සිටින වාහන පරීක්‍ෂා කිරීමට පියවර ගත්තේය.
12 වැනිදා දිනය උදා වුනේය. ඒ වනවිට වේලාව අලුයම 1.30 පසුවී තිබිණි. ඇඳගල මුහුදු වෙරළ දෙසට අන්ධකාරය මැදින් පිහිනා එන පුද්ගලයකු පොලිස් නිලධාරීන් නිරීක්ෂණය කළෝය. රොහාන් ඕලුගලට ලැබී තිබූ තොරතුර 100%ක් සත්‍ය විය. මුහුදේ පිහිනාගෙන ආ පුද්ගලයා වෙරළට පැමිණ තම අත තිබූ දිගු කඹය ගොඩබිම දෙසට අදින්න වුණේය. ඒ වනවිට රැකවල්ලාගෙන සිටි රොහාන් ඔලුගල ඇතුළු පොලිස් නිලධාරීන් වහා ක්‍රියාත්මක වී මුහුදු වෙරළේ සිටි පුද්ගලයා අත්අඩංගුවට ගත්තේය.
ඔහු අත තිබූ කඹයේ ගැට ගසා තිබූ අයිස් මත්ද්‍රව්‍ය බාහාලු මලු 19ක් ද අත්අඩංගුවට ගන්නට පොලිස් නිලධාරීන් සමත් වූහ.
බෙදාහැරීමේ ජාලයත් අඩපණ කරයි

ඒ වනවිට නිපුන දෙනිගම මහතාගේ ප්‍රධානත්වයෙන් ගොඩබිම මෙහෙයුම ද ක්‍රියාත්මක වෙමින් තිබුණේය. ඇඳගල වෙරළට රැගෙන එන මත්ද්‍රව්‍ය මලු කොළඹට රැගෙන යෑමට සුදානමින් සිටි පුද්ගලයන් 06 දෙනෙක් සමග සුඛෝපභෝගී වාහන 06ක් ද අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකිව තිබිණි. මේ සියලු ජාවාරම්කාරයන් කිරින්ද වෙරළට ආසන්නයේ විවිධ ස්ථානවල රැඳී සිටියේ තම වාරය එනතුරුය. එහෙත් ඔවුන්ට සිදු වුණේ සිහිනයකින් හෝ නොසිතුණු සිදුවීමකට මුහුණ දීමටය.
මත්ද්‍රව්‍ය තොගය සහ ජාවාරම්කරුවන් 06 දෙනෙක් අත්අඩංගුවට ගත් බවට වූ සතුටුදායක පුවත රොහාන් ඕලුගල මහතා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා වෙත දැනුම් දුන්නේය. ඒ වනවිට කිත්සිරි ජයලත් මහතා නිදිවර්ජිතව මේ මෙහෙයුම සමග සම්බන්ධ වී සිටියේය.
අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය සහිත පාර්සල් 19 කිරින්ද වෙරළට ගෙනැවිත් එතැන් සිට ට්‍රැක්ටර් මාර්ගයෙන් පොලිසිය වෙත රැගෙන යෑමට වැටලීමට එක්ව සිටි නිලධාරීන් කටයුතු කළහ.
දින ගණනක් තිස්සේ අතිශය වෙහෙසකර වූ මෙහෙයුම ඉතාම සාර්ථක වූ බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාට දැනුම් දීමට කිත්සිරි ජයලත් මහතා කටයුතු කළේය.
12 වැනිදා උදෑසන වනවිට අයිස් මත්ද්‍රව්‍ය වැටලීමේ දැවැන්ත මෙහෙයුම රට පුරා ප්‍රචාරය වන්නට විය. කිරින්ද පොලිසිය වෙත රැගෙන ගිය අයිස් මත්ද්‍රව්‍ය කිරා මැනීමේ කටයුතු සිදු කෙරිණ. අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 329කි. එය ආසන්න වශයෙන් රුපියල් කෝටි 400කට අධික වටිනාකමකින් යුක්ත විය.
මෙම මෙහෙයුමේ විශේෂත්වය වන්නේ අයිස් මත්ද්‍රව්‍ය තොගය පමණක් නොව ඒවා රැගෙන යෑමට කොළඹින් පැමිණි සිටි ජාවාරම්කාරයන් සියලු දෙනා ඔවුන් පැමිණි වාහන ද සමග අත්අඩංගුවට පත්වීමය. අධිවේගී මාර්ගය පාවිච්චි නොකර මෙම මත්ද්‍රව්‍ය සාමාන්‍ය ගාලු පාර ඔස්සේ රැගෙන යෑමට ජාවාරම්කරුවන් සැලසුම් කරගෙන සිටියහ.
වාහන සියල්ල එකට ගමන් කිරීමටත් මාර්ගයේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වනවා දැයි කියා පරීක්ෂා කිරීමට වෙනම මෝටර් රථයක් ඉදිරියෙන් ධාවනය කරවීමටත් ජාවාරම්කරුවන් කටයුතු සූදානම් කර තිබුණේය. එහෙත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සියලු සැලසුම් අවසානයේ ව්‍යර්ථ වී ගියේය.
මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ අංක එකේ ජාවාරම්කරුවන් අතර පෙරමුණේ සිටි නදුන් චින්තක හෙවත් හරක්කටා මේ වනවිට සිටින්නේ තංගල්ල බන්ධනාගාරයේය. හරක්කටාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ මිදිගම රුවන්ද මේ වනවිට බන්ධනාගාරගත කර සිටියි. මිදිගම චූටි නමැති ජාවාරම්කරු ද ඕමානයේ පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.
හරක්කටාගේ මත්ද්‍රව්‍ය ජාලයේ ඔහු සමීපයේම සිටින චරිත් සඳකැලුම් හෙවත් ඩුබායි රන්මල්ලී මේ වනවිට මත්ද්‍රව්‍ය ජාලයේ පෙරමුණට පැමිණ සිටියි. පසුගියදා දික්වැල්ලේදී අත්අඩංගුවට පත් වූ රුපියල් කෝටි 450ක මත්ද්‍රව්‍ය මෙරටට එවා තිබුණේද රන්මල්ලී විසින්ය. මෙසේ පොලිස් අත්අඩංගුවට පත් වන්නේ රන්මල්ලී එවන මත්ද්‍රව්‍ය තොග එකක් දෙකක් පමණය.
තවත් ටොන් ගණනින් මත්ද්‍රව්‍ය මේ කාලකණ්ණි පාපතරයා විසින් ශ්‍රී ලංකාව නමැති සුන්දර දිවයින වෙත පවටා එවනු ඇත.
මීට ටික කාලයකට උඩදී කුරුණෑගල තෝරයාය ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සතු සේප්පුවක තිබී රුපියල් කෝටි 28ක මුදලක් පොලිසිය විසින් සොයා ගත්තේය. එය ජාවාරම්කරුවකු සතුව තිබී සොයාගත් විශාලතම මුදල් ප්‍රමාණය ලෙස ඉතිහාස ගත විය. මේ මුදල් සියල්ල ඩුබායි රන්මල්ලීගේය. ඒ මුදල් රන්මල්ලී වෙත යැවීමට සුදානම් කර තිබියදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණේය.
විමර්ශනවලින් අනාවරණය වී ඇති අන්දමට මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ රජු බවට පත්ව සිටින්නේ අන්නාසි මොරිල්ය. කිරුළපන පොළේ අන්නාසි අලෙවි කරමින් සිටි මොරිල් මේ වනවිට ඩුබායි රාජ්‍යයේ මහා ධනකූවේරයකු බවට පත්ව සිටියි. ඒ මත්ද්‍රව්‍ය ජාවාරම් හරහා උපයාගත් අති විශාල ධනස්කන්ධයෙන්ය.
අන්නාසි මොරිල් ඩුබායි රාජ්‍යයේ සිටින ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ද ප්‍රධානියකුව සිටියි. ශ්‍රී ලංකාවට පමණක් නොව මොහු ලොව පුරා මත්ද්‍රව්‍ය බෙදාහරිමින් අතිසුඛෝපභෝගි ජීවිතයක් ගතකරමින් සිටියි.
රන්මල්ලී මත්ද්‍රව්‍ය තොගපිටින් මිලදී ගන්නේද අන්නාසි මොරිල්ගෙන්ය. රන්මල්ලී පමණක් නොව කොස්ගොඩ සුජී, කංජිපානි ඉම්රාන් ඇතුළු මෙරට තවත් ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් රැසකට ටොන් ගණනින් මත්ද්‍රව්‍ය ලබා දෙන්නේ අන්නාසි මොරිල් විසින්ය.
මාකඳුරේ මධුෂ් ඩුබායි පොලිසිය වෙත අල්ලා දීමෙන් පසු ඩුබායිහි මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ ඒකාධිකාරය අල්ලාගත් මොරිල් මේ වනවිට ශ්‍රී ලංකාවේ කුඩු රජු බවට පත්ව සිටියි. අන්නාසි මොරිල්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානියකු ලෙස සිටින ඩුබායි රන්මල්ලී හෙට දිනයේත් මත්ද්‍රව්‍ය තොග පිටින් මෙරටට පටවනු ඇත.
මත්ද්‍රව්‍ය තොග පිටින් රට පුරා බෙදාහරිමින් මේ පුංචි දිවයින විනාශ කරන පාපතරයන් සියල්ල කුදලාගෙනැවිත් උන්ට නිසි දඬුවම් දීම පොලිසියේ මෙන්ම රජයේ ද වගකීම වන්නේය.
හේමන්ත රන්දුණු
Saru FM Media









