(අදට යෙදෙන ලෝක මානසික සෞඛ්‍ය දිනය නිමිත්තෙනි)
ලෝක මානසික සෞඛ්‍ය දිනය අදට (10දා) යෙදී තිබේ. මානසික සෞඛ්‍යය යනු ලෝකයේ පැවැත්මට අත්‍යවශ්‍යම සාධකයකි. මානසික සෞඛ්‍ය ඇද වැටුණොත් එතැන් සිට මානසික රෝගීහු බිහි වෙති. මේ කට්ටිය පිස්සු කෙළින්නට පටන්ගත් විට පෘථිවි තලය වෙනම ආකාරයක ග්‍රහලෝකයක් බවට පත්වන්නේ ය. එම ග්‍රහලෝකය භ්‍රමණය වීම සහ පරිභ්‍රමණය වීම එසේම පවතිනවා ඇත. ඒත් එහි ප්‍රජාව නිරන්තරයෙන් භ්‍රමණය වීමෙහිම යෙදෙමින් සාගරයක් මවනවා ඇත. මේ සාගරයට විශාල බිළී පිත්තක් දැමූ කල්හි, පිස්සු හැදුණු උගතුන් ගොඩගත හැක. පිස්සුත් නැති, උගත්කමක් නැති මෝඩයින් ගොඩගත හැක. මේ බිළී පිත්තට හසුවන නරකම වස්තුව වන්නේ දේශපාලනඥයා ය. දේශපාලනඥයා කොහොමටත් වෙනස් චරිතයකි. ඔවුන්ගෙන් සමහරකුට ඇත්තටම පිස්සු ය. තවත් සමහරුන්ට පිස්සු නැතත් පිස්සු බව පෙනෙයි. ඒ ඔවුන්ගේ හැටි ය. පිස්සු ද නැත්නම් හැටි ද යන ප්‍රශ්නය මෙතැනට ගැළපේ. ලෝකවාසී ජනයා මානසික සෞඛ්‍ය දිනය සැමරීමට පටන්ගන්නේ 1992 සිට ය. එනම් මෙයට අවුරුදු 33 කට පෙර සිට ය. අනාගතයේ දී මේ පෘථිවිය පිස්සු ලෝකයක් විය හැකි බවට පුරෝකථනය කළ පිරිසක් විසින් මේ මානසික සෞඛ්‍ය දිනය නම් කරන ලදී. අපගේ කතුවැකියෙන් සිදු කෙරෙන්නේ ඒ ගැන තවදුරටත් සාකච්ඡා කිරීම ය.
අනාගත ලෝකය අයහපත් මානසික සෞඛ්‍යයක් විය හැකි බව මුලින්ම දුටුවේ බුදුරජාණන් වහන්සේ විය යුතු ය. ඒ තත්ත්වය දුරු කිරීම සඳහා ලෝකවාසී ජනතාවට සහනයක් විය හැකි දහමක් උන්වහන්සේ විසින් දේශනා කරන ලදී. ඒ අතර ග්‍රීක පෞර රාජ්‍යවල ජීවත් වූ ප්ලේටෝ, ඇරිස්ටෝටල්, සොක්‍රටීස් යන දාර්ශනිකයෝ විශ්වාස කළහ. විශේෂයෙන් සොක්‍රටීස් තර්කානුකූල ලෙසත්, නිවැරදි ලෙසත් මනුෂ්‍යයා ජීවත් විය යුත්තේ කෙසේද යන්න විග්‍රහ කරමින් විවිධ දේශනා කළේ ය. සොක්‍රටීස් විවාහ වී සිටියේ ඉතාම තරුණ කාන්තාවක සමග ය. සොක්‍රටීස් මිනිසුන්ගේ මනස නිරෝගී කරනු පිණිස දාර්ශනික අදහස් ඉදිරිපත් කළා මිස, ගෙදර කට්ටිය ජීවත් වන ක්‍රමයක් ගැන කල්පනා කළේ නැත. එබැවින් සොක්‍රටීස්ගේ බිරිය කල්පනා කළේ සොක්‍රටීස්ට පිස්සු බව ය. එබැවින් ඇය සොක්‍රටීස් දේශනා පැවැත්වූ තැන්වලට පැමිණ ඔහුට පරිභව කරන්නට පටන්ගත්තා ය. මෙහිදී ඇයට පිස්සු බව සොක්‍රටීස්ගේ ගෝලයෝ කල්පනා කළහ. හොඳ මිනිසුන් පිස්සන් ලෙස පෙනීමත්, එම මිනිස්සුන්ට එරෙහිව හඬනඟන අය ද පිස්සන් ලෙස කැපීපෙනීමත් පිළිබඳ කදිම විග්‍රහයක් සොක්‍රටීස්ගේ චරිත කතාව තුළින් ලබාගත හැකි ය. ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් ද දාර්ශනික දේශනා කරමින් පුරාණ ග්‍රීක සමාජයේ ඔළුව පිරිසිදු කිරීමට තැත් කළහ. එහෙත් නිරන්තරයෙන්ම නූගතා විසින් උගතා දක්නා ලද්දේ පිස්සකු ලෙස ය.
ලෝක මානසික සෞඛ්‍ය දිනයේ ප්‍රමුඛ අරමුණ වන්නේ, මානසික නිරෝගීතාවයේ තිබෙන වැදගත්කම ලෝකයට පැහැදිලි කර දීම ය.
1992 දී නම් කරන ලද ලෝක මානසික සෞඛ්‍ය දිනය සැමරීම සඳහා 2013 සිට ලෝක සෞඛ්‍ය සංවිධානය ද එකතු විය. මේ වනවිට ලෝකය පුරා විවිධ ආකාරයේ උමතු ස්වභාවයන් පවතී. එක පැත්තකින් පලස්තීනයත් ඊශ්‍රායලයත් මිනීමරා ගනිති. ඊළඟට රුසියාවත් යුක්රේනයත් මිනීමරා ගනිති. ඒ අතර ඉන්දියාවත් පාකිස්තානයත් දෙරට අතර මායිමට වී බලාසිටින්නේ පළමුවෙන් වෙඩි තබන්නේ කවුරුද යන්න ය. එකෙක් වෙඩි තැබූ ගමන්ම අනෙක් පැත්තෙන් පිළිතුර ලැබෙන අතර එතැනින් යුද්ධය පටන්ගනී. ඊට අමතරව ලෝකය පුරා විවිධ ආගමික යුද්ධ, විවිධ ගෝත්‍රික යුද්ධ, විවිධ දේශසීමා යුද්ධ වැනි දේවල් පවතී. සමහරුන් යුද පෙරමුණට යන්නේ සතුරා කොල්ලකෑමට ය. තවත් සමහරුන් යුද පෙරමුණට යන්නේ සතුරාගේ බිරිය හෝ දියණිය දූෂණය කිරීමට ය. තවත් සමහරු කිසිදු අරමුණක් නැතිව කුලී හේවායන් බවට පත්වී යුද්ධයට යති. යුද වදින සියලුම දෙනා උන්මත්තකයන් බව අපගේ වැටහීම වේ. මේ උමතුභාවයෙන් ලෝකය බේරා ගැනීමට මනෝ වෛද්‍යවරුන් බිලියනයක් පමණ අවශ්‍ය වනවා ඇත. මිනිසුන් මානසික රෝගීන් බවට පත්වන්නේ නිකන්ම නොවේ. සුදුසු ආර්ථිකයක් නොමැතිවීම, අපේක්‍ෂා භංගත්වයට පත්වීම, තමන්ගේ සෙවණේ සිටින ගෙදර කට්ටිය බඩගින්නේ සිටීම, ඔවුන් හරියාකාර ඉස්කෝලවලට දමා ගැනීමට බැරිවීම ඇතුළු සමාජ ප්‍රශ්න විශාල ප්‍රමාණයක් හේතුවෙන් මිනිස්සු උන්මත්තකයන් බවට පත්වෙති. මේ උමතුභාවය කිසිසේත්ම නොතකා නොහළ යුතු ය. ලෝකය පුරා පන්තිභේදය තිබෙනතුරුත් දුප්පත්කම තිබෙනතුරුත් නූගත්කම තිබෙනතුරුත් මානසික රෝගීහු එක පෙළට බිහිවෙති. මෙය නැති කිරීමට නම් ලෝකය බලලෝභයෙන් තොර, සමානාත්මතාවය අගය කරන පිරිසිදු තැනක් කළ යුතු ය. ලෝකය එසේ එක පැත්තකින් පිරිසිදු කරගෙන යන විට කට්ටියක් පැමිණ එතැන මළපහ කරති. ලෝකය පිරිසිදු කරන්නා බුද්ධිමතෙකි. එම පිරිසිදු භූමියේ අසූචි තවරන්නා මොළයේ ආබාධයකින් පෙළෙන්නකු විය යුතුය. ඔවුන් එසේ කරන්නේ ද කුමක් හෝ ඇරියස් එකක් අල්ලාගෙනය. ඒ ඇරියස් එකට වෙදකම් කිරීම මුලින්ම කළ යුතු ය.
Saru FM Media