2025 සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගය දිනූ හංගේරියානු ලේඛක ලාස්ලෝ ක්‍රස්නාහොර්කායි පිළිබඳ සඳහනක්
2025 සාහිත්‍යය පිළිබඳ නොබෙල් ත්‍යාගය හංගේරියානු ලේඛක ලාස්ලෝ ක්‍රස්නාහොර්කායිට හිමිව තිබේ. දාර්ශනික, ඇතැම්විට තදබල ලෙස හාස්‍යජනක වූ ඔහුගේ නවකතා බොහෝ විට දිග හැරෙන්නේ, තනි වාක්‍යයකින් වන අතර, පසුගිය බ්‍රහස්පතින්දා සාහිත්‍යය සඳහා වන නොබෙල් ත්‍යාගය දිනා ගත්තේ, ‘විශ්ව විනාශකාරී භීෂණය මධ්‍යයේ වුව ද, කලාවේ බලය යළි තහවුරු කරන, ආකර්ෂණීය හා විචක්ෂණශීලී ඔහුගේ සමස්ත නිර්මාණාවලිය’ වෙනුවෙනි.
ඔහුගේ මංගල කෘතිය වන ‘සතන්තාංගෝ’ සහ ‘ද මෙලන්කොලි ඔෆ් රෙසිස්ටන්ස්’ ඇතුළු කෘති ගණනාවක් හංගේරියානු අධ්‍යක්ෂ බේලා ටාර් විසින් චිත්‍රපට බවට පත් කරනු ලැබ තිබේ.
නොබෙල් කමිටු සාමාජිකයකු වන ස්ටීව් සෙම්-සැන්ඩ්බර්ග් නොබෙල් ත්‍යාගයේ ජයග්‍රාහකයා නිවේදනය කරන අවස්ථාවේ දී ඔහුගේ ‘මුලාවෙන් මුළුමනින් ම නිදහස් වූ සමාජ විධිවිධානයේ බිඳෙනසුලු බව තුළින් දකින කලාවේ බලය පිළිබඳ ඔහුගේ නොසැලෙන විශ්වාසය සමග මුසුවූ කලාත්මක බැල්ම’ නොබෙල් විනිශ්චයකාරවරුන් විසින් ප්‍රශංසාවට ලක් කරන ලද බව පැවසී ය.
ලාස්ලෝ ක්‍රස්නාහොර්කායි යනු ෆ්‍රාන්ස් කෆ්කාගේ සිට තෝමස් බර්න්හාඩ් දක්වා විහිදෙන මධ්‍යම යුරෝපීය සම්ප්‍රදායේ ශ්‍රේෂ්ඨ වීර කාව්‍ය රචකයෙකි. එම සම්ප්‍රදාය විකාරරූපීත්වයෙන් (absurdism) සහ අතිශයෝක්තිකාරී භීෂණයෙන් (grotesque excess) සංලක්ෂිත යැයි නොබෙල් විනිශ්චයකාරවරු පැවසූ හ.
ඔහුගේ අනෙකුත් කෘති අතර කුඩා හංගේරියානු නගර පසුබිමක දියත් වන පාඨකයා කම්පනයට පත් කරන අති යථාර්ථවාදී කතාවක් වන ‘ද මෙලන්කොලි ඔෆ් රෙසිස්ටන්ස්’ සහ සූදුවට ඇබ්බැහි වූ වංශාධිපතියකුගේ කාව්‍යමය නවකතාවක් වන ‘බැරන් වෙන්ක්හයිම්’ස් හෝම් කමිං’ ද වේ.
චීනයට හා ජපානයට කළ ඔහුගේ ගමන් බිමන් ආභාසය කර ගනිමින් ඔහු කෘති කිහිපයක් ම රචනා කර ඇති අතර, 2003 දී හංගේරියානු බසින් පළ වූ ‘උතුරට කන්දක්, දකුණට විලක්, බටහිරට මාවත්, නැඟෙනහිරට ගංගාවක්’ නම් කෘතිය ද ඊට ඇතුළත් වේ.
නොබෙල් කමිටු සාමාජික සෙම්-සැන්ඩ්බර්ග් පැවසූයේ, ක්‍රස්නාහොර්කායි කලක පටන් ම නොබෙල් සම්මාන මණ්ඩලයේ අවධානයට ලක්ව සිටි බවත්, ‘ඔහු එකින් එක විශිෂ්ටතම කෘති නිර්මාණය කරමින් සිටින බවත්’ ය. ක්‍රස්නාහොර්කායි විසින් රචිත සාහිත්‍ය කෘති, ‘පිරිසිදු විශිෂ්ටත්වයේ අඩ සියවසක්’ ලෙස ඔහු හඳුන්වා දුන්නේ ය.
ඔහු උපත ලැබුවේ රොමේනියානු දේශසීමාව ආසන්නයේ පිහිටි හංගේරියාවේ ගිනිකොණ දිග ගියුලා නගරයේ ය. 1970 දශකය පුරා, ඔහු සෙගෙඩ් සහ බුඩාපෙස්ට් විශ්වවිද්‍යාලවල නීතිය හැදෑරූ අතර, පසුව සිය අවධානය සාහිත්‍යය වෙත යොමු කළේ ය. ඔහුගේ වෙබ් අඩවියේ ඇති චරිතාපදාන කොටසට අනුව, ඔහු යුරෝපය, ආසියාව සහ ඇමෙරිකාව පුරා පුළුල් ලෙස සංචාරය කර ඇති අතර, විවිධ රටවල් ගණනාවක වාසය කර ඇත.
ක්‍රස්නාහොර්කායි හංගේරියානු අගමැති වික්ටර් ඕර්බාන්ගේ දැඩි විචාරකයෙකි. විශේෂයෙන් ම රුසියානු ආක්‍රමණයෙන් පසු යුක්රේනයට ඔහුගේ රජයෙන් සහයෝගයක් නොලැබීම පිළිබඳව ඔහු විවේචන එල්ල කළේ ය. මේ වසරේ ‘යේල් රිවිව්’ වෙත සම්මුඛ සාකච්ඡාවක් දෙමින් “රුසියානුවන් අසල්වැසි රටක් ආක්‍රමණය කරන විට රටක් මධ්‍යස්ථ වෙන්නේ කෙසේ ද?” යනුවෙන් ඔහු පැවසී ය.
එහෙත්, ෆේස්බුක් සටහනකින් ඕර්බාන් අගමැතිවරයා කතුවරයාට ඉක්මනින් ම සුබ පතමින් මෙසේ කීවේ ය: “ගියුලා නගරයෙන් බිහි වූ පළමු නොබෙල් ත්‍යාගලාභියා, හංගේරියාවේ අභිමානය ලැස්ලෝ ක්‍රස්නාහොර්කායි, ඔබට සුබ පැතුම්!”
ක්‍රස්නාහෝර්කායි 2015 වසරේ ‘මෑන් බුකර්’ ජාත්‍යන්තර ත්‍යාගය ඇතුළු බොහෝ සම්මාන දිනාගෙන ඇත. තවද, ඔහු 2019 දී Baron Wenckheim Homecoming නවකතාව වෙනුවෙන් එක්සත් ජනපදයේ පරිවර්තිත සාහිත්‍යය සඳහා වූ ‘ජාතික ග්‍රන්ථ සම්මානය’ ද දිනා ගත්තේ ය.

ඇමෙරිකානු ලේඛිකාවක සහ විචාරිකාවක වන සූසන් සොන්ටැග් විසින් ක්‍රස්නාහෝර්කායි හඳුන්වනු ලැබ ඇක්තේ, ‘අවසාන විනාශයේ සමකාලීන විශිෂ්ටයා’ ලෙස ය. ඔහු ඇමෙරිකානු කවියකු හා ලේඛකයකු වූ ඇලන් ගින්ස්බර්ග් සමග ද මිතුරුව සිටි අතර, ඔහු නිව්යෝර්ක් නගරයේ සංචාරය කරන සෑමවිට ම පාහේ ගින්ස්බර්ග්ගේ මහල් නිවාසයේ නැවතී සිටියේ ය.
සෙම්-සෑන්ඩ්බර්ග් ප්‍රකාශ කළේ, ක්‍රස්නාහොර්කායි හට “තමන්ගේ ලෝකය, එනම්, ඔහුගේ සාහිත්‍යමය ලෝකය, ඔබ හමුවේ සැබෑවක් බවට පත්කිරීමට විශිෂ්ට හැකියාවක් ඇති” බව ය. “මා අදහස් කරන්නේ, ඔහු ඔබ වටා සිදුවන සෑම දෙයක ම මැද ඔබව තබනවා. එය ඉතා විශාල ගුණයක්. එසේ කිරීමට හැකි කතුවරුන් සිටින්නේ බොහොම ටිකයි”
2002 වසරේ දී ඉම්රේ කෙර්තෙස්ගෙන් පසු හංගේරියාවෙන් සම්මානය දිනූ පළමු ජයග්‍රාහකයා ඔහු ය. ඔහු අර්නස්ට් හෙමිංවේ, ටෝනි මොරිසන් සහ කසුවෝ ඉෂිගුරෝ වැනි සම්භාවනීය සම්මානලාභීන්ගේ ලැයිස්තුවට එක් වේ.
2025 නොබෙල් සාහිත්‍යය සඳහා වඩාත් ම කතාබහට ලක්වන තරගකරුවන් කවුද? යන්න පිළිබඳව පසුගිය කාලය පුරා ම සාහිත්‍ය ලෝකයේ විවිධ කතාබහ සහ අනුමාන පැවැතියේ ය. නොබෙල් ත්‍යාගයේ නිල නාමයෝජනා ලැයිස්තුව වසර 50 ක් තිස්සේ රහසක්ව පවත්වාගෙන ගිය ද, ‘නොබෙල් ත්‍යාගය පිරිනැමීම සඳහා වටින්නේ’ යැයි සැලකූ විශිෂ්ට ලේඛක ලේඛිකාවන් සමූහයක් ගැන ලොව සාහිත්‍යකරුවෝ මෙන් ම, සාහිත්‍යලෝලීහු නිරන්තරයෙන් සාකච්ඡා කළෝ ය. ඔවුන්ගේ ඒ අනුමාන අතර, ඉදිරියෙන් සිටි ලේඛකයන් අතර ක්‍රස්නාහෝර්කායි (හංගේරියා) ගේ නම ද සඳහන්ව තිබේ. එහි සඳහන් වූ අනෙකුත් ලේඛක ලේඛිකාවන් වෙන්නේ ජෙරල්ඩ් මර්නේන් (ඕස්ට්‍රේලියාව), හරුකි මුරකාමි (ජපානය), මිර්සියා කාර්ටරෙස්කු (රොමේනියාව), ඈන් කාර්සන් (කැනඩාව), ක්‍රිස්ටිනා රිවේරා ගාර්සා (මෙක්සිකෝව), තෝමස් පින්චොන් (ඇමරිකා එක්සත් ජනපදය), සල්මන් රුෂ්ඩි (එක්සත් රාජධානිය/ඉන්දියාව) ය.
ස්වීඩන් ඇකඩමියේ නොබෙල් කමිටුව විසින් සාහිත්‍යය සඳහා වන ත්‍යාගය 117 වරක් තුළ මුළු ත්‍යාගලාභීන් 121 දෙනකුට ප්‍රදානය කර ඇත. පසුගිය වසරේ ත්‍යාගය දිනා ගත්තේ දකුණු කොරියානු ලේඛිකා හන් කං විසිනි. ඇයගේ සමස්ත කෘති එකතුව “ඓතිහාසික කම්පනයන්ට මුහුණ දෙන අතර මිනිස් ජීවිතයේ බිඳෙනසුලු බව හෙළිදරව් කරයි” යැයි කමිටුව පැවසී ය.
වෛද්‍ය විද්‍යාව, භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව සඳහා වන 2025 නොබෙල් ත්‍යාගයන්ට පසුව, සාහිත්‍යය සඳහා වන ත්‍යාගය මේ සතියේ ප්‍රකාශයට පත් කරන ලද සිව්වන නොබෙල් ත්‍යාගය යි.
නොබෙල් සාම ත්‍යාගය දිනා ගත් අය සිකුරාදා දින ප්‍රකාශයට පත් කරනු ඇත. අවසන් නොබෙල් ත්‍යාගය වන, නොබෙල් අනුස්මරණ ආර්ථික විද්‍යා ත්‍යාගය (Nobel Memorial Prize in Economic Sciences) සඳුදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.
සෑම වසරක ම නොබෙල් ත්‍යාග ප්‍රදානෝත්සවයන් පවත්වනු ලබන්නේ 1896 වසරේ දී මියගිය ඇල්ෆ්‍රඩ් නෙබෙල්ගේ අනුස්මරණය යෙදෙන දෙසැම්බර් 10 වන දා ය. ත්‍යාග පිරිනැමීම ඇරඹූ නොබෙල් යනු ඩයිනමයිට් සොයාගත්, ධනවත් ස්වීඩන් කර්මාන්තකරුවෙකි.
සෑම ත්‍යාගයක් සඳහා ම ස්වීඩන් ක්‍රෝනර් මිලියන 11ක (එනම්, ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.2ක) මුදලක් පිරිනැමෙන අතර, ජයග්‍රාහකයන්ට කැරට් 18ක රන් පදක්කමක් සහ ඩිප්ලෝමාවක් ද (සම්මාන පත්‍රයක් ද) පිරිනමනු ලැබේ.
අනුර බී. සෙනෙවිරත්න
Saru FM Media